කොවිඩ් සහජීවනයට අවස්ථාවක් – මහනුවර දිසාපති

සුනාමි ව්‍යසනයෙන් අනතුරුවත් තිස් වසරක ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුත් සහරාන්ගේ ප්‍රහාරයෙන් අනතුරුවත් අපට ජාති,ආගම් බේද නොසලකා එකට වැඩ කිරීමට අවශ්‍යය පසුබිම සකස් කර ගැනීමට නොහැකි වූ බවත් කොවිඩ් වසංගතය ඒ සඳහා අපට ලැබෙන අවසන් අවස්ථාව බවත් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

සර්වෝදය සංවිධානයේ මෙහෙයවීමෙන් ආර්ථික වශයෙන් බිදවැටීමට ලක්වූ කර්මාන්තකරුවන්ට මූල්‍ය ආධාර ලබාදීම නිමිත්තෙන් මහනුවර සර්වෝදය මූලස්ථානයේදී 31 දා පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව කීවේය.

වසංගතය නිසා රට වසා තැබූ අවස්ථාවේදී සියලු දෙනා ජාති ආගම් භේදයෙන් තොරව එකට කටයුතු කළ බවත් මෙම වෛරසය බලපෑම් කරන්නේ ජාති හෝ ආගම් බේද නොසලකමින් බව සැවොම තේරුම් ගැනීම වැදගත් බවත් දිසාපතිවරයා පැවසුවේය.

වසංගත හමුවේ රට නොවසා තැබීම නිසා සහ දේශීය කර්මාන්ත සඳහා රජයේ උපකාර හිමිවීව හේතුවෙන් ව්‍යාපාර යළි ගොඩ ගැනීමට අවස්ථාව පවතින බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා කීය.

පවතින අර්බුදකාරී වාතාවරණය තුළ බිද වැටුණු සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත නඟා සිටුවීමට හැකි එකම සහ අවසන් අවස්ථාව මෙය බවද ඒ මහතා පැවසුවේය.

කොරෝනා  තත්ත්වය නවතම අත්දැකීමක් වූ නිසා පළමු අවස්ථාවේ කර්මාන්ත ගණනාවක් කඩා වැටුණු නමුත් දෙවන අවස්ථාවේදී රට විවෘත කර තැබීමට  රජය පියවර ගැනීම නිසා ව්‍යාපාර වලට පළමු කෙරෝනා රැල්ලේදී තරම් අයහපත් බලපෑමක් එල්ල නොවුණු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

කොවිඩ් හමුවේ අසීරුතාවට පත් ව්‍යවසායකයන්ගේ  අත්දැකීම් ඇසුරින් සම්පාදිත කොවීඩ් – 19 කතා එකතුව ග්‍රන්ථය එළිදැක්වීමද මෙදින සිදු කෙරුණි.

වයඹ සහ මධ්‍යම දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක කොණකගල ශ්‍රී සද්ධානන්ද පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය කොණකගල උදිත හිමි ඇතුලු මහා සංඝරත්නය හා  සෙසු ආගමික නියෝජිතයන් ද අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ,ලංකා ජාතික ශ්‍රමදාන සර්වෝදය ජාතික ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ චාමින්ද රාජකරුණා මහතා සහ සර්වෝදය ශාන්ති සේනා සංසදයේ විධායක අධ්‍යක්ෂ රවින්ද්‍ර කන්දගේ,සර්වෝදය මහනුවර සම්බන්ධීකාරක කීර්ති මහගෙදර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *