කෝප් කමිටුවටත් විවිධ බලපෑම් තිබ්බා – හකීම්

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව මගින් පත්කළ කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයින්ට අනවශ්‍ය බලපෑම් එල්ල වූ බවත් ෆූට් නෝට් කල්ලයක් බිහිවීමට හේතුවූයේ එම බලපෑම් බවත් සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක,මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පවසයි. කෝප් කමිටු සාමාජිකයෙකු ලෙස තමන් කිසිදු අවස්ථාවක බලපෑම් වලට යටත් නොවූ බවත් එම අවස්ථාවේ පක්ෂ නායකත්වය හැසිරුණු ආකාරය සම්බන්ධව කනගාටු වන බවත් ඒ මහතා කීය. මහනුවර මහයියාවේ පිහිටි ජාතික සමඟි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී හකීම් මහතා මේබව පැවසුවේය.

තමන්ගේ නිදහසට කරුණු කීමට ලැබුණු අවස්ථාව හරියාකාරව පාවිච්චි කළ යුතුව තිබූ බවද හෙතෙම ප්‍රකාශ කළේය.මේ සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් වූ ඇතැම් අයට නීතිය ක්‍රියාත්මක නොවන බවත් කලින් සිටි හතුරන් මිතුරු වූ පසු ඔවුන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොවීමේ ක්‍රමවේදයට තිත තැබිය යුතු බවත් හකීම් මහතා ප්‍රකාශ කළේය.

ලෝක බලවතා වන ඇමරිකාව සමඟ අනවශ්‍යය ගැටුම් වලට නොගොස් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පවතින ගැටලු විසඳා ගැනීම වැදගත් බවත් ජත්‍යන්තර ගිවිසුම් අපට වාසිවන ලෙස පාවිච්චි කිරීම කෙරෙහි අවධානය යොමුකළ යුතු බවත් හෙතෙම කීය. එජාපය තුළ මෙයට පෙර ඇතිවූ අර්බුද සමඟ මෙවර ඇතිවූ අර්බුදය සමකළ නොහැකි බවත් මේ අවස්ථාවේ එජාපය හා මෙතෙක් අත්වැල් බැඳගෙන සිටි සෙසු පක්ෂද ඔවුන් ගෙන් ඉවත්ව සමඟි ජන බලවේගය හා එක්ව තිබෙන බවත් කී ඒ මහතා මහ මැතිවරණයෙන් පසු එජාපය රූකඩයක් බවට පත්කරමින් සමඟි ජනබලවේගය නැගී සිටින බවද අවධාරණය කළේය.

දශක තුනක කාලයක් තිස්සේ එජාපයට මේ රටේ ජනපති ධූරයට පුද්ගලයෙකු පත්කර ගැනීමට නොහැකි වීම සම්බන්ධව පාක්ෂිකයින් සිටින්නේ කළකිරීමෙන් බවත් ඒ සඳහා වන ශක්තිමත් නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට නොතිබූ බව රහසක් නොවන බවත් ඒ මහතා කීවේය.

පක්ෂ ගණනාවක් එක්ව එජාප නායකත්වයට ආණ්ඩු බලය ලබා දුන්නත් ඔහුට ආණ්ඩුව පවත්වාගෙන යෑමට හැකියාවක් නොතිබූ බවත් අවස්ථා දෙකකදී විධායක ජනපති සමඟ ගැටුම් ඇතිකරගෙන රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව නියමිත කාලයට පෙර බිමට ඇද දැමූ බවත් හකීම් මහතා පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *