ගොවිතැන අර්බුදයක. රට මැද පොහොර හිඟයක්

බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට දැවැන්ත වාහන පෝලිමකි. ත්‍රිරෝද රියවල සිට ට්‍රක්රථ දක්වා වාහනවල සිය නිෂ්පාදන පටවාගත් කඳුකරයේ ගොවීන් සිය අස්වනු අළෙවි කර ගැනීම සඳහා පැමිණෙමින් සිටින අතර අගනුවරින් හා දිවයිනේ තවත් ප්‍රදේශ ගණනාවකින් පැමිණි වෙළෙඳුන්ද තම අවශ්‍යතාවයේ පරිදි නැවුම් අස්වනු මිළට ගැනීමට බලාපොරොත්තුවෙන් රැඳී සිටිති. වෙනදා සිය අස්වැන්න අලෙවි කිරීමෙන් අනතුරුව ගොවීන් පොදිකන්නේ වගාවට අවශ්‍ය පොහොර හා වෙනත් යෙදවුම් අලෙවි කරන වෙළඳසැල් අවට ය. එහෙත් අද එම වෙළඳසැල්වල කිසිම තදබදයක් නැත. ඒ ගොවීන්ට මිලදී ගැනීමට අවශ්‍ය පොහොර වර්ග කිහිපයක්ම විකිණීම පිණිස අවශ්‍ය තොග නැතැයි වෙළඳසැල් හිමියන් දන්වා ඇති බැවිනි.

උච්චාවචනය වන එළවලු මිල

කෘෂි අලෙවිසැල්වලට ගැණුම්කරුවන් හිඟය

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල උඩරට එළවලු මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළ යද්දී හපුතල, බණ්ඩාරවෙල, නුවරඑළිය ප්‍රදේශවල ලීක්ස් වැනි වෙනදා තරමක් ඉහළ මිලකට අලෙවිවන එළවලු සමහරක සිල්ලර මිල කිලෝව රුපියල් හතළිහක් පමණ දක්වා පසුගිය දිනවල පහත වැටුණු අතර ඉන් ලැබුණු සංඥාව වන්නේ ලීක්ස්, බීට්රූට් වැනි එළවලු වර්ගවල තොග මිල රුපියල් 20ක් පමණ දක්වා අඩුව ඇති බවයි. පවතින විෂම වෙළඳපොළ රටාව නිසා මෙවැනි අඩු මිළකට එළවලු තොග විකිණීමට සිදුවද්දී ගොවි ජනයාගේ ආර්ථිකයට එය දැඩිව බලපෑවේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව ආදායම ඉතා අවම නිසා වන අතර එහිදී පාරිභෝගික ජනයාටද අත් වූ වාසියක් නැත්තේ කොළඹ හා සෙසු ප්‍රදේශවල එළවලු මිළ ගණන් ඉතාමත් ඉහළ මට්ටමක පැවතීම නිසාය. කොවිඩ් 19 වසංගතය නිසා යාවත්කාලීන කරන ලද සීමා හේතුවෙන් මෙම අර්බුදය උද්ගත වූ බව පැහැදිලි නමුත් නිසි නියාමන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වී නම් ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාටම ජය-ජය මාදිලියේ විසඳුමක් ලබා දීමට ඉඩ ප්‍රස්ථාව තිබුණි. පත්වන හැම රජයක්ම සීතාගාර ඉදිකිරීම වැනි පොරොන්දු අහසේ පැල කර තිබූ අතර ඉදිකෙරුණු සීතාගාරයක් නැති නිසා අස්වැන්න වැඩි සමයේ අතිරික්තය පාරවල් අයිනේ අතහැර දමන්නට සිදු ව තිබේ.  මෙහි ප්‍රතිපක්ෂය උදාවන්නේ මිල ගණන් ඉහළ යන සමයේය. එහිදී පාරිභෝගිකයා අන්ත අසරණ වන්නේ සමහර එළවලු වර්ග පරිභෝජනය අතහැර දමන්නට සිදු වේ. එහෙත් ඉන් වාසි අත්වන්නේ ස්වල්පයක් ගොවීන්ට පමණක් වන අතර ජලසම්පාදන පහසුකම් නැති මාස් කන්නයට වගා කටයුතු කරන ගොවීන් ණයකාරයින් බවට පත් වේ. වර්ෂා සමය උදාවීම නිසා  දැන් නැවතත් එළවලු මිළ ගණන් ඉහළ යන්නට පටන් ගෙන ඇති අතර බණ්ඩාරවෙලදී පවා අර්තාපල් සිල්ලර මිල රුපියල් දෙසියයක් වෙද්දී ඉතා සුලු මිළකට අලෙවි වූ තක්කාලි රුපියල් අසුවක් හා බෝංචි රුපියල් එකසිය හැටක්ද සෙසු එළවලු මිලද සාපේක්ෂව ඉහළ යන්නට පටන් ගෙන තිබේ.  ඉදිරි දින කිහිපයේ තවත් මිල ඉහළ යන අතර පාරිභෝගිකයා අපහසුවට පත්වන නමුත් ගොවියාට ඉන් වාසියක්ද සැළසේ. කොවිඩ් වසංගතයට අදාල ඉදිරි රෙගුලාසි සමග කුමක් සිදුවිය හැකිද යන්න ගැන අනාවැකි කීම අසීරු වුවත් ගොවීන් පවසන්නේ වෙනත් කරුණක් නිසා තමන්ගේ ආදායම අවිනිශ්චිත විය හැකි අතර එළවලු මිල වැඩිවීමෙන් පාරිභෝගිකයාද අපහසුවට පත්වන බවයි. ඔවුන් පෙන්වා දෙන මෙම අතුරු කාරණය වන්නේ පසුගිය ජනවාරියේ සිට පැවති හා දැන් අර්බුදයක් බවට පත්ව ඇති පොහොර හිඟයයි.

වියදමත් වැඩි අතහැරිය නොහැකි ගොවිතැන

කලාපයේ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන මිල හා පාරිභෝගිකයන්ට දරන්නට සිදුවන මිලදී ගැනීමේ වැයබර වැඩිම රට ශ්‍රී ලංකාවයි.  ගොවීන් පවසන්නේ බීජවල සිට වගාවට අවශ්‍ය සියලු යෙදවුම්වල මිල ගණන් දරාගන්නට බැරි තරම් ඉහළ මට්ටමක පවතින බවයි. ඒ නිසා ආහාර මිල ගණන් ඉහළ යාම ස්වභාවිකය.   මේ වනවිට බණ්ඩාරවෙල වැලිමඩ ප්‍රදේශවල ගොවීන් ඉම්පෝර්ටඩ් ලෙස හඳුන්වන ආනයනික අර්තාපල් බීජ හොණ්ඩරයක මිල රුපියල් 18500ක් පමණ වේ.  අල වගාවෙන් ලාභයක් ලැබීමට නම් අල හොණ්ඩර හෙවත් පෙට්ටි දහයක්වත් සිටුවිය යුතුය.  එවැනි පසුබිමක බීජවලට පමණක් ප්‍රවාහන හා වෙනත් වියදම් ඇතුළුව  රුපියල් ලක්ෂ දෙකක් වැය වේ.  වැඩකුලී හා සෙසු යෙදවුම්වලට තවත් රුපියල් ලක්ෂ දෙකක් වියදම් වී නම් සමස්ත නිෂ්පාදන පිරිවැය රුපියල් ලක්ෂ හතරකි.  එකට දහය අනුපාතයට අස්වැන්න ලද විටක අල පෙට්ටි සියයක් හෙවත් කිලෝ පන්දහසක් නිපදවීමට ගොවියා සමත් වේ. සාමාන්‍යයෙන් තොග මිල රුපියල් එකසිය හැටක් පමණ වුවහොත් ගොවියාගේ සමස්ත ආදායම ලක්ෂ අටක් වී රුපියල් ලක්ෂ හතරක පමණ ආදායමක් ලැබේ.  නමුත් එසේ සියල්ල යහපත් අයුරින් සිදුවීමට තිබෙන ඉඩ අඩුය. බීජවල ගැටලුවල සිට බොහෝ හේතු නිසා ගොවියා බොහෝවිට සිටින්නේ පරාජිත කඳවුරේ වන අතර වියගසට බඳින ලද ගවයා මෙන් ඔහුට ඉවත යා නොහැකිව ගොවිතැනේ රැඳී සිටින්නට සිදුවන්නේ කළ හැකි වෙනත් කර්මාන්තයක් නැති බැවිනි. එසේම ගොවියා ගොවිතැනෙන් ඉවත්වීම රට වෙනත් අර්බුදයකට ඇදගෙන යන අතර දැනටමත් දුලබ විදේශ විනිමය සංචිත ආහාර ආනයනය සඳහා වැය කරන්නට සිදුවේ.  මේ වැසි සමය සමග උදාව ඇත්තේ බහුලව අර්තාපල් වවන කන්නයයි.  අහස්දියෙන් කඳුවල අල වවන ගොවීන්ට වසරේ එකම අර්තාපල් වගා කන්නය වන මෙය “කඳු කන්නය”යි. එහෙත් මෙවර අල වවන බලාපොරොත්තුවෙන් දෑස් දල්වාගෙන සිටි ගොවීන් පවසන්නේ පොහොර හිඟය නිසා තමන් අමාරුවේ වැටී සිටින බවයි.  ඔවුන්ට අනුව අල වගාවට අවශ්‍ය “අල පොහොර” නමින් හඳුන්වන මිශ්‍ර පොහොර වර්ගය වෙළඳසැල්වල නැත.

අවශ්‍ය පොහොර මිලට ගැනීම සඳහා බණ්ඩාරවෙලට පැමිණ හිස් අතින් යාමට සූදානම්ව සිටි ඌව පරණගම බන්දුල අප හා පැවසුවේ කඳු කන්නයේ අල වගාවට බිම් සකස් කළ තමන් අමාරුවේ වැටී ඇති බවයි. “මං ගත්තේ ඉම්පෝටඩ් අල. පෙට්ටිය රුපියල් 18500 ගණනෙ. වැඩ කුලිත් ගියා.  ඒත් තවම පැළ කරගන්න විදියක් නැහැ. මොකද පැළ කරලා දාන්න පොහොර නැහැ.  අල පොහොර නොදා අල හදන්න බැහැ. ලොක්කො කියන විදියට මේවා ගොම පොහොර කොම්පෝස්ට් විතරක් දාලා කරන්න පුලුවන් වැඩ නෙවෙයි. දිගින් දිගට වැවුවම නිසරු වෙන පස පොහොර දාලා සරු කරන්න ඕන. ඒකට රසායනික පොහොරත් ඕන.” යනුවෙන් ආවේගශීලීව අදහස් දැක්වූ ඔහු කිසියම් දැනමුතුකමක්ද බලධාරීන්ට දෙන්නේය.  සිය අස්වනු අලෙවි කිරීමට පැමිණි සමීරද මිළඟ කන්නයේ අල වැවීමට සූදානම් වන වැලිමඩ පදිංචි තරුණ ගොවියෙකි. ඔහු පවසන්නේ අල පොහොර නැතිව අල වැවීම අනවශ්‍ය අවදානමක් ගැනීමක් බවයි. “මෙහෙමයි මහත්තයා අල ගහට මොනවා තිබ්බත් වැඩක් නැහැ අල පොහොර නැත්නම්.  ඉතිං මේ පාර තියෙන අවුල තමයි අල පොහොර නැතිකම. එකට දහයකවත් අස්වැන්නක් නැත්නම් වවලා වැඩක් නැහැ. එහෙම ගන්න බැහැ පොහොර නැතිව.  අනික මේ බීජ අලවලට කොම්පෝස්ට් කියල ප්‍රමිතියක් නැති කුණු ගොඩවල් දැම්මම අංකුර ඇදෙන්න කලිං කුණු වෙලා යනවා.” යැයිද ඔහු පැවසුවේය.

අවුල අලවලට පමණක් නොවේ.

උඩරට එළවලු වගාවේදී මිශ්‍ර පොහොර භාවිතය අවශ්‍ය වන්නේ අර්තාපල් සඳහා පමණක් නොවේ.  සෙසු එළවලු වගා සඳහාද එළවලු පොහොර, කොළ පොහොර හා සුපර් 02 පොහොර භාවිතා කරන අතර ඒවා මෙන්ම උඩරට තේ කලාපයට අවශ්‍ය තේ පොහොරද මේ දිනවල හිඟය. ඇතැම් ප්‍රදේශවල මේ පොහොර සොයාගන්නට ඇත්තේම නැත.  බල්ලකැටුව නාවෙලගම පදිංචි මහා පරිමාණයෙන් බෝංචි වගා කරන ගොවියෙකු වන උපුල් ප්‍රියන්ත පවසන්නේ පසුගිය ජනවාරි මාසයේ සිට යූරියා පොහොර හිඟයක්ද තිබූ නමුත් දැන් වෙළඳපොළෙහි යූරියා තිබෙන බවයි. “යූරියා තිබුණ කියල මේ වැහි කන්නෙ වැඩි ප්‍රයෝජනයක් නැහැ. මොකද අපි වැස්ස කාලේ යූරියා පාවිච්චි කරන්නෙ අඩුවෙන්. මේ දවස්වල අපිට වුවමනාම පොහොර වර්ග දෙක එළවලු පොහොරයි, සුපර් 02 පොහොරයි තමා. මහත්තුරු ටීවී එකට ඇවිල්ල කටින් බතල හිටෙව්වුට වැඩක් නැහැ.  ඇත්ත තත්ත්වෙ දන්නෙ වගා කරන අපිනෙ.” යනුවෙන් ඔහු පවසයි. ප්‍රියන්ත පවසන අන්දමට සිය ප්‍රදේශයේ ගොවීන් බෝංචි වගාවේදී තේ පොහොරද භාවිතා කරයි.  ඒ කෘෂිකර්ම උපදේශකවරුනගේ උපදෙස් අනුව නොවේ.  සිය අත්දැකීම් වපසරිය මතය. “වගාවෙ පස පෙරලද්දි අපි තේ පොහොර දාන්නෙ බෝංචිවැල්වල කොළ ඉවෙන්න. එතකොට තමයි කරල් වැඩි වෙන්නෙ. දැන් අපිට ඒක කරන්න විධියක් නැහැ. තේ වවන මිනිස්සුන්ටවත් තේ පොහොර නැතිව ඉද්දි බෝංචිවලට මොන තේ පොහොරද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කරයි. මෙවර අස්වැන්න අඩුවිය හැකි බවද එහි ප්‍රථීඵලයක් ලෙස එළවලු මිළ ඉහළ යා හැකි බවද අනාවැකියක් ලෙස පවසන ඔහු හේතුව සේ දක්වන්නේ පවතින පොහොර හිඟයයි.

බණ්ඩාරවෙල ඉරෝෂා ඇග්රෝ වෙත පැමිණ සිටි අභයපුර පදිංචි ගොවියෙක් පැවසුවේ  වැසි සමයේ පොහොර හිඟවීම ඉතා දැඩිව ගොවිතැනට බලපාන බවයි.  ඔහුට අනුව එළඹෙන වසරේ මුල් කාර්තුවේ ජීවන වියදම ඉහළ යාමට මෙම තත්ත්වය අහිතකර ලෙස බලපානු ඇත. ඒ නිසා බලධාරීන් කළ යුත්තේ වහා පිළියම් යෙදීමයි.  බණ්ඩාරවෙල තල්දෙන ඇග්රෝහී අධිපති සුසිල් තල්දෙනට අනුව දැන් යූරියා හිඟයක් නැත.  එහෙත් වැසි සමයේ ගොවීන් යූරියා භාවිතා කරන්නේ අඩුවෙනි.  “දැන් හිඟ තේ පොහොර සහ මිශ්‍ර පොහොර. අපි  හිතමු එළවලු වගාවට අල පොහොර දානවා කියලා එළවලු පොහොර වෙනුවට. ඒක කරන්න පුලුවන් වුණාට ඵලදායකත්වය අඩුයි.  නිසි වෙලාවට අවශ්‍යම පොහොර වර්ගය නොදා වැඩක් නැහැ.  තක්කාලිවල ගෙඩි වැඩිවෙන්න නම් සුපර් 02 දාන්නම වෙනනවා. නැත්නම් වැඩක් නැහැ. ඉතිං මේ දවස්වල ඔය කිසි එකක් ගන්න  නැහැ හිඟයි.  මේක ගොවියාගේ ආදායමට බලපාන්න පුලුවන්. මොකද වැස්ස නිසා එළවලුවල ඩිමාන්ඩ් එක වැඩිවෙන කාලෙක බඩු අඩුවෙනවා කියන්නෙ පාඩුවක්. අපරාධයක්” යනුවෙන්ද සුසිල් අදහස් දක්වමින් පැවසුවේය.

මාස ගණනක මහන්සිය මුදල් කිරීම සඳහා පෝළිම්වල

පොහොර සමාගමක නම හෙළි නොකළ අලෙවි නියෝජිතයෙකු පැවසුවේ උද්ගතව ඇති තත්ත්වයට හේතුව  පසුගිය කාලයේ ආනයනය කළ පොහොරවලට අදාල සහන මිල ලබාදීම් වෙනුවෙන් ගෙවිය යුතු රාජ්‍ය භාග නිසි පරිදි ගෙවා නැති වීම බවයි. ඔහුට අනුව පොහොර සමාගම් වෙත ගෙවිය යුතු සමස්ත මුදල ගෙවා නොමැති නිසා ඇතැම් සමාගම් විදේශවලින් අවශ්‍ය තරම් පොහොර ගෙන්වීමට ඇණවුම් ලබා දී නැත.  ඒ අතර පවතින කොවිඩ් තත්ත්වය නිසා ඇතැම් රටවල නාවික මෙහෙයුම් ඇතුළු අපනයන සීමා වීමද මෙරට පොහොර සම්බන්ධ රාජ්‍ය ප්‍රතිපත්තිය වරින්වර වෙනස්වීමද ගැටලුවට සියයට අසූවක් බලපා ඇති බව ඔහු පවසයි.

කෙසේවෙතත් පොහොර හිඟයෙන් ගොවීන් දැනටමත් බැට කන අතර ඉක්මන් පිළියමක් නොයෙදුවහොත් පාරිභෝගිකයාටද කබලෙන් ලිපට වැටෙන්නට සිදු වීම නියතය.

 

ලසන්ත ද සිල්වා

ස්තූතිය – අනිද්දා පුවත්පත

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *