ජිනීවා හිඟන්නාගේ තුවාලෙට අපි විරුද්ධයි – සුනිල් හඳුන්නෙත්ති

ජිනිවා මානව හිමිකම් කොමිසම හිඟන්නගේ තුවාලයක් බවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය පත්කර ගෙන තිබෙන බවත් සෑම වසරකම ඔවුන් තම පැවැත්ම වෙනුවෙන් මෙම කතාව කරළියට ගෙන එන බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික,හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. මේ ආකාරයට චෝදනා එල්ල කරමින් විවිධ බලපෑම් කර ආණ්ඩු බිහි කරන්නත් මට්ටු කරන්නත්  ඒ අය කටයුතු කරන්නේ යැයි ඒ මහතා කීය. ජනතා විමුක්ති පෙරමුණේ හැටන් කාර්යාලයේදී අද (09) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී හඳුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළේය. රටේ ආරක්ෂාවට කිසිදු රටක් ඇඟිලි නොගැසිය යුතු බවත් එයට ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් කී ඒ මහතා මානව හිමිකම් කතාව  සම්ප්‍රදායක් ලෙස දැන් වාර්ෂිකව ඉදිරිපත් වන බවත් ජනතාවට ප්‍රශ්න අමතක කරවීමට පාලකයින් මෙය පාවිච්චි කරන බවත් හෙතෙම කීවේය. මෙය උතුරේ ජාතිවාදය ඇවිස්සෙන හොඳ මාතෘකාවක් බවත් බඩු මිල, කොරෝනා ප්‍රශ්නය, රැකියා ප්‍රශ්න වසා ගැනීමට ආණ්ඩුව මානව හිමිකම් ප්‍රශ්නය පාවිච්චි කරන බවත් ඒ මහතා කීය. පඩි පාලක සභාව මගින් වතු කම්කරු දෛනික වැටුප රුපියල් 900.00 ක් කිරීමටත් දීමනාවක් ලෙස තවත් රුපියල් 100.00 ක් ලබා දීමටත් තීන්දු කිරීම වතු කම්කරු ජනතාව ලත් ජයග්‍රහණයක් බවත් ආණ්ඩුව නියෝජනය කරන වතු වෘත්තිය සමිති ජනතාවට එකක් කියා  ජනපති, අගමැති හා පාර්ලිමේන්තුව හමුවේ වෙනත් දෙයක් කියන බවත් කී හිටපු මන්ත්‍රීවරයා ඔවුන් එක් තැනකදී වතුකම්කරුවන් වෙනුවෙන්ද තවත් තැනකදී වතු හාම්පුතුන් වෙනුවෙන්ද පෙනී සිටින්නේ යැයි අවධාරණය කළේය. මෙම වැටුප් වැඩිවීම කරන්නට මෙතරම් කල්ගියේ මේ නිසා බවද ඒ මහතා කීවේය. වතු කම්කරු ජනතාව අදාළ වැටුප ඉල්ලා සිටි කාලයට වඩා අද ජීවන වියදම විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවද හෙතෙම පැවසුවේය.වතු කම්කරු වෘත්තිය සමිති හා හාම්පුතුන් අතර පවතින සාමුහික ගිවිසුම් තව දුරටත් ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නය රජයෙන් අසන බවත් පඩි පාලක සභාව වතු කම්කරු වැටුප් වැඩි කිරිමට ගත් තිරණය නිසා ගිවිසුම් මගින් මෙතෙක් වතු කම්කරුවන්ට තිබුණ අයිතිවාසිකම් කප්පාදු වන්නේ නම් ඉන් පළක් නොමැති බවත් හඳුන්නෙත්ති මහතා කීය. මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායන මංජුල සුරවිර,සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් කලෙයිසෙල්වි මෙනවියද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *