තමන්ට වහාම PCR කරන්නැයි ග්‍රාම නිලධාරීහු ඉල්ලති

ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබියදී තවත් ග්‍රාම නිලධාරීන් ගණනාවක් නිරෝධායනයට යොමුකර සිටින බැවින් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ දැඩි කැපවීමෙන් රාජකාරි කරන දාහතරදහකට අධික සියලුම ග්‍රාම නිලධාරීන් වහාම පී සී ආර් පරීක්ෂණයට භාජනය කොට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ යුතු බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් අද (20) කොඩිකාර මහතා මේ බව ප්‍රකාශ කළේය.                                                               පළමු කොරෝනා රැල්ල පැමිණි අවස්ථාවේ  කිසිදු ග්‍රාම නිලධාරියෙකුට වෛරසය ආසාදනය නොවුනත් මේවන විට දඹුල්ල හා අම්බලන්ගොඩ ප්‍රදේශ වල ග්‍රාම නිලධාරීන් දෙදෙනෙකු වෛරසයට ගොදුරුව සිටින බවත් ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ද නිරෝධායනයට යොමුකර තිබෙන බවත් ඒ මහතා කීය.

ග්‍රාම නිලධාරීන්ට අවශ්‍යය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදෙන ලෙස චක්‍ර ලේඛණයක් මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබුණත් එම චක්‍රලේඛණය ක්‍රියාත්මක වන්නේ දිස්ත්‍රික්ක 09 ක පමණක් බවත් හෙතෙම අවධාරණය කළේය.

සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල,විසබීජ නාශක දියර,මුඛ ආවරණ,අත් වැසුම් ඇතුළු අනිකුත් සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් කඩිනමින් ග්‍රාම නිලධාරීන්ට ලබාදෙන ලෙස තමන් රජයට බලකරන බවත් එසේ නොකළොත් සියලු ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ඒකාබද්ධව අකමැත්තෙන් වුවත් වෘත්තීය  ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් ඒ මහතා පැවසුවේය.

ශ්‍රී ලංකා ග්‍රාමනිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා අදහස් දක්වමින් රට පුරා ක්‍රියාත්මක වන 2021 ජන හා නිවාස සංගණන ක්‍රියාවලියෙන් ඉවත් වීමට ග්‍රාම  නිලධාරීන් කටයුතු කළද ග්‍රාම නිලධාරීන්ගේ ගැටලු සඳහා සාධනීය පිළිතුරු ලබාදීමට අදාළ බලධාරීන් එකඟ වීම නිසා එම වෘත්තිය ක්‍රියාමාර්ග අත්හරිනු ලැබූ බව ප්‍රකාශ කළේය.

ග්‍රාම  නිලධාරීන් මත පටවා ඇති සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනෙන් ඉවත්වීම තවදුරටත් සිදුකරන බවත් එම කෘෂිකාර්මික කටයුතු සිදු කිරීමට කෘෂි පර්යේෂණ නිලධාරීන් මෙන්ම වෙනත් කෘෂි නිලධාරීන් සිටින බැවින් එම කටයුත්ත ග්‍රාම නිලධාරීන්ට අදාළ නොවන බවත් ඒ මහතා කීවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *