ජල දිනයේ සතුටු සිනා, පස්සර උඩගම බටහිර විද්‍යාලය

දීර්ඝ කාලයක් තිස්සේ උග්‍ර පානීය ජල හිඟයෙන් පෙළුණු පස්සර උඩගම බටහිර විද්‍යාලයේ දරුවන්ට සැබෑ අරුතෙන් ලෝක ජල දිනය සැමරීමේ අවස්ථාව මෙවර හිමි විය.  ඒ පෙරහන් කරන ලද ඉතා පිරිසිදු පානීය ජල පද්ධතියක් පාසලට ලැබී තිබෙන නිසා ය.

2012 වසරේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කරන ලද සමීක්ෂණ වාර්තාවක දැක්වෙන අන්දමට බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර හා ලුණුගල කොට්ඨාශවල උග්‍ර පානීය ජල ගැටලුවක් පැවති අතර පානය සඳහා යොදා ගත හැකි ජල මූලාශ්‍ර මිනිස් ක්‍රියාකාරකම් නිසා අපිරිසිදු වීම මෙවැනි තත්ත්වයක් උදා වීමට බලපෑ ප්‍රධානතම හේතුවයි.

එවැනි පසුබිමක යුරෝපා සංගමයේ ආධාර ඇති ව නියුක්ලියස් පදනම දියත් කළ ව්‍යාපෘතියක ප්‍රතිඵල වශයෙන් තම පාසලට පිරිසිදු පානීය ජල පද්ධතියක් සහ සනීපාරක්ෂක වැසිකිළි පද්ධතියක් ද ලැබීම පාසල් පැමිණීම දිරි ගන්වන බව දරුවෝ පවසති.

“අපි ට දැන් තමයි ජල දිනය අර්ථවත් ව සමරන්න ලැබිලා තියෙන්නේ. ඉස්සර අපි ට බොන්න වතුර ටිකක් මේ ඉස්කෝලේ  තිබ්බෙ නැහැ. දැන් අපේ ඉස්කෝලෙ ගැන ආඩම්බර වෙන්න පුළුවන් තරමේ ජල පද්ධතියක් තියෙනවා. ඇත්තටම ජලය තමයි ජීවයේ පැවැත්මේ පදනම. මිනිසුන්ට, සතුන්ට, ගහ කොළවලට පවා වතුර නැතිව ජීවිතයක් නැහැ.  ඒ නිසා තමයි අපි ජල දිනය සමරන්න ඕන. හැබැයි අපි අරපරිස්සමෙන් වතුර භාවිතා නො කළොත් ජල දිනය සමරන්න බැහැ.” පස්සර උඩගම විද්‍යාලයේ සිසුවියක වන ෂෙහානි කෞශල්‍යා පවසන්නී ය.

වැසිකිලි පහසුකමුත් ලැබිලා

විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ෆාතිමා ෂයිරින් ශිෂ්‍යාව පවසන්නේ, ජල පහසුකම් නොමැති නිසා සෞඛ්‍යාරක්ෂිත වැසිකිළි පහසුකම් ද නො පැවති බවයි. “අපි ට ඉස්කෝලෙ දි වැසිකිළි යන්න එපා වෙලා තිබුණා.  ඒක හරිම අප්‍රසන්න අත්දැකීමක්. මොකද වතුර නැති නිසා ඒවා අපිරිසිදු වෙලා තිබ්බේ. අනික අපි ඉස්කෝලෙ කරාමවලින් වතුර බිව්වෙම නැහැ.  අම්මලා කියලා තිබ්බා ගෙදරින් ගේන වතුර විතරක් බොන්න කියලා.  ඒක මදි. ඉතිං ළමයි වතුර මදි වෙලා ලෙඩ වුණා.” ඇය පවසන්නේ මේ වන විට ජල ගැටලුව මෙන් ම වැසිකිළි ගැටලුව ද විසඳී ඇති බවයි. ඒ සමග පාසලේ ගැහැණු දරුවන් ගේ සනීපාරක්ෂාව ට හේතු වන අවශේෂ පහසුකම් ද වර්ධනය වී තිබේ.

උඩගම බටහිර විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරියක වන සන්ධ්‍යා සමන් කුමාරි පෙන්වා දෙන්නේ, පැවති ජල හා සනීපාරක්ෂක ගැටලු පාසල් දරුවන් ට මෙන් ම ගුරුවරුන්ට ද  බලපා තිබූ බවයි.  “ඒ දවස්වල ළමයි පාසල් එනවා අඩුයි. විශේෂයෙන් ගුරුවරියො නිතර කෙටි නිවාඩු ගත්තා. ඇයි වැසිකිළි පහසුකම් එහෙම අවම නිසා. ගැහැණු ළමයින්ටයි, ගුරුවරියොන්ටයි එයාලගේ මාසික ආර්ථවයේ දී තමයි බරපතල ම  ගැටලුවලට මුහුණ දෙන්න සිද්ධ වුණේ.

සන්ධ්‍යා සමන් කුමාරි

සනීපාරක්ෂක තුවායක් මාරු කර ගන්නවත් ඒවා අස් කරන්න විධියක් වත් තිබුණේ නැහැ.” නමුත් මේ වන විට සනීපාරක්ෂාව තහවුරු කරමින් ඒ සඳහා වන පහසුකම් ද වර්ධනය වී ඇති බව ඇය පවසයි. ඒ අනුව සොලිඩෑඩ් හී සහාය ඇති ව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියකින් සනීපාරක්ෂක තුවා ක්‍රමවත් ව බැහැර  කොට දහනාගාරයක පුළුස්සා දමන්නට අවශ්‍ය පහසුකම් ද සපයා දෙන්නට නියුක්ලියස් පදනම ක්‍රියා කොට තිබේ. “දැන් දුවලට මාසිකව අවශ්‍ය සනීපාරක්ෂක තුවා පවා පාසලෙන් දෙනවා.  මේක නගරවලවත් නැති පහසුකමක්. ඉස්සර ගැහැණු ළමයි සමහර දවස්වලට පාසල් එන්නේ නැහැ.  ඇයි ඇහුවම කියනවා මාසික ආර්ථවය නිසා කියලා. මොකද ආවම ඔවුන්ට පහසුකම් නැහැ සනීපාරක්ෂක තුවායක් මාරු කරගන්නවත්. දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා නිසා පාසල් පැමිණීම වර්ධනය වෙලා.” සන්ධ්‍යා සමන්කුමාරි පවසයි.

 

විභාග ප්‍රතිඵල ඉහළ ගිහින්

“පාසල සතු ව නො තිබූ ජල පහසුකම් හා විධිමත් වැසිකිළි පහසුකම් ලබා දීම නිසා වර්ධනය වුණේ දරුවන්ගේ පැමිණීම විතරක් නොවෙයි.  දැන් අපේ පාසලේ විභාග ප්‍රතිඵලත් වැඩි වෙලා පසුගිය වසරේ ඒ 09ක් ගත්ත දරුවො දෙන්නෙක් බිහි වුණා. ඇත්තටම ඒකට හේතුව ප්‍රිය මනාප පාසලක් ඇති වීම” විදුහල්පති සේනාධීර බණ්ඩාර වර්තමාන තත්ත්වය පිළිබඳ ව උද්දාමයට පත් වෙයි. “දැන් බලන්න මේ පාසල් පරිසරය. මේක හරිත යායක්. හැම තැනම ගහ කොළ. ඒකට හේතුව ජලය. අපි ට දැන් පුළුවන්  පාසල් ඉඩමේ වගා කරන්න. අපි ට ආදර්ශ කෙසෙල් වගාවකුත් තියෙනවා. මං මේ ගැන ස්තූතිය පුද කරනවා යුරෝපා සංගමයට, නියුක්ලියස් පදනමට, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට සහ දෙපාර්තමේන්තුවට ඒ වගේ ම අපේ පාසලේ සංවර්ධන සමිතියට පවා අවශ්‍ය සහයෝගය දුන්නාට” යැයි විදුහල්පති සේනාධීර බණ්ඩාර පවසයි.

ජීවන් කොඩිතුවක්කු නියුක්ලියස් පදනමේ ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයා ය. ඔහු පවසන්නේ පස්සර කලාපයේ පැවති පිරිසිදු පානීය ජල පහසුකම් ඌන බව හඳුනා ගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කළ බවයි. “අපි බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක දෙකේ ම මේ විදිහට වැඩ කරනවා. පාසල්වලට වගේ ම ගම්මානවලටත්  අති පිරිසිදු පානීය ජලය සහ වැසිකිළි පහසුකම් දීලා තියෙනවා. ඒ නිසා හැමෝටම මෙවර ජල දිනය අර්ථවත් ව සමරන්න පුළුවන් වුනා. මේක මේ පළාතේ තිබ්බ ලොකු ම ගැටලුවක් නිසා ආකල්පත් වෙනස් කරන්න සිද්ධ වුනා. අපි ඒ වෙනුවෙන් වැඩමුළු තිබ්බා.  සනීපාරක්ෂාව ගැන, ස්වස්ථතාව ගැන, පෝෂණය ගැන, දෑත් සේදීම, ආර්ථව සමයේ සෞඛ්‍යය රැක ගැනීම ගැන විතරක් නෙවෙයි නායකත්වය හා පෞරුෂය ගැනත්, ගෘහ ආර්ථික කළමනාකරණය ගැනත් කතා කළා” යැයි ජීවන් කොඩිතුවක්කු පවසයි. “මොකද මේක ඒකාබද්ධ වැඩපිළිවෙළක්.  අද අපි දකිනවා ඒක සාර්ථක වෙලා තියෙනවා.” යනුවෙන් පවසන ජීවන් කොඩිතුවක්කු සමස්ත රටවැසියන්ගෙන් ඉල්ලීමක් ද කරයි.  “ජල සම්පත රඳා පවතින්නේ ගහ කොළ මත. ජනගහණය වැඩි වෙද්දි ගස් කපලා වනසලා දැම්මොත් ජල ගහනය නැති වෙනවා. ඒ නිසා අපි තරයේ සිතට ගන්න වෙනවා. මේ සිද්ධ වෙමින් තියෙන වන විනාශය නවත්තලා පරිසරය රැක ගන්න. මං හැමෝගෙන් ම ඉල්ලා සිටිනවා පරිසර විනාශයට එරෙහි වෙන්න.  වැඩි වැඩියෙන් ගස් සිටුවන්න”.

සවන් දීමට සබැඳිය ක්ලික් කරන්න

 

ලසන්ත ද සිල්වා

සේයා රූ – මොහොමඩ් රාසික්.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *