ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන විරෝධතා කියවා ගැනීම

ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ භුමදාන දේව පුජාවේදි සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරි බැප්ටිස් දේවගැති අල් ශාප්ර්ටන් විසින් ‘කළු ජාතිකයින් ගේ බෙල්ල අවුරුදු 401(හාරසිය එකක්) තිස්සේම හිර කොට තිබේ’යැයි ප්‍රකාශ කළේය. සියවස් හතරක්ම අප්‍රිකානු-ඇමරිකානුන් විසින් සිය පීඩනයට එරෙහිව කරන ලද අරගලය, වත්මන් විරෝධතා ව්‍යාපාරය තුළ සමාජ ගාමක බලවේගයක් ලෙස නියෝජනය වේ. මෙම සමාජ ගාමක බලවේගය විසි වන සියවසේ අප්‍රිකානු-ඇමරිකානු ජාතිකයින් ගේ විමුක්ති අරගලයේ ප්‍රවීණයන් වු මාටින් ලුතර් කිං, මැල්කම් එක්ස්, ජෝර්ජ් බෝල්ඩ්වින්, නෙල්සන් පෙරි වැන්නන් විසින් නායකත්වය දුන් සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේම සංවර්ධිත දිගුවක් ලෙස සැලකිය හැකියි.  වසර හැටකට ආසන්න කාලයක් ඇමරිකාවේ විප්ලවීය දේශපාලන ක්‍රියාධරයෙක් වු නෙල්සන් පෙරි (1923-2015) වරක් අප්‍රිකානු-අමෙරිකානු ජනතාව ගේ අරගලය සෑම විටම සමානත්මතාවය පිණිස අධිෂ්ඨානශීලි, සටන්කාමි සහ රුධිරය හලන්නට පසුබට නොවන්නන්ගේ අරගලයක් ලෙසට පවතින බව ප්‍රකාශ කළේය. අප්‍රිකානු-අමෙරිකානු අරගලයේ දීශානතිය වන්නේ සමාන පුරවැසියන් ලෙස ඇමරිකානු ආර්ථික සමාජ හා දේශපාලන ව්‍යුහය තුළ තමාට හිමි අවකාශ දිනා ගැනීම සඳහා මිස ‘විප්ලවයක්’ කිරීම නොවන බව ඔහු විසින් පෙන්වා දෙන ලදි.

#Balcklivesmatters:

අප්‍රිකානු-ඇමරිකානුන්ගේ වත්මන් අරගලය මීට ඉහත පරම්පරාවේ අරගලයට වඩා වෙනස් ස්වභාවයක් ගෙන තිබෙන බව හඳුනා ගැනීම වැදගත්ය. අප්‍රිකානු-ඇමරිකානු නිදහස් අරගලය නමින් හැඳින්වු අතීත අරගලයන් හිදි සෑම විටම අනුගාමිකයින් ආකර්ෂණය කර ගැනීමේ කුසලතාවයෙන් යුක්ත නායකයෙකු ගේ නායකත්වය කැපි පෙනුනි. මාටින් ලුතර් කිං, මැල්කම් එක්ස්, ජෝර්ජ් බෝල්ඩ්වින්, නෙල්සන් පෙරි වැනි නායකයින් ගැන අපිට මතකයක් ඇත්තේ එබැවිනි. විසි එක් වන සියවසේ මුල් දශක දෙක තුළ මෙම අරගලය සාමුහික නායකත්වයක් සහිත සමාජ ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගොස් තිබෙනු දක්නට හැකියි. #Balcklivesmatters යනුවෙන් හැඳින්වෙන මෙම සමාජ ව්‍යාපාරය එනමින් හඳුනා ගත්තේ 2013 ඇති වු සිද්ධි මාලාවක් සමගිනි. මේ වන විට එම ව්‍යාපාරය ජගත් මානව හිමිකම් ව්‍යාපාරයක් ලෙසට පිළිගැනිමක් ලබා තිබේ. #Balcklivesmatters ව්‍යාපාරයේ සුවිශේෂත්වය වන්නේ තනි පෞරුෂ නායකත්වය වෙනුවට ගොඩ නැගි තිබෙන සාමුහික නායකත්වයයි. මෙම අනධිකාරිවාදි සවභාවය නිසා ඇමරිකාව තුළ පමණක් නොව ලොව අන් රටවල පවා පත්වන ලද විරෝධතාවයන් සංවිධානය කිරීම සහ නඩත්තු කිරීම ඒ ඒ ප්‍රජා සමුහයන් ගේ සාමුහික නායකත්වයෙන් සිදුවීම කැපි පෙනෙන ලක්ෂණයක් වෙයි. 

ඔක්ලන්ඩ් හි සංවිධානය කළ  අවිහිංසාවාදි විරෝධතාවයකට සහභාගි වු මගේ මිත්‍රයෙකු එවා තිබු විස්තරයක් මෙම වෙනස තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් විය. විරෝධතාකරුවන්ට බොහෝ අසල්වැසියන් විසින් විවිධාකාරයෙන් සහයෝගය ලබා දි තිබුනි. පානීය ජලය, අධි ශබ්ද අවි භාවිතයෙන් දෙසවන් රැක ගැනීමට ශ්‍රවණ ආධාරක, කඳුලු ගෑස් ප්‍රහාරවලින් වැළැකීමට සහ කෝවිඩ්19 ට ඔරොත්තුදීම පිණිස මුහුණු ආවරණ, ආහාර පාන මෙන්ම මිත්‍රශිලිත්වය එම සහයෝගිතා ලැයිස්තුවට ඇතුළත් වි තිබුනි.  ලොව බොහෝ රටවල් තත්ත්වය මෙය විය. බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව වැනි රටවල පැවැති සහයොගිතා විරෝධතා අවිහිංසාවාදි විය.  #Blacklivesmatters සන්නාමය ලොව පුරා වර්ගවාදයට එරෙහි අරගල හැඳින්වීමේ පොදු සන්නාමයක් බවට පත් වි තිබේ. නමුත් ඇමරිකාව තුළ මෙම සංවිධානය සම්බන්ධයෙන් විවේචන කිහිපයක් ද පැන නැගි තිබේ. #Blacklivesmatters සංවිධානය 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදි ඩෙමොක්‍රටික් පක්ෂයට අප්‍රිකානු-ඇමරිකානු ජාතිකයන් බිම් මට්ටමින් සංවිධානය කරන ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානය බවට පත් විමත්, ඇමරිකානු බිලියනපතියන් ගෙන් ලබන ආධාර වල වාර්ෂික පිරිවැටුම් ඇමරිකානු ඩොලර් මිලියන 1000 (දහස) ඉක්මන බවත් එම විවේචකයෝ පෙන්වා දෙති. මෙය සමාජ සාධාරණත්වය පිණිස වන පුළුල් සමාජ ව්‍යාපාර අඩපණ කිරීමට හේතු වන බවත්, මෙවැනි රාජ්‍ය නොවන සංවිධාන කිසිම අවස්ථාවකදී නව ලිබරල්වාදය හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනස් කිරීමට පෙරමුණ නොගන්නා බවත් ඔවුහු තවදුරටත් පෙන්වා දෙති. 

විරුද්ධ සමාජ බලවේග:

අප්‍රිකානු-අමෙරිකානුන් ගේ නිදහස හා සමානත්මතා අරගලයට සමාන්තරව, ඊට විශේෂයෙන් ම එහි කොඳුනාරටිය වූ අහිංසා උපායමාර්ගයට එරෙහි සමාජ ධාවක බලවේග කිහිපයක් දිර්ඝ කාලයක සිට ක්‍රියාත්මකව පවති. ඉන් එකක් රාජ්‍ය ත්‍රස්තවාදයයි. ඇමෙරිකානු රාජ්‍ය ත්‍රස්තවාදයේ වත්මන් මුහුණුවර පැහැදිලි කරන විද්වතුන් අතර එක් අයෙකි, ජෝර්ජ් හොප්කින්ස් සරසවියේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්ය ස්ටුවර්ට් ශ්‍රේඩර්. ඇමරිකානු පොලිසිය ආක්‍රමණශීලි ප්‍රචණ්ඩත්වයකින් සිවිල් විරෝධතා මර්දනය කිරීම කාලයක් තිස්සේ වර්ධනය වන ප්‍රවණතා තුනක එකතුවක් බව ඔහු විසින් පෙන්වා දෙයි. දිගු කාලීන ප්‍රවණතාවය ලෙස ඔහු දකින්නේ ඇමරිකානු පොලිසිය දිර්ඝ කාලයක සිට පුහුණු කරනු ලබන ආකාරයයි. සිවිල් විරෝධතා රාජ්‍ය  විරෝධි විප්ලවීය කැරලි ලෙස නම් කරමින්, ඇමරිකානු සමුහාණ්ඩුව විප්ලවීය ත්‍රස්තවාදින් ගෙන් රැක ගැනීම පොලිසියේ කාර්යභාරය ලෙසට පොලිසියට ඒත්තු ගන්වා තිබෙන බව ස්ටුවර්ට් ශ්‍රේඩර් ප්‍රකාශ කරයි. ඇමරිකාව තුළ ත්‍රස්තවාදි ව්‍යාපාරයක් හෝ විප්ලවීය දේශපාලන ව්‍යාපාරයක් නොමැති නමුත් පොලිසිය සිවිල් දේශපාලන විරෝධතා සලකන්නේ සමුහාණ්ඩුවට එරෙහි මහා ලැව් ගින්නක පෙර නිමිති කියන දුම් රොටු ලෙසිනි. දෙවන ප්‍රවණතාවය ලෙස ස්ටුවර්ට් ශ්‍රේඩර් පෙන්වා දෙන්නේ පොලිසිය මිලිටරිකරණය කිරීමයි. සිවිල් ආරක්ෂකයෙක් වශයෙන් පොලිස් නිලධාරියාගේ ප්‍රතිරූපය දැන් මිල්ටරි ප්‍රතිරූපයකට මාරු කොට තිබේ. 1997 දි කොන්ග්‍රස් මණ්ඩලය විසින් සම්මත කළ යෝජනාවක් මගින් යුද්ධ හමුදාව සතු අතිරික්ත මෙවලම් තොග පොලිසිය වෙත නිල වශයෙන් පැවැරීමට විධිවිධාන යොදන ලද්දේය. පොලිසිය මෙම මිල්ටරි ආම්පන්න මහජනතාවට නිතරම ප්‍රදර්ශනය කිරිමත්, නිතිපතා සිවිල් පොලිස් රාජකාරිවලදි සිය මිල්ටරි ආම්පන්න භාවිතා කිරීම කැපි පෙනෙන ලක්ෂණයක් වි තිබේ. තෙවන ප්‍රවණතාවය ලෙස ස්ටුවර්ට් ශ්‍රේඩර් දකින්නේ නාගරික කේන්ද්‍රීය ජන අරගලයයි. ජන අරගලයේ කේන්ද්‍රය බවට පත් නගරය, මර්දනයේ මූලික එල්ලය කරගැනීමයි. වත්මන් සහ අනාගත සිවිල් හා දේශපාලන අරගලයන්හි කේන්ද්‍ර ස්ථානය බවට පත් වන්නේ නගර බවත්,  පොලිසියේ සියලු මර්දන උපක්‍රම නාගරික සන්දර්භයකට උචිත පරිදි හැඩ ගස්වා තිබෙන  බවත් ස්ටුවර්ට් ශ්‍රේඩර්  පෙන්වා දෙයි. 

දක්ෂිණංශික සමාජ බලවේග:

මුලධර්මයක් වශයෙන් අවිහිංසාවාදි උපාය මාර්ගයක ගමන් කළ යුතුව තිබු ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතාව, මංකොල්ල කෑම සහිත ප්‍රචණ්ඩ ක්‍රියා සහිත විරෝධතා ව්‍යාපාරයක ලෙසට හුවා දැක්වීමට තරම් සාක්ෂි සහිත සිදුවීම් මාලාව පැහැදිලි කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ දරන බව පෙනේ.ඉන් එක් වාර්තාවකට අනුව දැවැන්ත සාප්පු සංකිර්ණ කොල්ලකෑම සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් කරන ලද බවට සාක්ෂි ඉදිරිපත් වෙමින් තිබෙන අතර මධ්‍යම ආණ්ඩුව ඒ සම්බන්ධ පරික්ෂණ ආරම්භ කොට තිබේ. තවත් එවැනිම අද්භුත සිද්ධියක් ලෙසට වාර්තා වුයේ පෙළපාලිකරුවන් ගේ පෙර මග ගඩොල්, සිමෙන්ති පුරවන ලද ප්ලාස්ටික් බෝතල් ආදිය බහාලන  ලද විශාල පෙට්ටි තබා තිබෙනු දක්නට ලැබිමයි. මෙය ඩොනල්ඩ් ට්‍රම්ප්ට පක්ෂපාති කණ්ඩායම් සහ දක්ෂිණාංශික විරෝධතාකරුවන් ගේ ක්‍රියාවක් යැයි අනුමාන කෙරේ. වත්මන් අමෙරිකානු විරෝධතාව තුළ දක්නට ලැබෙන මෙම සංකිර්ණතාවය තේරුම් ගැනීම පිණිස මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වන නමුත් මතවාදි වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් කරන සමාජ ව්‍යාපාර හඳුනා ගැනීමද අවශ්‍ය වේ. 

එක් ව්‍යාපාරයක් white supremacists නමින් හැඳින්වෙන යුරෝපීය සම්භවයක් ඇති ඇමරිකානු සුදු ජාතික සමාජ ව්‍යාපාරයේ සාමාජිකයින් ගේ මැදිහත් වීමයි. දෙවන සමාජ කණ්ඩායම් වන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  විසින්ද ඇඟිල්ල දිගු කරන ලද antifa හෙවත් ෆැසිස්ට් විරෝධීන්ය. මෙම කණ්ඩායම අන්තවාදී වාමාංශික කණ්ඩායමක් ලෙස හැඳින්වෙන අතර ජාතිවාදි ෆැසිස්ට්වාදයටත්, අනෙකුත් ජාතිවාදි කොටස් වලට මෙන්ම අධිකාරිවාදයටත් එරෙහිව ප්‍රචණ්ඩකාරි ලෙස සිය විරෝධය දක්වන  කණ්ඩායමකි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිය සංවිධාන කටයුතු මෙහෙයවන මෙම කණ්ඩායම, බොහෝ විට ජාතිවාදීන්ගේ විරෝධතා ව්‍යාපාර වලට කළු ඇඳුමින් සැරසි කඩා වදිමින් ප්‍රචණ්ඩකාරි ලෙස විරෝධය පළ කරයි.

තුන්වන කණ්ඩායම වන්නේ Boogaloo Boys නමින් හැඳින්වෙන කණ්ඩායමයි. මෙම කණ්ඩායම පොදුවේ ඇමරිකානු අන්ත දක්ශිණාංශික සමාජ බලවේග නියෝජනය කරයි. නුදුරු අනාගතයේදිම සිදුවිය හැකි දෙවන ඇමරිකානු සිවිල් යුද්ධයකට සුදානම් වන ඔවුන් white supremacists කණ්ඩායම් වල සහයෝග ලබයි. මෙම කණ්ඩායමේ සාමාජිකත්වය ද බොහෝ අවස්ථාවලදි සාමකාමි විරෝධතා ව්‍යාපාර හා සම්බන්ධ වී, ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා අන් අය පොළඔ වන ලදැයි රොයිටර් පුවත් සේවය විසින් වාර්තා කරන ලදි. අනධිකාරිවාදින් ලෙස හැඳින්වෙන හතරවන කණ්ඩායම දේශපාලන වශයෙන් වමටත් දකුණටත් සහයෝගය දෙන, ‘ආණ්ඩුව, සම්මත නිත්‍යානුකූල නොවන ආයතනයක්‘ ලෙසට සලකන්නකි. මේ නිසා ආණ්ඩු විරෝධි කවර ආකාරයක උද්ඝෝෂණයකට වුවද ඔවුන්ගේ  සහායලැබේ. ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතාව අමෙරිකාව තුළ මෙන්ම ජාත්‍යයන්තරවත්, සෑම රටකම අධිපතිවාදීන් ගේ බල ව්‍යාපෘති කෙරෙහි කවර ආකාරයක බලපෑමක් කරයි ද යන්න පුරෝකථනය කිරීමට කල් වැඩිය. දැනටමත් බොහෝ මාධ්‍යයන් විසින් ජොර්ජ් ෆ්ලොයිඩ් අමානුෂික ඝාතනය හා බැඳුනු සිද්ධි මාලාව වාර්තා කරන්නේ එහි ‘ ලේ රස’ උත්කර්ෂයට නංවමිනි. ඔවුන්ට වඩා වැදගත් කොල්ල කෑම, පොලිසිය හා සිවිල් වැසියන් අතර ගැටුම්ය. මෙම වාර්තාකරණයේ බලපෑම නිසා බොහෝ දෙනෙක් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන විරෝධි රැල්ල ‘ කල්ලන්ගේ ප්‍රචණ්ත්වයේම’ කොටසක් ලෙසට කියවා ගනී. පසුගිය සියවස් දෙක තුළම නිදහස හා සමානත්මතාවය උදෙසා කරනු ලබන අන්තර්ජාතික අරගලවල ආභාෂය ශ්‍රී ලංකාවට ලැබි තිබුනි. නමුත් විසි එක් වන සියවසේ එවැනි ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් දක්නට ලැබෙන නිහඬතාවය ගැටලු සහගතය. මීට කදිම උදාහරණය වුයේ ගෝලීය දේශගුණික අර්බුදය සම්බන්ධයෙන් ‌ග්‍රේටා තර්න්බර්ග් විසින් මුලපුරණ ලද ‘සිකුරාදා’ විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ශ්‍රිලංකික තරුණ ප්‍රජාව අතර තිබු නිහඬ බවයි. එවැනි නිහඬතාවයන් ගෙන් ශ්‍රී ලංකාවද වාර්ගික ප්‍රචණ්ඩත්වය නිසා කැබලි වලට වෙන් වි තිබෙන රටකි යන්න අමතක කළ නොහැකියි. වාර්ගික පදනමක් මත මර්දනය කරන ජනතාවට යුක්තියත් සහ ශ්‍රී ලංකාවට සංහිඳියවත් උදා කරන දේශපාලනයක් කරා ගමන් කරන්නේ කෙසේද යන්න යලි සලකා බැලීමට මෙයත් කදිම අවස්ථාවකි.

බර්නාඩ් එදිරිසිංහ

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *