ඡන්දයට හමුදාවේ රාජකාරි, ඉල්ලුවොත් විතරයි – හමුදාපති

මැතිවරණයට යුද හමුදාව කිසිදු අයුරකින් සම්බන්ධකර ගැනීමට බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මැතිවරණ කොමිසමේ උපදෙස් හා ඉල්ලීම් මත මැතිවරණයේදී ක්‍රියාත්මක වීම පොලීසියේ වගකීමක් බවත් යම් අවස්ථාවක යුද හමුදාවේ සහය අවශ්‍යය බවට පොලීසිය ඉල්ලීමක් කළහොත් ඒ සඳහා සහය දීමට හමුදාව සූදානම්කර තිබෙන බවත් ඒ මහතා කීය. කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය සෞඛ්‍ය උපදේශන ගැසට් කිරීම සඳහා වන උපදෙස් ජනපතිතුමන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලබාදී තිබෙන බවත් එය කඩිනමින් ක්‍රියාත්මක වනු ඇති බවත් හෙතෙම පැවසුවේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවීඩ් -19 රෝගීන් 532 දෙනෙකු වාර්තාවී තිබෙන බවත් ඒ අතරින් 444 දෙනෙකු එහි පුනරුත්ථාපනය වන රැඳවියන් බවත් ඒ මහතා පැවසුවේය. උපදේශකයින් හා කාර්ය මණ්ඩලයේ 64 දෙනෙකු වෛරසයට ගොදුරුව සිටින බවත් ඊට අමතරව ඔවුන්ගේ පවුල් වල 24 දෙනෙකු කොවිඩ් ආසාධිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. මෙම පිරිස හා සම්බන්ධතා පැවැත්වූ ආසන්නතම පුද්ගලයින් නිරොධායනයට යොමුකර තිබෙන බවත් ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ලැබෙමින් පවතින බවත් ෂවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. වෛරසයට තමන් ගොදුරු නොවී ඉඳීම සෑම පුරවැසියෙකුගේම වගකීම බවත් ඒ සඳහා සෞඛ්‍ය අංශ ලබාදී තිබෙන උපදේශ අකුරට පිළිපැදීම වැදගත් බවත් ඒ මහතා කීය. වෛරසයට තමන් ගොදුරු වීම හෝ වෛරසය තමන්ගෙන් වෙනත් කෙනෙකුට ආසාධනය වීම සිදුවන්නේ සෞඛ්‍ය නිර්දේශ පිළිනොගෙන කටයුතු කිරීමට යෑමෙන් බවත් මේනිසා ඒ ගැන ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *