ජුන්ටාවේ කලාකරුවන් දඩයම, තවත් මියන්මාර සිනමාකරුවෙකුට තොණ්ඩුව.

සර්ගානාර් යන ප්‍රසාංගික නමින් මියන්මාරයේ ප්‍රචලිත මවුන්ග් තූරා නම් කලාකරුවා පසුගිය අඟහරුවාදා (06) පෙරවරුවේ මිලිටරි ජුන්ටාවේ අත්අඩංගුවට පත් වූ බව ඔහුගේ පවුලේ සමීපතමයන් සඳහන් කරයි.

හැට හැවිරිදි, ප්‍රහසන කලාකරුවෙකු සහ චිත්‍රපට නිර්මාණකරුවෙකුද වන ඔහු මියන්මාරයේ පැවති මිලිටරි ආණ්ඩුවලට එරෙහි ප්‍රබල විවේචකයෙකු ලෙස ප්‍රකට ය. 1988 සුප්‍රකට දේශපාලන නැඟී සිටීම්වලට සමගාමී සිය ප්‍රහසන හා වෙනත් කලා නිර්මාණ තුළින් ඉදිරිපත් කළ සිය දේශපාලන ක්‍රියාකාරකම් නිසා මේ කලාකරුවාට කිහිපවරක් සිර ගත වන්නට සිදු විය.

මහජන අරගලයේ සෞන්දර්යාත්මක මුහුණුවර පරාජය කළ නොහැක.

ඔහු අත්අඩංගුවට ගැනීම පිළිබඳ වැඩිමනත් තොරතුරු අනාවරණය නොවන අතර මිලිටරි ප්‍රකාශකයා ඒ ගැන අදහස් දක්වා නැත.

1994 දී මුල් වටයේ සිර ගත කිරීමෙන් නිදහස් වූ ඔහුට සිය ප්‍රසාංගික කාර්යයන් සඳහා තහංචි පනවනු ලැබූ අතර ඔහුගේ ලේඛන වාරණය කෙරිණ. 2007 මියන්මාරයේ කුංකුම විප්ලවය සමයේ උද්ඝෝසනවල නිරත වූ භික්ෂුන් ට සහයෝගය දැක් වූ නිසා යළි සිරගත කළ ඔහු  නාර්ගීස් සුළි කුණාටුවෙන් විපතට පත් වූවන් ට ආධාර කිරීම නිසා 2008 දී සිරගත කෙරිණ. එම වසරේ දීම ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් කිහිපයක් සාපරාධී බව හුවා දක්වමින් 59 අවුරුදු සිර දඬුවමක් නියම කළ අතර පෙන් ඇමරිකා සංවිධානය පවසන්නේ පැවති මිලිටරි ජුන්ටාව ඔහු දුටුවේ බිහිසුණු ලියන්නෙකු ලෙස බවයි.

සැබෑ කලාකරුවන්ට මහජන ආදරය හිමි ය.

පසුව 2011 දී පොදු සමාව මත සර්ගානර් සහ තවත් දේශපාලන සිරකරුවන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට එවකට පාලකයා වූ තෙයින් සෙයින් ක්‍රියා කළේය.

සිනමාකරුවෙකු ලෙස සාර්ගානර් මියන්මාර නිදහසේ පියා ලෙස සැළකෙන ජෙනරාල් අවුන් සාන්ග් චරිතාපදානය චිත්‍රපටයට නඟා ඇත.
2011 නිදහස් වීමෙන් අනතුරුව ඔහු වැඩි අවධානයක් යොමු කර ඇත්තේ චිත්‍රපටකරණයට යි. 2012 දී තවත් සිනමාකරුවෙකු වන, පසුගිය පෙබරවාරි පළමුවැනිදා පාන්දර මිලිටරි ජුන්ටාවෙන් රඳවා තැබීමට යටත් කළ,  මින් හ්ටින් කෝ කෝ ගයි සමඟ නිදහසේ කලාව නමින් ප්‍රසංගයක් සංවිධානය කිරීම ද ඔහුගේ කාර්යයන් අතර කැපී පෙනේ.

මැතිවරණයෙන් බලයට පත් අවුන් සාන් සු චී ගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ආණ්ඩුව පෙරළා දමා බලය පැහැර ගැනීමෙන් පසු පත් වූ මිලිටරි කුමන්ත්‍රණ ආණ්ඩුව තම ෆේස්බුක් පිටුවෙන් විවේචනය කරන්නට මේ කලාකරුවා නොපසුබට වූයේ ය.
හමුදා කුමන්ත්‍රණයට එරෙහිව අදහස් දක්වන සහ මහජන නැගිටීම්වලට සහය පළ කරන තවත් සිනමාකරුවන්, නළුවන්, කලා තරු සහ මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මත සම්පාදකයන් ගණනක් අත්අඩංගුවට ගැනීමට ජුන්ටාව වරෙන්තු නිකුත් කර ඇත. මින් අවුන්ගේ ජුන්ටාව එමගින් උත්සාහ ගන්නේ මහජන නිදහස් ව්‍යාපාරයේ බලය බිඳ දැමීමටයි

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *