කොවිඩ් බයට ගුරුවරු නෑ පාසල වසයි
නුවරඑළිය කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල ක්රිස්ටල්ෆාම් වතු පාසලේ 22 කුගෙන් යුත් අචාර්ය මණ්ඩලයේ 19 දෙනෙකුම ඊයේ (03) අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණීම නිසා ළමුන් නිවෙස් වලට යවා පාසැල පෙරවරු 10.30 ට පමණ වසා දැමීමට විදුහල්පතිවරයාට සිදුව ඇත. පාසල පිහිටි වතු ප්‍රදේශයෙන් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු හමුවීම නිසා ගුරුවරු අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ තිබෙන බව ඇති බව විදුහල්පති වි.අමිර්තලිංගම් මහතා පවසයි.
තම පාසලේ පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ළමුන් 301 දෙනෙකු අධ්‍යාපනය ලබන බවත් පවත්නා තත්ත්වය මත 6 – 11 දක්වා පංති පමණක් පවත්වන බවත් ඒ මහතා කීය. කොවිඩ් -19 වෛරසය අසාදනය වූ දෙදෙනෙකු හමුවීමත් සමඟ පාසැලට ගුරුවරුන් තිදෙනෙකු සහ ළමුන් 30 දෙනෙකු පමණක් ඊයේ (03) පැමිණ සිටි බවත් පෙරවරු 10.30 පමණ තෙක් ළමුන් පාසලේ රඳවාගෙන සිට නුවරඑළිය කළාප අධ්‍යාපන අධ්යක්ෂවරයාගේ අනුමැතිය මත එම ළමුන් පිරිස ආරක්ෂිතව නිවාස වලට යොමු කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
පාසල සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කළ බවද විදුහල්පතිවරයා පැවසීය.පාසැලේ කටයුතු අද (04) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බවත් ස්වයං නිරෝධානයට යොමු කර සිටින පාසල් ළමුන් පාසලට ඇතුළුකර නොගන්නා බවත් ඒ මහතා කීය.
කොටගල ක්රිස්ටල්ෆාම් ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ්- 19 වෛරසය ආසාදනය වූ දෙදෙනා කොටගල මහජන සෞඛ්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.