ජනතාවට තහනම් වේලිඔයේ වැලි ඩ්‍රෙජින් ලංකා කොම්පැනියට

කල්තොට- බුදුගල සෝමරතන හිමි

රත්නපුර බදුල්ල හා මොනරාගල යන  දිස්ත්‍රික් තුනට මායිම්ව වේළිඔය, කාලකන්නි ඔය, සහ දෙමටමල් ආර ඔය හරස්කොට ඉදිකළ වේළිඔය  වාරිමාර්ග අමුණේ වැලි නිධියේ  සිදුවන මහාපරිමාණ වැලි ජාවාරම වහාම නතර කර දෙන්නැයි ප්‍රදේශවාසී ජනතාව ඉල්ලා සිටිති. 2005 ඔක්තෝබර් මස 10 වන දින වෙල්ලස්ස උදාන මහෝත්සවයේදී එවකට ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෙම අමුණ ජනතා අයිතියට පත් කර ඇත.

නමුත් පසුව පැවති  යහපාලන ආණ්ඩුව යටතේ 2017 වර්ෂයේ දී මෙහි වාරිමාර්ග අධ්‍යක්ෂකගේ (මොණරාගල) පුර්ණ අධීක්ෂණය යටතේ වැලි හා රොන්මඩ යන්ත්‍රානුසාරයෙන් ඉවත්කිරීමට  යැයි පවසමින් ගම්පහ උඩුගම්පොළ නයිවල පාර අංක  400 ඊ.ස්ථානයේ ඩ්‍රෙජින් ලංකා නම් පුද්ගලික සමාගමක් වෙත අවසර ලබා දී ඇත. ඔවුන් එහි මහා පරිමාණයෙන් යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් වසර පහක් තිස්සේ රඳවා ගත් වැලි නිධියෙන් කොටසක් පසුගිය කාලයේ ගොඩ දමා ඇත. මෙකී තත්වය හමුවේ නීත්‍යනුකූලව වැඩි වැලි ගොඩ දමමින් ජීවත් වූ පවුල් පන්සියයක පිරිසක් හා වක්‍ර රැකියා දහසකට අධික  ජීවන වෘත්තීන් ද මේ නිසා අහිමිවී ගොස් ඇත. මේ අසාධාරණය හමුවේ  පීඩාවට පත් වී සිටින ප්‍රදේශවාසී ජනතාව තම අදහස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළහ.

නෙළුයාය සමගි වැලි  සංගමයේ සභාපති එම්.ජි.  විමලරත්න මහතා-

“වේළිඔය අමුණ සාදන අවස්ථාවේ බලධාරීන් අපට පොරොන්දු වුණා නෙළුයාය හා මැදබැද්ද ප්‍රදේශ වලට වාරිජලය ලබා ගැනීමට දකුණු ඇල ව්‍යාපාරය හදලා දෙනවා කියලා. ඒ වගේම ඉඩම් අක්කර 500ක් දෙනවා කිව්ව. ඒ එකක්වත් තාම ඉටුවී නැහැ. කල්තොට නෙළුයාය ගමේ  හැමෝම වාගේ ජීවත්වුණේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් තුමාගේ අවසරය මත බලපත්‍ර ලබාගෙන වැලි  ටිකක් ගොඩ දාලා. පවුල් තිස් හයක් අපේ ගමේ ඒ විදිහට බලපත් අරගෙන දෙසීයකට වැඩි පිරිසක් රැකියාව විදියට වැලි ගොඩ දානවා. මඩ සොරොව්ව වසාගෙන සිටින නිසා අපට වැලි කඳුලක් වත් පහලට ගලාගෙන එන්නේ නෑ. මේ වන විට ජාවාරම්කරුවන්  වැලි කියුබ් පන්දාහක් විතර පොම්ප කරලා අරගෙන ගොස් තිබෙනවා. මේ නිසා අපි දැන් දැඩි ලෙස අසරණ වෙලා ඉන්නේ”

වේළිඔය අමුණ

කේ.ජි. සීතා කාන්ති මහත්මිය-

“අපි ළමයි ඉස්කෝලේ යවන්නේ ජීවත් කරන්නේ වැලි ඇටයක් ගොඩදාලා. වෙනත් ආදායම් මාර්ග නැහැ. දරුවන්ට පොතක් පතක් සුදු රෙද්දක් අරන් දෙන්නවත් හාල් ටිකක් ගන්නවත් විදිහක් නැති වෙලා තියෙනවා. පසුගිය කාලේ සැරට වැස්සා.වෙනදා වැස්සට පස්සේ ගඟේ හොඳට වැලි තිබුණා. දැන් තියෙන්නේ ගළුයි කොළ රොඩු විතරයි. මේ වෙන කොට පුද්ගලික ආයතනයේ යකඩ ගොඩවල් ආරක්ෂා කරන්න පොලිස් ආරක්ෂාවක් දීලා තියෙනවා. පසුගිය දවසක අපිව රවට්ටන්න වගේ අපේ ඉල්ලීමට වාරිමාර්ග නිලධාරින් එක දොරක් උදේ ඇරලා සවස ආයෙත් වැහුවා. පසුගිය අවස්ථා දෙකකදී ජනාධිපතිතුමා බලංගොඩ ආපු වෙලාවෙත් වලේබොඩටට ආපු අවස්ථාවේත් මේ පිළිබඳව අපි කෙළින්ම එතුමාට කිව්වා .ජනාධිපතිතුමා නියෝග දුන්න දොරවල් අරින්න කියලා. ඒත් තාම ඒක සිදුවුණේ නෑ අපි දැන් කාටද කියන්නේ.”

ගිරාකැතිගල ගොවි සංවිධානයේ සභාපති හා  වේළිඔය වාරිමාර්ග ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධාන‍යේ  සාමාජික එම්. ටි. එස්.කේ. වික්‍රමනායක මහතා

“වේළිඔය  අමුණේන් වැව් 34ක් පෝෂණය වෙනවා. ඒ ආශ්‍රිතව වන සම්පත විනාශ කරමින් නොයෙකුත් හානිදායක කටයුතු සිදු වෙනවා. ඊට හේතුවන්නේ මෙම අමුණ ආශ්‍රිතව දැවැන්ත යන්ත්‍රෝපකරණ යොදා ගනිමින්  මහාපරිමාණ වැලි ජාවාරමක් සිදුවීමයි. යහපාලන රජය යටතේ පත්වු වාරිමාර්ග අධ්‍යක්ෂතුමා (මොනරාගල)  වසර පහක් තිස්සේ අමුණේ මඩ සොරොව්ව විවෘත නොකර සිටීමෙන් අපේ දුප්පත් ජනතාව දැඩි ලෙස අසරණ වෙලා තිබෙනවා. මේකට දේශපාන අධිකාරියේ  ලොකු බලපෑමක් තිබෙනවා. අමුණේ දොරවල් වහල තියෙන කොට ඒ ආශ්‍රිතව මඩ කැළිකසල ආදිය එකතු වීම නිසා ජලය අපිරිසිදු වෙනවා.දොර පොඩ්ඩක් හෝ ආරියාම ගගේ යන  ඒ වතුර ටික ගඟ දෙපස ජිවත් වන පවුල් 1000ක් පමණ මෝටර් යොදාගෙන වගා කටයුතුවලට හා දෛනික පරිභෝජනයට ජලය යොදා ගන්නව. මේ තත්ත්වය නිසා ඔවුන් සෞඛ්‍ය ගැටළුවට පවා මුහුණ දීලා තියෙනවා. අමුණේ බැම්මටත් මේ තත්ත්වය හමුවේ බලපෑම් එල්ල වෙලා එහි ඉරි තැලී ගොස් තිබෙනවා. ඒ වගේම භූගත ජලයටත් බලපෑමක් වෙලා තිබෙනවා. වැලි පැටවු  විශාල ලොරි රථ ගමන් කිරීමෙන් වැලි පාරත් ගිලා බැහැල.”

වැලි පොම්ප කළ මැෂිම

ලොරි රථ රියැදුරෙකු වන එම්.එම්. මහින්ද ඩයස් මහතා

වේළිඔය අමුණෙන් පහළ නීත්‍යනුකූලව දුප්පත් ජනතාව ගොඩදාන වැලි බලංගොඩ පැල්මඩුල්ල රත්නපුර ආදී ප්‍රදේශවලට ප්‍රවාහනය කරන්නේ අපි. අපි ඒවට රජයට බදු මුදල් ගෙවලා බලපත්‍ර අරගෙන තියෙන්නේ. මම ෆිනෑන්ස් කරලා වාහනයක් අරගෙන වැලි ටිකක් අරන් ගිහින් තමයි ෆිනෑන්ස් වාරිකය ගෙව්වේ. දැන් අපට ඒව ගෙවා ගන්න බැරිව ලොක් ගැටළුවකට මුහුණ දීලා තිබෙනවා. එනිසා එහි සවි කරල තිබෙන වැලි පොම්ප හා මැෂින් ගලවා ඉවත් කර දෙන දෙන්න කියලා ජනාධිපතිතුමාට අපි යළිත් කියනවා. අගමැති තුමා කිව්වේ අපේ ආණ්ඩුවක් ආවාම මේකට සාධාරණය ඉටු කරන්නම් කියලා. ඒත් තාම නෑ. අපට මේකට විසඳුමක් නොලැබුණොත් දැඩි අරගල කරනවා.

මේ ගැටළුව පිළිබඳව බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.එම්.සුනිල් පේමසිරි මහතාගෙන් විමසීමක් කළෙමු.

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා

“වේළිඔය අමුණෙ වතුර ටික අපට අයිති නැති උනත් ඉන් පහළ සිටින අපේ ආසනයට අයත් නෙළුයාය ප්‍ර‍දේශයේ ජනතාව  පෝෂණය වුණේ වැලි ටිකක් ගොඩ දාලා. ඒකෙන් තමයි බලංගොඩ ආසනේ ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කය අවට ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කළේ. අපේ සංවර්ධනයට අවශ්‍ය වැලි ගත්තේ වේළිඔය අමුණෙන්. වැලි ගොඩදාන අයත් වැලි ප්‍රවාහනය කරන හිමිකරුවන් පණහකට වැඩි පිරිසක් ජීවත් වුනේ ඕකෙන් තමා. අපේ ප්‍රදේශ සංවර්ධනයට ඔය වැලි ටික නැත්නම් මුහුදු වැලි හෝ මනම් පිටියෙන්  වැලි ගේන්න වෙනවා. එතකොට වැලි කියුබ් එකක් රු.15000ක් විතර වෙයි.  මෙතන ලොකු අසාධාරණයක් ජනතාවට සිද්ධවෙන්නේ. දහස් ගණනකට සෙත සැලසූ නෙළුයාය ප්‍රදේශයේ වැලි ගොඩ දැමීමේ ක්‍රියාවලිය  දෙතුන් දෙනෙකුගේ අතට යෑම ලොකු ප්‍රශ්නයක්.  මම මේ ගැටළුව  රත්නපුර දිස්ත්‍රික් ග්‍රාමීය ආර්ථික කමිටුවට  ඉදිරිපත් කරනවා. ඉතා ඉක්මනින් මේ සඳහා විසඳුමක් ලබා දෙන්න අපි උපරිමයෙන්ම  කටයුතු කරනවා.”

වේළිඔය වාරිමාර්ග ප්‍රාදේශීය ඉංජිනේරු ආරියපාල මහතා-

“මේ කාරණය පිළිබඳව ජනාධිපතිතුමාටත් වාර්තා වෙලා තිබෙනවා. මීට පෙර අවස්ථාවක වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේකට  අවසර දීල  තිබුණා. ජනතාවගේ ඉල්ලීමත් හා විවිධ කාරණා හේතුකොට ගෙන ජනාධිපතිතුමාගේ උපදෙස් මත දැන් එක නතර කරල තිබෙනවා. ඒ මැෂින් ගලවගෙන යන්න කියලා අපි ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. එහි වැලි දොරවල් සම්පූර්ණයෙන්ම අරින්න බැරි හේතුවක් තියෙනව. අපි ගොවි ජනතාවට වතුර දෙන්නත් ඕනේ අක්කර 4000ක් විතර ඒ අය වගා කරනවා.”

” මෙහි නෙරළුව කියලා  වැවක් තියෙනවා. එම වැවට වතුර ගිහිල්ලා ඒක පිරුණට පස්සේ තමයි එතනින් එහාට වතුරේ යන්නේ.ඒ නිසා   ඇල වහල තියන්න බෑ. ඇල වැහුව්වොත් මග වතුර නවතිනවා. හෙමින් වතුර යන්නේ. මොන හේතුවක් මත හෝ ඇලේ වතුර බැස්සොත් දින ගණනකට ආයෙ ඇල කෙළවරට වතුර යවන්නෙ බැරි වෙනවා.ඇල හැම වෙලාවෙම වතුර යන එකක් ලෙස තිබිය යුතුයි.”

“දැන් මෙතන වැලි ප්‍රශ්නයක් තියෙන නිසා අපි මෙහෙම දෙයක් තීරණය කරලා තියෙනවා. අපි දොරවල් ඇරලා තියෙන්නේ මෙහෙමයි. දැනට වතුර දීම පිළිබඳ අපට පහලින් ලොකු ගැටළුවක් නැහැ. වතුර ටිකක් එළියට යනවා. නමුත් ඇලේ යම් ගැටලුවක් ඇවිත් පහළට වතුර යන්නෙ නැතිවුණොත් ගේට්ටුව සම්පූර්ණයෙන්ම අපට වහන්න වෙනවා. ඒ වගේම යම් දිනක රාත්‍රී වැස්සොත් අමුණෙන් වතුර පිට දානවනම් ගේට්ටුව වැඩියෙන් අරින්න වෙනවා. එතකොට දෙපැත්තම සමබර වෙනවා. ඒක තමයි අපේ සැලසුම. ගොවියන්ට වතුර අඩු වෙනකොට  වතුර යනවා. අමුණෙ වතුර වැඩිවෙනකොට  දොරවල් අරිනවා.”

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *