තක්කඩි ව්‍යාපාරිකයන්ගෙ හොර කසල හරවා යවයි. මෙය ජාත්‍යන්තර ජාවාරමක් බී.බී.සී ය කියයි.

අන්තරයාකර අපද්‍රව්‍ය ඇති බව හඳුනාගැනීමත් සමඟ කැලි කසල සහිත කන්ටේනර 21ක් නැවත එක්සත් රාජධානිය වෙත හරවා යෑවීමට ශ්‍රී ලංකාව කටයුතු කර ඇතැයි බී.බී.සී සඳහන් කරයි.
පුද්ගලික ආයතනයකින් ගෙන්වා ඇති කසල කන්ටේනර 263කින් වැඩි ගණනක රෝහල්වලින් බැහැර කරන කසල තිබිණැයි රේගු බලධාරින් තහවුරු කර ඇත. මේ අපද්‍රව්‍ය තොග නැව් ගත කර තිබුණේ භාවිතා කර ඇති නමුත් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි මෙට්ට, කාපට් සහ බුමුතුරුණු බව සඳහන් කරමිනි. මේවායෙන් ඉතා සුලු ප්‍රමාණයක් ප්‍රති අපනයනය කර ඇති අතර ඉතුරු සියල්ල ගුදම්වල (warehouses) ගබඩා කරනු ලැබ තිබේ.

මෙම කන්ටේනර තුළ ප්ලාස්ටික් හා පොලිතීන් අපද්‍රව්‍යද පැවති බව බලධාරීන් විසින් තහවුරු කරනු ලැබ තිබේ. 2018 දී ලංකාවේ බලධාරීන් මේ අපද්‍රව්‍ය තොග ඉවත්කරගැනීම තහනම් කිරීමෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

පසුගිය සෙනසුරාදා කන්ටේනර 21ක් දිවයිනෙන් බැහැර කළ බව බලධාරීහු සඳහන් කරති.

ශ්‍රී ලංකා රේගු ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ, මෙම ආනයන ක්‍රියාවලිය ජාත්‍යන්තර සහ යුරෝපා සංගමයේ නීති මෙන්ම අන්තරායකර අපද්‍රව්‍ය හා ඒවා විනාශ කිරීමට අදාල රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවයි.

එංගලන්තයේ පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ “එය නීතිවිරෝධීව කැලිකසල අපනයනය කිරීමේ ජාවාරමක් බවයි”  එංගලන්ත පරිසර අධිකාරියේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැවසුවේ, “අපි ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සම්බන්ධ වෙලා මේ ගැන විධිමත් විමර්ශනයක් සිදු කිරීමට අදාල වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඇති හැකියාව විමසුවා” යනුවෙනි.

ශ්‍රී ලංකාව මෙන්ම කලාපයේ තවත් රටවල් කිහිපයක්ද විදෙස් රටවලින් ආනයනය කරන ලද කැලිකසල නැවත හරවා යැවීම ආරම්භ කර තිබේ.
මේ වසරේ ජනවාරි මාසයේ එක්සත් රාජධානියෙන් එරටට නීතිවිරෝධීව ආනයනය කරන ලද ප්ලාස්ටික් කසල අඩංගු කන්ටේනර 42ක් නැවත හරවා යැවීමට මැලේසියාව ක්‍රියා කළේය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *