ගුවන්විදුලිය වැටුණේ බලපත් අහෝසියෙන් – ජනමාධ්‍ය ඇමති

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආදායම් බිඳ වැටීමට බලපා තිබෙන කරුණු අතර ප්‍රධාන වන්නේ ගුවන් විදුලි බලපත්‍ර අවලංගු කිරීම බව ජනමාධ්‍ය ඇමැති,කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ආදායම් ලැබීම පහත වැටීම නිසා සංස්ථාව පවත්වාගෙන යෑමට මහ භාණ්ඩාගාරයේ සහය ලබා ගැනීමට සිදුව තිබෙන බවද ඒ මහතා කීය.

ජනමාධ්‍ය ඇමැතිවරයා එසේ පැවසුවේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට වසර 95 ක් සපිරීම නිමිත්තෙන් කඳුරට සේවය සංවිධානය කළ සැමරුම් උත්සව සමාරම්භක අවස්ථාවේදීය.

කඳුරට සේවයේ KCC විශේෂ මැදිරියේ පැවැති සජීවී සාකච්ඡාවට පසුගියදා එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා සංස්ථාවේ පැවැත්ම තහවුරු කර ගැනීමට නම් ශ්‍රාවකියින් වෙනුවෙන් ගුණාත්මක වැඩසටහන් දියත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුව ඇතැයි ප්‍රකාශ කළේය.

මැදිරි සාකච්ඡාවට එක්වීමට පෙර අමාත්‍යවරයා දළදා සමිඳුන් වැදපුදා ගෙන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ සාකචඡාවකද නිරත විය.මහනුවර සෙසු ආගමික ස්ථාන වලට ගොස් ආගමික වාතවත් වල නිරත වූ රඹුක්වැල්ල මහතා ගුවන් විදුලි සංස්ථාවේ 95 වැනි සැමරුම වෙනුවෙන් පේරාදෙණිය උද්භිද උද්‍යානයේදී ඩ්‍රෙන් ඩ්‍රෝමියම් රේඩියෝ සිලෝන් නමින් උඩවැඩියා මලක් නම් කිරීමේ අවස්ථාවටද සහභාගි විය.

ගුවන් විදුලියේ ආදායම් තරකොට ගුණාත්මක සේවයක් සැපයීමට අදියර තුනක් යටතේ සැළසුම් සකස් කරන බවත් සංස්ථාව සතු වත්කම් තක්සේරු කර ඒවා සංස්ථාවේ අයිතියක් ලෙස තහවුරු කිරීම ප්‍රමුඛතම කරුණක් බවත් ඒ මහතා කීය.

 

සංස්ථාවේ සේවක අතිරික්තයක් පවතින බවත් වෘත්තිය සමිති හා සාකච්ඡා කර මානුෂීය පදනමක් ඔස්සේ මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බවත් කී ඒ මහතා කැපවී සේවය කරන සේවකයින් ඇගයීමේ ක්‍රමයක් දියත් කරන බවද අවධාරණය කළේය.

ආයතනයේ ප්‍රබලත්වය වර්ධනය කිරීමට තවත් ආයතන හා සම්බන්ධතා ගොඩනගා ගත යුතුව තිබෙන බවත් හුදෙකලා භාවය මත ආයතනයකට පැවැත්මක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

හෙට දවස පිළිබඳව සිතා කාලීනව ගුවන් විදුලිය මෙහෙයවිය යුතු බව පැවසූ ඒ මහතා මගේ නොව අපේ යන්න පෙරදැරුව නිරතුරුව කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය.

ගුවන් විදුලියේ ළමා පිටියට සහෝදරය සමඟ තමන්ද සහභාගි වී තිබෙන බවත් තරුණ චිත්‍රපටි කරුවෙකු ලෙස ගුවන් විදුලියේ ප්‍රවීණ නිවේදකයින් සමඟ ඉතා ළඟින් ඇසුරු කළ බවත් ඒ මහතා කීය.

ප්‍රදේශීය වශයෙන්  පවතින ආගමික හා සංස්කෘතික හර පද්ධතීන් සැලකිල්ලට ගනිමින් ඒ ඒ ප්‍රදේශවල ජනතාවගේ සිතුම් පැතුම් හඳුනා ගෙන සෑමවිටම ශ්‍රාවකයින් දැනුම්වත් කිරීමට කටයුතු කිරීම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්ගේ වගකීම බවද රඹුක්වැල්ල මහතා පැවසුවේය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය සමඟ ඒකාබද්ධවී දැනුමින් සන්නද්ධ ශ්‍රාවක පිරිසක් මෙන්ම සංවර්ධන ඉලක්ක කරා යාහැකි සමාජයක් නිර්මාණය කිරීමට සැළසුම් කර තිබෙන බවත්  ඒ සඳහා සේවා තාක්ෂණ ක්‍රමවේද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් කීය.

ශ්‍රාවක තත්ත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමත් ප්‍රමිතියක් සහිත ශබ්දාගාර තුළ පටිගත කිරීම් සිදුකර එම නිෂ්පාදන වල අග්‍රඵලය ශ්‍රාවකයින්ගේ උසස් වින්දනය පිණිස ඉදිරිපත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා බී.බී.සී ගුවන් විදුලි සේවයට පසුව ආසියානු කලාපයේ පළමු ගුවන් විදුලිය ලෙස බිහිවූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පරිකල්පනය තුළින් ජාතික හැඟීම් ජනිත කරමින් කටයුතු  කළේ යැයි කීය.

නාළිකා 13 ක් ප්‍රාදේශීය සේවා තුනක් සමඟ සියලු ජාතීන්ගේ අන්‍යන්‍යතා රැකෙන අයුරින් 95 වන සැමරුම සමඟ යාවත්කාලීන වෙමින් අගනා ප්‍රතිපත්ති හා සංකල්ප ගුවන් විදුලි සංස්ථාව විසින් මතුවටත් සපයන්නේ යැයි හෙතෙම පැවසුවේය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කොත්මලේ පිහිටි සන්නිවේදන පුහුණු මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීමටද ඇමැතිවරයා ගියේය.මෙම අවස්ථාවට ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රාදේශීය සේවා තුෂාර සඳනායක,කඳුරට සේවයේ  සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න යන මහත්වරුද සහභාගි වූහ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 95 වන සැමරුම නිමිත්තෙන් ඩ්‍රෙන් ඩ්‍රෝමියම් රේඩියෝ සිලෝන් ලෙස නම් කළ උඩවැඩියා මල පේරාදෙණිය ජාතික උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂැලෝමී ක්‍රිෂ්ණරාජා මහත්මිය විසින් ඇමැතිවරයාට පිළිගැන්වූ අයුරු.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *