තලවකැලේ නගර සභාපති ඉල්ලා අස්වෙයි

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ධුරයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් තාවකාලිකව ඉවත් කරනු ලැබ සිටින අශෝක සේපාල මහතා අද (25) සභාපති ධූරයෙන් සහ මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වී  ඇත.

ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් තලවකැලේ ලිදුල නගර සභාවේ ලේකම් ඩි.වි.පි.බණ්ඩාර මහතා වෙත බාරදී තිබේ.

තලවාකැලේ ලිදුල නගර සභාවේ සභාපති ලෙස 2011 සිට 2015 දක්වා කටයුතු කළ අශෝක සේපාල මහතා අවසන් වරට පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු යළිත් සභාපති ධූරයට පත්විය.

ඔහුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත් කරනු ලැබීය.විමර්ශන අවසන් වන තෙක් තාවකාලිකව අශෝක සේපාල මහතා සභාපති තනතුරින් ඉවත් කිරීමට ආණඩුකාරවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පියවර ගත්තේය.

ස්වාධින මන්ත්‍රිවරයෙකු වශයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ඉන් ජයගෙන තලවකැලේ ලිදුල නගර සභාවේ මන්ත්‍රි ධුරය සහ සභාපති ධුරය දැරූ අශෝක සේපාල මහතා තනතුරු වලින් ඉල්ලා අස්විමේ ලිපියේ පිටපතක් නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිවරයා වෙතද ලබා දී ඇත.

තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මන්ත්‍රි ධුරයෙන් තමන් ඉවත් වීම නිසා  පුරප්පාඩු වන මන්ත්‍රී ධූරයට තලවකැලේ හොලිරුඩ් කොට්ඨාසයට ස්වාධීනව  තරඟ කළ සිවනයියා සිවරාජ් මහතා පත්වනු ඇතැයි සේපාල මහතා කීය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *