ගම්බද ජනයාට රනිල්ගෙන් හෙලිකොප්ටර් සේවාවක්

සුවසැරියට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ශල්‍යගාර සහිත හෙලිකොප්ටර් සේවාවක් ඇතිකරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නගරයෙන් බැහැර ග්‍රාමීය ප්‍රදේශවල ස්වභාවික ආපදා,රිය අනතුරු ඇතුළු නොයෙකුත් ආපදාවන් සිදුවන බවත් එවැනි අවස්ථාවක සුවසැරිය ගිලන් රථයකට වඩා පහසුවෙන් එම ස්ථානයට හෙලිකොප්ටරයකට ළඟා වීමට හැකි බවත් ඒ මහතා කීය. එජාප හාරිස්පත්තුව ආසන බල මණ්ඩල රැස්වීම 17 දා පූජාපිටිය අර්ලිස් රෙඩ් හෝටලයේදී පැවැති අවස්ථාවේ වික්‍රමසිංහ මහතා මේබව ප්‍රකාශ කළේය.

එජාප මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක,හාරිස්පත්තුව ආසන සංවිධායක රුචිර අමරසේකර මහතා විසින් මෙම රැස්වීම සංවිධානයකර තිබිණි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු සුවසැරිය ගිලන් රථ සේවාව අපේ රටට ලබා ගැනීමට තමන්ට හැකිවූ බවත් ශල්‍යගාරයක් සහිත හෙලිකොප්ටර් සේවාව ඉන්දියාවේවත් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය. ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට හෙලිකොප්ටරයකින් පැයක් ඇතුළත ළඟා වීමට හැකි බවද අදාළ ප්‍රදේශයට හෙලිකොප්ටරය ගොඩබස්සන විට රෝගියා එම ස්ථානයට රැගෙන ඒමට හැකි බවද එජාප නායකයා පැවසුවේය.

නගරයේ පවතින අධික වාහන තදබදය නිසා සුවසැරිය ගිලන් රථවලට අපේක්ෂා කරන වේගයෙන්  ඇතැම් ප්‍රදේශවලට ළඟා වීමට නොහැකිවන බවත් මෙයට පිළියමක් ලෙස ගිලන් රථය පැමිණෙන තුරු රෝගියාට ප්‍රතිකාර ලබා දීමට වෛද්‍ය සහයක කණ්ඩායම් ඇතිකළ යුතු බවත් කී ඒ මහතා ඔවුන්ට පාපැදි හෝ ස්කූටර් ළබාදිය හැකි බවද අවධාරණය කළේය. රටේ ආර්ථිකයත් සෞඛ්‍ය සේවයත් දියුණු කිරීමේ වැඩපිළිවෙළ ඇත්තේ එජාපය සතුව බවත් ඒ බව මෙවර මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිව දක්වා තිබෙන බවත් හෙතෙම කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *