ජාතික ලැයිස්තුව ඉල්ලා ලංකා කම්කරු කොංග්‍රසය වැලපෙයි

“පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කිරීමට ගිවිසුම්ගත වීමේදී අපේ හිටපු නායක දිවංගත ආරුමුගන් තොන්ඩමන් මහතාගේ අත්සනින් යුක්තව ඉල්ලීමක් කළා ඉදිරි රජයකදී කම්කරු කොංග්‍රසය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් ලබාදිය යුතු බවට. ඉන්පසුව තමයි නාමයෝජනා අත්සන් කළේ. නමුත් වර්තමාන රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු 17 දෙනා නම් කිරීමේදී කම්කරු කොංග්‍රසයේ කිසි කෙනෙක්ගෙ නමක් ඊට ඇතුළත් වෙලා  නෑ. වතුකරයේ ජනතාව ප්‍රථම වරට තමයි මෙවර පොහොට්ටු පක්ෂයට තම ඡන්දය ලබා දුන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගේම අගමැති මහින්ද රාජපක්ෂ ගැන විශ්වාසය තබලා මෙවර වතුකරයේ ජනතාව  ලක්ෂ 02 කට අධික මනාප පොහොට්ටුවට ලබාදී තිබෙනවා. නුවරඑළිය, මහනුවර, බදුල්ල, මාතලේ, රත්නපුර, කෑගල්ල, කළුතර ආදී දිස්ත්‍රික්කවල වතුකර ජනතාව මෙවර රජය දිනවන්න කැපවීමෙන් කටයුතු කළා. එවන් තත්ත්වයක් මත වතුකර ප්‍රජාව නියෝජනය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර එකක් හෝ ලබා නොදීම බලවත් අසාධාරණයක්” යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති තුරෙයිසාමි මදියුගරාජා පවසයි.

සිය පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබා ගැනීම සම්බන්ධව මහලේකම් ජීවන් තොණ්ඩමාන් පොදුජන පෙරමුණ නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් ඒ සඳහා එකඟතාවක් පල ව නැති බවද තුරෙයිසාමි මදියුගරාජා පවසයි. එය වතුකරයේ ජනතාවට කරන ලද බලවත් අසාධාරණයක් බැවින් වහා යුතුකම ඉටු කිරීම පොදු ජන පෙරමුණ රජයේ කාර්යය විය යුතු යැයිද ඔහු පෙන්වා දෙයි. “ජාතික ලැයිස්තුවේ සුළු ජාතීන් හැටියට මුස්ලිම් ජනතාව වෙනුවෙන් තිදෙනෙක් පත් කොට තිබෙනවා. ඒ වගේම උතුරේ දමිල ජනතාව වෙනුවෙන් එක් අයෙක් නම් කොට තිබෙනවා. තත්වය එසේ තිබියදී රජයට ලක්ෂ ගණනින් ඡන්ද ලබාදුන් වතුකරයේ ජනතාව නියෝජනය කිරීම සඳහා එකදු හෝ අයෙකුට අවස්ථාවක් ලබා නොදීම එම වතුකරයේ ජනතාවට සිදු කරන බලවත් අසාධාරණයක්” බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරඟ කොට පරාජයට පත් වූ සෙන්තිල් තොණ්ඩමාන් අවසන් ප්‍රථිඵලය නිකුත් වීමටත් පෙරාතුව කොළඹට පැමිණියේ පොදුජන පෙරමුණ බලධාරීන් හමු වී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ඉල්ලා ගැනීමට බවද බදුල්ලේ වතු ජනයා අතර කට කතා පැතිර යමින් තිබේ. කෙසේවෙතත් පරාජිතයන් ලැයිස්තුවෙන් නම් නොකිරීමට ජනපතිවරයා තීන්දු කර ඇති නිසා ඔහුගේ ද අපේක්ෂා ඉටු වී නැත. ඒ සමඟින් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක වීම සඳහා සෙන්තිල් තොණ්ඩමාන් තුළ තිබූ අපේක්ෂා බිඳ වැටෙන තත්ත්වයක් උදා වී ඇති අතර ජීවන් තොණ්ඩමාන්ට වාසිදායක පසුබිමක් නිර්මාණය වී තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *