ජීවිතය මලින් නෙළන මිනිස්සු

මල් සොයා බඹරුන් ඇදෙන්නා සේ ඔවුන්ගේ ජීවිත වලට නිරන්තරව ඇදී එන්නේ දුක් හා කම්කටොළුය. ඒ දුක් නිවා ගැනීම සඳහා ඔවුන් කිලෝ මීටර ගණනාවක් ඈත යන්නේ වැව් දියේ පිපෙන මල් සොයාය. මල් මෙන් ඔවුන්ගේ ජීවිත සුන්දර නොවූවත් යම්තම් හෝ මේ ජීවිත සුන්දර වී තිබෙන්නේ මල් නිසාය. මුනි පුදට දෝත පුරා මල් ගෙන ගොස් පින් පතන බැතිමතුන්ට පින්සිදු වන්නට ඔවුන්ගේ දුක් තරමක් හෝ සේදී යන්නේය. ගැට කිඹුලන් හා හැළ කිඹුලන් ගහණ වැව් දියේ ජීවිතයත් මරණයත් අතර දෝලනය වෙමින් හුළං පිරිණු ටියුබයක නැගී ඔවුන් ඕලු,න‍ෙළුම්,මානෙල් මල් සොයා ඈතට යන්නේ ගැහැණු පිරිමි බේදයෙන් තොරවය. සුදෝ සුදු වතින් බුදුන් හෝ දෙවියන් පුදට යන බැතිමතුන් තම දෝතේ රැඳුණු මල් වට්ටියේ මලක ගැබ්ව තිබෙන ඔවුන්ගේ කඳුළු කතාව නොදන්නේය. මෙරට සිද්ධස්ථාන ආසන්නයේ මල් අළෙවි කරන වෙළෙඳුන්ට මල් සපයන මොවුන්ගේ ජීවිත වල දුක,වේදනාව,අවධානමට මුහුණ දීම, ධෛර්ය,වීර්යය ආදී බොහෝ දේ රැඳී තිබෙන්නේය. එහෙයින් එය බැහැර නොකළ ඇසිය යුතුම කතාවකි.

අපි කඩන්නේ වැව් වල පිපෙන මල්.සුදු නෙළුම්,රතු නෙළුම්,නිල් මානෙල් හා ඕලු මල් ශ්‍රී දළදා මාලිගාව ළඟ මල් කඩවලට දාන්නේ අපි.නිල් මානෙල් මල් නම් රුහුණු කතරගමටත් යවනවා. උදේ පාන්දර කඩන මල් නුවරට,කතරගමට බස් එකේ යවනවා. හවස කඩන මල් දඹුලු විහාරය ලඟ අපිම විකුණනනවා. ටියුබ් එකේ නැගලා වැව මැදට යන්න ඕන මල් කඩන්න.මේ ගමන හරිම අවධානම්. පොඩ්ඩ එහෙ මෙහෙ වුණොත් ටියුබ් එක පෙරළෙනවා.

මල් කඩාගෙන එනකොට තමයි කල්පනාවෙන් එන්න ඕන. මොකද මල් පොහොට්ටු තුන් හාරසීයක් කැඩුවම එතන කිලෝ දෙතුන් සීයක බරක් එනවා. මල් ටිකත් අරන් කිඹුලන් ගෙනුත් බේරිලා ආපහු එන එක හරිම අවධානම්.

මේක අපි පරම්පරාවෙන් කරන නිසා දැන් හැමදේම හුරුයි.පුංචි කාලේ ඉඳලා මල් කඩන්න වැවට ගියා.දෙවියන්ගේ පිහිටෙන් තාමත් කරදරයක් වෙලා නැහැ.මිනිස්සුන්ට පින් කරන්න මල් හොයලා දෙන නිසා දෙයියෝ බුදුන් අපිව රකිනවා කියලා හිතෙනවා මහත්තයෝ…..පියල් සිරි පැවසුවේ වසර 13 ක් තිස්සේ තමන් නිරත වන වෘත්තියේ අවධානමද අපට සිහිපත් ගන්වමිනි.


දඹුලු රජමහා විහාරය අවට නවපාදෙණිය,සල්ගාදු මාවත, ජයමාවත,රත්මල්ගැහැළ යන ප්‍රදේශ වල වල පදිංචිව සිටින පවුල් හතළිස් අටක් වැව් වලින් මල් නෙළීමෙන් හා දඹුලු විහාරය ආසන්නයේ මල් අළෙවියෙන් දිවි රැක ගනිති. වැව් වලට ගොස් මල් කඩන කාන්තාවෝ අට දෙනෙක්ද ඒ අතර වූහ. හතලිස් අට හැවිරිදි එම්.ඒ නිලන්ති එවැනි දිරිය කතකි. අවුරුදු 13 ක් තරම් කුඩා වයසේදී වැව් ඉවුර ආසන්යේ පිපෙන මලක් කඩාගෙන ගොස් දඹුලු විහාරය අසළ අළෙවි කර පාඩම් පොතක් ගන්නට කීයක් හෝ සොයා ගත් ඇය දැන් තිස්පස් හැවිරිදිය. තම දූ දරුවන් ජීවත් කරවන්නට දැන් ඇය වැව් දියේ නොපෙනෙන ඈතක් කරා ගමන් කරන්නේ එදාට වඩා අද ඇයට ජීවත් වන්නට මල් අවශ්‍ය බැවිනි. වෙහෙර විහාරස්ථානයකට හෝ දේවළයකට යන බැතිමතෙකුට මල් යනු පින් වුවත් නිලන්තිලාට නම් මල් යනු සල්ලිය. සල්ලි සොයා වැව් පීරණ නිලන්තිගේ ජීවිතයටද පාස්කු ප්‍රහාරයේ බලපෑම ඉහළින්ම එල්ල වී තිබේ.

…අපි වැවෙන් කඩාගෙන එන මලක් මල් වෙළෙන්දන්ට විකුණන්නේ රුපියල් තුනකටයි. ඒ අය මේ මලක් රුපියල් විස්සකට විකුණනවා.

මල් කඩලා හම්බ වෙන ගාන මදි නිසා දඹුල්ල විහාරය ළඟ මම මලුත් විකුණනවා.වෙසක් පොසොන් එකට දඹුලු විහාරය වඳින්න ලොකු සෙනඟක් එනවා.ඒ දවස් දෙක තුනට අපි කොහොම හරි මල් විසි තිස් දාහක් විකුණ ගන්නවා. ඒකෙන් ලොකු ගානක් හම්බ කළා. අපි ගෙවල් දොරවල් හදා ගත්තෙත් මල් සල්ලි වලින්. පාස්කු දවසේ බෝම්බ පිපුරුණාට පස්සේ සිද්ධස්ථාන වලට එන සෙනඟ හොඳටම අඩුවුණා. අපෙන් වෙළෙන්දෝ මල් ගන්න ගානත් අඩුවුණා.ඒ දවස්වල ලුණුයි බතුයි කෑවේ. දැන්නම් මිනිස්සු ආයෙත් එන නිසා මල් ටිකක් විකිණෙනවා …නිලන්ති පවසන්නේ වැව් දිය පුරවන්නට තරම් කඳුළු කන්දරාවක් සිතේ සිරකර ගෙනය.

දඹුල්ල,ගලේවෙල,කැකිරාව,මඩාටුගම,ආඬියාගල,ගල්කිරියාගම,උල්පත්ගම ප්‍රදේශල පිහිටි වැව් වල වසර පුරා මල් පිපෙන්නේ මොවුන් වෙනුවෙනි.තද ඉඩෝරය විසින් ප්‍රදේශය වෙළාගත් විට වසරකට මාස දෙක තුනක් ඔවුන්ට නෙළා ගන්නට මල් නොමැති වන්නේය. අනුරාධපුර,වවුනියාව,කන්තලේ වැනි ප්‍රදේශයන්හි පිහිටි වැව් වලට ගොස් මල් සොයන්නට ඔවුන් පෙළඹෙන්නේ මල් නොමැතිව ඔවුන්ගේ කුස නොපිරෙන නිසාය. එලෙස මල් සොයා යන සරත් කුමාර අපිට හමු වූයේ ඔහු ආඬියාගල වැව් ඉස්මත්තේදීය. පැය හතර පහක් වැව් දියේ ගතකර නෙළ ගත් මල් අස්වැන්න ඔහුගේ කරමත විය. කිලෝ සීයක  පමණ බරින් යුත් නෙලුම් පොහොට්ටු පන් හයසීය බිමින් තබා කතාවට මුලපිරූ ඔහු තම අත්දැකීම් මෙසේ විස්තර කළේය….වැවට උදෙන්ම බහින්න ඕන. මොකද අව්ව සැර වැඩිවෙන්න කලින් මල් ටික කඩා ගත්තොත් ලේසියි. නුවරට, බෙල්ලන්විලට, කතරගමට යවන මල් උදෙන්ම බස් එකට දෙන්න ඕන. හොඳට මල් විකිණෙනවා නම් අපි දවසට දෙපාරක් මල් කඩනවා. දැන් නම් කඩන මල් විකුණ ගන්නත් බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. නිකන් මල් කඩලා වීසි කරනවාට වඩා මේ මල් වැව් වලම පරවෙන එක හොඳයි. මම අද පාන්දර 4.00 ට විතර වැවට බස්සේ. අලි ඉන්න පාරවල් වලින් තමයි උදේ වැවට එන්නේ. කොයි වෙලාවේ අලියා ගහයිද දන්නේ නැහැ.මේක ඇත්තටම අතුරේ යනවා වගේ වැඩක්.මල් කඩාගෙන එනකොට ටියුබ් එක පොඩ්ඩක් හරි එක පැත්තකට බර වුනොත් පෙරළෙනවා. පහුගිය දවස් වල බස් වලට පාර්සල් ගත්තේ නැහැ. ඒ නිසා මල් නුවර අරන් යන්න වාහන ගන්න වුණා.ඒකට රුපියල් 2000.00 ක් විතර යනවා. දැන් නම් බස් වලට මල් ගෝනි ගන්නවා. බස් එකේ මල් උර තුන හතරක් රුපියල් පන්සීයකට විතර යවන්න පුළුවන්. මෙහේ වැව් වල අවුරුද්දකට මාස දෙකක් විතර මල් නැති වෙනවා. ඒ කාලෙට වාහනයක් අරන් මල් හොයන්න වෙන පළාත් වලට යනවා. එතකොට වියදම් වැඩි නිසා අතේ ඉතුරු වෙන ගාන අඩුයි. මල් හොඳට තියෙන සමහර වැව් ඒ ගම්වල මිනිස්සු සමිත හදාගෙන ව්‍යාපාරිකයින්ට බදු දෙනවා. ඒ වැව් වලින් අපිට මල් කඩන්න අවසර නැහැ. ඒකත් ලොකු ප්‍රශ්නයක්.

අඩසිය වසක පමණ කාලයක් මල් කඩා ජීවිකාව ගෙන ගිය අසූ එක් හැවිරිදි එම්.ඒ පියසේන මහතා සිය දරුවන්ට ශාස්ත්‍රය කියාදී අද සිය රැකියාවට සමුදී සිටින්නේය. ටියුබ් එකට කටින් හුස්ම පිඹලා තමයි ඒක වතුරට දාන්නේ. හොඳට හුළං පිරුණට පස්සේ ඒක දියට දාලා වැවේ මල් තියෙන පැත්තට ඒකේ නැගලා යනවා.වැස්ස,සීතල කියලා වැඩේ නතර කරන්න බැහැ. වැව් වල කිඹුල්ලු වර්ග දෙකක්  ඉන්නවා හැළ කිඹුලයි ගැට කිඹුලයි කියලා.හැළ කිඹුලා මිනිස්සුන්ට බයයි. ගැට කිඹුලා එහෙම නැහැ.ඌ ඇඟට කඩා ගෙන පනිනවා. හිරිවඩුන්න වැවේ ගැට කිඹුල්ලු ඉන්නවා.

සමහර වෙලාවට අපි වැවට බහින්න යනකොට කිඹුලා ඉන්නවා. ඌ එහා මෙහා වෙනකල් බලා ගෙන ඉඳලා වැවට බහිනවා. මොකද කිඹුලට බයේ වැඩේ අත්හැරියොත් බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ.

මල් තුන්සීයක් විතර අරන් ටියුබ් එකේ එනකොට කොන්ද කෙලින් තියා ගෙන ඉඳ ගන්න ඕන. ටියුබ් එක පෙරලුනොත් කෙලින්ම අපේ ඔළුව ගිහින් වදින්නේ වැව් පතුළේ..

මෙරට සිද්ධස්ථාන 550 ක් තිබෙන බවත් ඒ අතරින් 350 ක් ඓතිහාසික සිද්ධස්ථාන බවත් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මල් අළෙවි කුටිවල මල් අළෙවිකරුවන්ගේ  සංගමයේ සභාපති පියල් ශ්‍රී රජවික්‍රම මහතා අදහස් දක්වමින් මෙසේ කීවේය…..මේ සිද්ධස්ථාන වලට දෛනිකව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් පැමිණෙනවා. ඔවුන් ගෙන් 90% ක් දෙවියන්ට හෝ බුදුන්ට මලක් පූජා කරන්නට අමතක කරන්නේ නැහැ. සිද්ධස්ථාන අසළ මල් අළෙවියෙන් හා ඒවාට මල් සැපයීමෙන් ජීවිකාව ගෙන යන පවුල් 40000 ක් පමණ මේ රටේ ඉන්නවා. වැව් වලින් ගන්න ඕලු,නෙළුම්,මානෙල් මල් වගේම ගොඩ බිම හැදෙන පිච්ච,අරලිය,වතු සුද්ද,කිරි ඉද්ද,දාස්පෙතියා මල් මේ අය සපයනවා. මල් සොයන්න ගොඩක් මහන්සි වෙන්නේ මේ වැව් වල මල් කඩන අයයි.සල්ලි දීලා මල් අරන් දෙවියන්ට බුදුන්ට පූජ කරලා පින් ප්‍රාර්ථන කරන බොහෝ අය මේ කදුළු කතාව දන්නේ නැහැ.

මල් තරමට සුවඳ නැති පින් තරමට සැහැල්ලු නැති මල් නෙළන්නන්ගේ ජීවිත අතිශයින්ම දුක්බරය. මුදල්දී පින් කරන්නට කැමැති බොහෝ දෙනෙකුට ඒ සඳහා මල් සොයා දෙන මොවුන්ගේ එකම අරමුණ මල් සල්ලි කර බඩ වියත රැක ගැනීමය.කඩාගත් මල් සියල්ල දෙවියන්ට පුදා යමක් ඉල්ලනවාට වඩා ඒ මල් කාට හෝ විකිණීමට ඔවුන් පෙළඹී සිටින්නේ ඒ නිසාය. වැව් පුරා හැමදාමත් මල් පිපෙන්නේ මොවුන් වෙනුවෙන් මිස මුදල් වලට මල් මිලට ගෙන පූජාකර පින් ප්‍රාර්ථනා කරන වුන් වෙනුවෙන් නොවේය.මොවුන් පින් වලට වඩා මල් වලට කැමැති ඒ නිසාය….. 

ගයාන් යද්දෙහිගේ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *