ජනමාධ්‍ය වල් බූරු නිදහසක් අපේක්ෂා කරනවා නම් ජනතාව නීතියේ පිහිට පැතිය යුතුයි – ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක

ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක මහතා

පසුගිය දිනවල ලංකාවේ මාධ්‍ය හැසිරීම ආන්දෝලනාත්මක වූයේ පුරවැසියාගේ පුද්ගලිකත්වය නොතකා ක්‍රියාකරන බවට විවේචනවලට භාජනය වන්නට ඒවාට සිදු විය. වසංගත සමයේ හෙළිදරව් කිරීම්වලදී පිළිපැදිය යුතු නිර්ණායක මාධ්‍යයට පෙන්වා දෙන්නට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද ක්‍රියා කළේය. මහජනයාට තොරතුරු දැනුම් දීම සඳහා බව පවසමින් තමන් රිසි සේ හැසිරීමේ ඉඩ මාධ්‍යයට තිබෙනවාද යන්න අප සංවාදයට භාජනය කළේ එම සන්දර්භය තුළය. සංවාදයට එක්වන්නේ ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක මහතායි.

ජගත් වික්‍රමනායක මහත්මයා, කෙනෙකුගේ පෞද්ගලිකත්වය කියන්නේ රාජ්‍යයේ අත පෙවීමකින්වත් උල්ලංඝනය කළ නොහැකි තරම්  බරපතල වටිනාකමක් තිබෙන දෙයක්ද?

මූලික කාරණය තමයි අපි මුලින්ම හඳුනගන්න වුවමනයි මොකක්ද පෞද්ගලිකත්වය කියන්නෙ කියලා. ඒක මෙහෙමයි කිසියම් කෙනෙකුට තමන්ගේ හරි තම පවුලේ හරි තොරතුරු වෙනත් කෙනෙකුට අනාවරණය කරන්නේ මොන වගේද? එහෙම නැත්නම් කාටවත් ප්‍රකාශ නොකර රැක ගන්නෙ මොන විධියේ කොරතුරද? කියන එක මතයි එය තීරණය වෙන්නේ. පෞද්ගලිකත්වය ඕනෑම පුද්ගලයෙකුට තියෙන අයිතිවාසිකමක්. උදාහරණයක් විදියට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියේ 12වන වගන්තියේ සඳහන් වෙනවා කෙනෙකුගේ පෞද්ගලිකත්වයට අයථා විදිහට අත්තනෝමතිකව බලපෑම් කරන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ එවැන්නක් සිදු වුවහොත් නිතියේ පිළිසරණ ලබන්න පුලුවන් කියලා. ලෝකෙ හැමතැනම මේකට පිළිගැනීමක් තියෙනවා. පසුකාලෙක එංගලන්තෙ අගමැති වුණු සර් විලියම් ෆිට් කියනවා එංගලන්තෙ ඉන්න දුප්පත්ම මිනිහගෙ පැළට අනවසරයෙන් ඇතුළු වෙන්න මහ රජ්ජුරුවන්ට බැහැ කියලා. සමහර රටවල මේ ගැන නීති තියෙනවා. අපේ රටේ නීතියක් නැහැ. නමුත් පෞද්ගලිකත්වය පිළිගන්නා බව සඳහන් නඩු තීන්දු තියෙනවා. උදාහරණයක් සිංහ රත්නතුංග එරෙහිව නීතිපතිවරයා කියන නඩුව. මෙහි දී හිටපු ජනපතිනි චන්ද්‍රිකාට අපහාස කළා කියන චෝදනාවෙදි සන්ඩේ ලීඩර් පුවත්පතෙහි කර්තෘ වැරදිකරු වෙනවා. ඔවුන් කළ අභියාචනයත් පරාද වෙනවා. හැබැයි ඒ තීන්දුව ලියපු අභියාචනාධිකරණ විනිසුරුවරු දුටුවා මේ වගේ නඩු තීන්දුවකින් මාධ්‍ය නිදහස සීමාවෙන්න පුලුවන් කියලා. ඒ නිසා මේ තීන්දුවේ කියවුණා මාධ්‍ය නිදහස මොන වගේ වෙන්න ඕනද කියලා. ලංකාවේ පුද්ගලිකත්වය මූලික අයිතිවාසිකමක් කියලා පිළිගෙන නැකි වුණත් කාගෙවත් පුද්ගලිකත්වයට බාධා කරන්න ඇතුළු වෙන්න ඉඩක් නැහැ කියලත් එහිදී කිව්වා.

නීති රීති සම්පාදනය වෙලා නැතත් පුද්ගලිකත්වයට අදාල නඩු තීන්දු ලංකාවේ තියෙනවා. නමුත් මහජනයා ඒ පිළිබඳව නොදන්න නිසා හිතනවා බරපතල හා පොදු වැදගත්කමක් තියෙන කාරණාවලදී පුද්ගලිකත්වය අදාල වෙන්නෙ නැහැ කියලා. මොකක්ද ඒ පිළිබඳ ඔබේ මතය? 

මිනිස්සු එහෙම හිතන එක වැරදියි. අපි ගනිමු අපහාසය කියන එක. අපහාසය සම්බන්ධයෙන් සිවිල් නඩුවක් දාලා වන්දි ගන්න පුලුවන් නැත්නම් අපහාස කරන එක නවත්තන්න අධිකරණ නියෝගයක් ගන්න පුලුවන්. ඒ වගේ නඩුවකදී ඊට විරුද්ධව කියන්න තියෙන විත්ති වාචකයක් තමයි සත්‍යය කියන විත්ති වාචකය. ඒ කියන්නේ “මම මේ හෙළි කරපු තොරතුරු ඇත්ත” කියන කාරණාව. මෙහෙම හිතමු “මම සොරකමකට හසුවෙනවා. දැන් ඒකෙදි මට උසාවි දැම්මම දඩුවමක් නියම වෙනවා. හැබැයි මට සොරකමට ලැබිය යුතු දඩුවම ඉක්මවා ගිහිල්ලා කිසියම් පුළුල් ප්‍රචාරයක් මාධ්‍යයෙන් දුන්නොත් ඒකෙන් මට කිසියම් අපහාසයක් සිද්ධ වෙන්න පුලුවන්. විත්ති වාචකය අනුව මා හොරෙක් කියන එක ඇත්ත වුණත් එය ප්‍රමාණවත් නැහැ. විත්ති වාචකය හැදෙන්න ඕන එය හෙළි කළේ සත්‍යය වීම නිසා සහ මහජන සුබ සිද්ධිය නිසා ය කියන කාරණා දෙකම මත. ඕනෑම හෙළි කිරීමක් කරලා මං මේක කළේ මහජන සුබ සිද්ධියට කිව්වට අධිකරණය ඒ වගේ විත්තිවාචකයක් පිළිගන්නෙ නැහැ. “මං හොරකමක් කළාම අධිකරණයෙන් ලැබිය යුතු දඩුවමට අමතරව පින්තූර නම ගම විස්තර පත්තරේ දාලා පවුලටම අපහසුතාවයක් නිර්මාණය වෙනවනම් එය යහපත් සමාජ ප්‍රවනතාවක් නෙමෙයි. එවැන්නකට විරුද්ධව අධිකරණයට යන්න පුලුවන්.

සමහර අවස්ථාවල සුලු වැරදිවලට දඬුවම් ලබන අයත් මාධ්‍යවල බරපතල නිරාවරණයන්ට ගොදුරු වෙනවා. එය ඔවුන් අගතියට පත් වූවන් ලෙස අධිකරණයට යාමට පෙළඹිය යුතු අවස්ථාවක්ද?

මා දකින්නේ එය ඉතාමත් බරපතල තත්ත්වයක් හැටියට. අපි මේ වගේ දේවල් කරන අය ගැන නොසළකා හැරීම නිසා ඒ කියන්නේ නීතිමය පියවර නොගන්න නිසා අද වෙනකොට අපේ අධිකරණවල ඉන්න ඉතාම කීර්තිමත් විනිසුරුවරු පවා අපහසුතාවයට පත්වෙලා ඉන්නවා. මොකද අන්තර්ජාලයේ එහෙම දැන් විනිසුරුවරුන්ට රාජකාරි කරගන්න බැරි මට්ටමට අපහාස කරන අවස්ථාත් තියෙනවා. හිතට එකඟව තීන්දු දෙන විනිසුරුවරුන්ට අපහාසයක් වුණාම තමන්ම උසාවියට යන්නෙ නැහැ. නමුත් සමාජය තුළ ඒ අයට ආරක්ෂාවක් තියෙන්න ඕන. ඒක ජනතාවට භාර කටයුත්තක්. ජනතාව තමන්ට සිද්ධ වෙන අගතීන්වලදි පියවර ගත්තම තමයි එහෙම ආරක්ෂාවක් තියෙන සමාජ පසුබිමක් නිර්මාණය වෙන්නෙ.

කොඩිඩ් 19 වසංගත ව්‍යාප්තිය එක්ක තත්ත්වය තවත් බැරෑරුම් වෙනවා. මාතර එක්තරා හෙදියකට කොරෝනා වැළඳී ඇති බව කියමින් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු අගතිදායක වාර්තා කිරීමක් කළා. ඇය ආ ගිය තැන් පවා හෙළි කරමින්. එය වරදක් බව මධ්‍යස්ථ පිරිස් කියද්දි මාධ්‍යවේදියා කිව්වා තමන් මහජන යහපත වෙනුවෙන් කටයුතු කළා කියලා. එවැන්නක් ගැන ඔබේ මතය කුමක්ද?

මේ වෙලාවේ අපි කල්පනා කරන්න ඕන අපේ රට මුහුණ දීලා තියෙන්නේ ඉතාමත් බැරෑරුම් තත්ත්වයකට. එය පාලනය කරගැනීම සඳහා ජනමාධ්‍යවලින් සිද්ධ වෙච්ච මෙහෙය අනූපමේයයි. රජය පවා මහජනතාවට දිය යුතු පණිවිඩ සියල්ල දුන්නේ ජනමාධ්‍ය හරහා. ඒ සේවය අපිට අවතක්සේරු කරන්න බැහැ. නමුත් ඒත් එක්කම අපි දැක්කා මේ ජනමාධ්‍ය ස්වයං පාලනයක් නැතිව කටයුතු කරන ආකාරය. ඔබ සඳහන් කළ හෙදියගේ උදාහරණය ගනිමුකො. කොවිඩ් 19 රෝගය හෙදියක් වගේ කෙනෙකුට වැළ‍ඳෙනවනම් එහෙම වෙන්නෙ ඇය කරන රාජකාරිය නිසා වෙන්නට පුලුවන්. එතකොට ඔය කියපු විදියට ඇය ආගිය තැන් එහෙම හෙළි කරද්දි ඒ තොරතුරු අදාල වෙනවනම් අදාල වෙන්නෙ ඇය ජීවත්වෙන සීමාවේ අයට පමණයි. එහෙම නම් කරන්න තිබ්බෙ ජනමාධ්‍ය හා අන්තර්ජාලය හරහා රටේ ලෝකෙ හැමෝටම කියන එක නෙවෙයි. නිසි බලධාරින්ගෙත් අනුදැනුම ඇතිව අදාල ප්‍රදේශවල පමණක් දැනුවත් කිරීම් කරන එකයි. ජනමාධ්‍ය කළ යුතුව තිබුණේ මේවා පස්සෙ දුවන එක නෙවෙයි හොඳ කතිකාවක් ඇති කරන එක. දැන් අපිට තේරිලා තියෙනවා රජය ගත යුතු පියවර අරගෙන තියෙනවා. අවශ්‍යතාව මහජනයා පෙළ ගැස්වීම. ජනමාධ්‍යට කරන්න පුලුවන් ඒ රාජකාරිය සිද්ධ වෙන්නෙ අල්ප වශයෙන්. අපි හිතමුකො රජය කිසියම් වරදක් කරනවා කියලා අන්න ඒක ප්‍රශ්න කිරීම තමයි ජනමාධ්‍ය කළ යුතු අනෙක් දේ.

අපි දුටුවා ව්‍යසනය වාර්තා කරන ආරම්භක අවස්ථාවෙදි ඇතමුන්ගෙ වාර්ගික පෞද්ගලිකත්වය හෙළිදරව් කරනවා. එහි බැරෑරුම්කම කොහොමද තක්සේරු කරන්නෙ?

ඒක ඉතාමත් බරපතල තත්ත්වයක්. හේතුව අපේ වගේ රටක් කාලයක් තිස්සෙ බහුවාර්ගික නැත්නම් සමාදානෙන් ජනවර්ග කිහිපයක් ජීවත් වෙච්ච රටක්. ඔය හැම ජන වර්ගයක්ම නියෝජනය වෙන ජාතික වීරයෝ අපිට ඉන්නවා. මේ ජන වර්ග බෙදලා ඔවුන් අතර ප්‍රශ්න ඇති කරන්න ජනමාධ්‍යයට තියා කාටවත් අයිතියක් නැහැ. ඔය කියන තත්ත්වය රජයට පවා බරපතල ප්‍රශ්නයක් වුණා. ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා මගින් කොවිඩ් ආශ්‍රිත වාර්තාකරණයේදී මාධ්‍ය අනුගමනය කළ යුතු නිර්ණායක අටක් ඇතුළත් ලිපියක් නිකුත් කළා. මේ නිර්ණායකවල තිබ්බා රෝගීන්, පරීක්ෂාවට භාජනය කරන පුද්ගලයන් හෝ මරණ ගැන වාර්තා කරද්දි ජාතිය හා ආගම ගැන සඳහන් කරන්න එපා කියලා. අවසරයකින් තොරව ඡායාරූප වීඩියෝ පළ කරන්න එපා කිව්වා. මෙහි මුඛ්‍ය පරමාර්ථය ජනතාව තුළ වෛරය, ඉච්ඡා භංගත්වය වැළැක්වීම. අනාගතය ගැන හිතන්න ජනතාවට ඉඩ දීම. මේවා කොවිඩ් කාලෙ ජනමාධ්‍යයට අමුතුවෙන් කියා දිය යුතු දේවල් නෙවෙයි. ජනමාධ්‍ය නිරායාසයෙන් අනුගමනය කළ යුතු තමන්ගේම ආචාර ධර්ම.

ඇතැම් ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන් කල්පනා කරනවා තමන් පෙනී ඉන්නෙ ජනතාවගේ තොරතුරු අයිතිය වෙනුවෙන් නිසා ඕනෑම දෙයක් වාර්තා කිරීමේ නිදහස තියෙනවා කියලා. ඒ අදහස සාධාරණද?

ඒක අන්තිම වැරදි අදහසක් එහෙම නිදහසක් ලෝකෙ කොහේවත් නැහැ. දැන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් එහි 14 වන ව්‍යවස්ථාවේ කියනවා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස හැම පුරවැසියෙකුටම තියෙනවා කියලා. හැබැයි ඒක භාවිතා කරන්න පුලුවන් වෙන්නෙ 15වන ව්‍යවස්ථාවේ කියවෙන මූලික අයිතිවාසිකම් පිළිබඳ සීමාවන්ට යටත්ව. එතකොට එතැන කියැවෙනවා වාර්ගික හා ආගමික නිදහස ගැනත්. භාෂණයේ නිදහස මූලික අයිතිවාසිකමක් වුණත් එහි සීමාවනුත් ව්‍යවස්ථාවෙම කියනවා. 15-7 අනන්‍යයන්ගෙ නිදහස ගැනත් තියෙනවා. මේ සීමා මාධ්‍යයටත් අදාලයි. මාධ්‍යයට වල් බූරු නිදහසක් නැහැ කියන එක මේකෙන් තේරුම් ගන්න ඕන. මාධ්‍යයට බැහැ අනෙක් අයගේ අයිතීන් නැති කරන්න.

අපි දුටුවා වැලිගම නගර සභාවේ සභාපතිවරයා නගර සභා පනත ප්‍රකාරව ඇති බලතල භාවිතා කරලා එක්තරා රූපවාහිනී නාළිකා දෙකකට ප්‍රවේශ තහනමක් නිකුත් කරනවා. මෙය යහපත් ප්‍රවනතාවක්ද?

මම පෞද්ගලිකව හිතන්නේ මෙය එතරම් දුර දිග ගෙන යා යුතු තත්ත්වයක් නෙවෙයි කියලා. ඔහු ඉතාම ප්‍රගතිශීලී පියවරක් ගත්තෙ. මම ගරු කරනවා ඔහු ගත් පියවර සම්බන්ධයෙන් නමුත්, එය පූර්වාදර්ශයක් වුණොත් බලය ඇති වෙනත් අය මාධ්‍යයට එවන් නියෝග කරන්න ගත්තොත් ඉන් ඇතිවෙන්නෙ අන්තිම නරක තත්ත්වයක්. මහජනයා දැනගත යුතු දෙයක් වුණත් ඔවුන් ඒ ආකාරයේ නියෝගවලින් වසං කරන්න පුලුවන්. එහෙමනම් මෙවැන්නකදී සිද්ධ වෙන්න ඕන තමන්ගේ නිදහස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනමාධ්‍ය විනයගරුක වීම. ස්වයං නියාමනයක් ඇති කරගෙන ජනමාධ්‍ය වැඩ කරනවා නම් මෙහෙම නීති පනවන්න වුවමනා වෙන්නෙ නැහැ.

රජයේ නිලධාරීන්මයි බොහෝ අවස්ථාවල තමන් මහජනයා ඇසුරේ කරන කාර්යයන් වාර්තා කරන්න මාධ්‍යයට ආරාධනා කරන්නේ. ඔවුන්ටත් වගකීමක් තියෙනවා නේද එසේ කිරීමේදී ජනයාගේ පෞද්ගලිකත්වය හානි නොවන ලෙස කටයුතු කරන්න?

පැහැදිලිවම ඔව්. මෑතක ඉඳලා නිලධාරීන් වැටලීමකට ගියත් මාධ්‍යයට ආරාධනා කරනවා. මේකෙදි පුද්ගලිකත්වයට අදාල කාරණයට අමතරව තවත් දෙයක් වෙනවා. ඔය විදිහට හැමෝටම ආරාධනා කරන්නෙ නැහැනෙ. තමන්ට හිතවත් මාධ්‍යකරුවන්ට පමණක් කතා කරනවා. ඒකෙදි ඒ අයගේ මාධ්‍ය ආයතන පමණක් ඔසවා තැබීමක් වෙනවා. මෙහෙම මාධ්‍ය ආයතන තෝරාගන්නෙ නිලධාරීන්ට ලැබෙන ප්‍රතිලාභයක් මතද? ඔව් නම් එය අල්ලස් පනත යටතේ එන වරදක් නේද? නිලධාරීන් මේ ගැන සැළකිලිමත් වෙන්න ඕන. අපේ සමහර රාජ්‍ය නිලධාරීන් මහජනයාගේ පුද්ගලිකත්වය හා අයිතීන් ගැන තැකීමක් කරන්නේ නැහැ. අපි මෙහෙම හිතමු කිසියම් නිලධාරියෙක් තමන්ගේ රාජකාරියට අනුව වැටලීමක් තියෙනවා නම් එය කළ යුතුයි. එයින් තමයි සමාජ අයහපත වැළකෙන්නෙ. හැබැයි ඒ වැටලීම කරද්දි රූපවාහිනී කැමරාකරුවන් කැඳවා ගෙන යාම ඔහුට නිල බලයෙන් පැවරුණ දෙයක් නෙවෙයි. වරදකරුවන්ට දඬුවම් දීමට අදාල නීතිමය තත්ත්වයි ක්‍රියාත්මක විය යුත්තෙ. දඬුවම ප්‍රමාණවත් නැත්නම් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕන නීති සංශෝධනය කරන්න. එහෙම නැතුව මාධ්‍ය ඔස්සේ වරදකරුවන් අපහාසයට පත්කරලා ඔවුන්ට වෙනත් ආකාරයකට දඬුවම් කරනවා නම් ඇයි නීති පද්ධතියක් හා අධිකරණයක්. ඒකෙදි නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ වෙනවා.

තමන්ගෙ නිවෙස පරීක්ෂා කිරීමකට එන නිලධාරීන් ජනමාධ්‍ය කැඳවාගෙන එද්දි විරුද්ධ වෙන පුරවැසියන්ට අත්දකින්න වෙනවා නේද ඒ විරෝධතාවයත් රූපවාහිනියේ පෙන්වනවා?

කෙනෙක් විරෝධතා දක්වනවා නම් දක්වන්නෙ ඔහුට තියෙන අයිතිවාසිකම අනුව. ඒක රූපවාහිනියේ පෙන්වලා අපහාස කරනවා නම් අධිකරණයේ පිහිට පතන්න වින්දිතයාට පුලුවන්.

ගුවන්විදුලි හෝ රූපවාහිනී සංඛ්‍යාත මහජන දේපළක් තියලා ප්‍රකාශ වුණු නඩු තීන්දු තියෙනවා. එතකොට ඒ  පදනම මත බැරිද කෙනෙකුට මූලික අයිතිවාසිකම් නඩුවකට යොමුවෙන්න මාධ්‍යයෙන් තමන්ට අගතියක් වුණ අවස්ථාවකදි. ඒවා පවත්වා ගෙන යන්නෙත් බලපත්‍ර ගිවිසුම් මත වෙද්දි?

මාර්ක් ප්‍රනාන්දු කියන ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරයා දුන්න නඩු තීන්දුවල තියෙනවා සංඛ්‍යාත සිමිතයි. ඒවා මහජන සම්පත් කියලා. මාධ්‍ය ආයතන භාවිතා කරන්නේ ඒ සම්පත්. ඔවුන් ඒවා භාවිතා කරලා ලාභ ලබන ව්‍යාපාර කළාට ගැටලුවක් නෙවෙයි. අවාසනාවකට ඔවුන් අගතිදායක ලෙස ක්‍රියා කිරීම ප්‍රශ්නයක්. ඒ වගේ දේකදි මහජනයාට පුලුවන් නීතිමය පියවරක් ගන්න. ඔවුන්ට දීලා තියෙන බලපත්‍රවලත් අදාල කොන්දේසි තියෙනවා. ඒවා උල්ලංඝනය වෙනවා නම් මූලික අයිතිවාසිකම් නඩුවකට යන්න පුලුවන් කියන එකයි මගේ මතය.

ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක මහතා හා කළ සංවාදයේ හඬ පහතින් අසන්න

සංවාදය – ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *