ත්‍රිකුණාමලයේ සාම්පල්තිවි කලපුව විනාශයි. බලධාරීන් නිදි වදී..

කලපුව ගොඩ කරන්න ඩයස්පෝරාව හවුල්

පොලිස් ලොක්කන්ට, දේශපාලන බලවතුන්ට ඉඩම්

ප්‍රකට ගෑස් සමාගමකුත් කලපුව ගොඩ කරලා

ආණ්ඩුකාරවරියගේ සද්දෙ ෂෝ එකක් විතරයි

ත්‍රිකුණාමලය සාම්පල්තිව් කලපුවට අයත් භූමියෙන් තුනෙන් දෙකක පමණ භූමිය අනවසරයෙන් සහ ව්‍යාජ ලේඛන මගින් අත්පත් කොටගෙන ගොඩ කර ඇතැයි වාර්තා වේ. 2009 වසර පමණ වනතෙක් ආරක්ෂිතව හා නිරුපද්‍රිතව පැවති මෙම කලපුව ගොඩකරමින් බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගැනීම ආරම්භ වී ඇත්තේ, යුද්ධය නිමා වීමත් සමඟිනි. එවක යම් යම් පාර්ශවවල දේශපාලනඥයන්ගේ සහය ලැබූ පුද්ගලයන් කලපුව ආක්‍රමණය කිරීමට පටන් ගෙන ඇත. කඩා දමන ලද ගොඩනැගිලිවල අපද්‍රව්‍ය ඇතුළු බැහැර ලන කොටස් ගෙනැවිත් කලපුවේ පහත් බිම් ගොඩ කර ඇති එවැනි පුද්ගලයන් පසුව ඒ වටා කටු කම්බි වැටවල් ඉදි කොට එම බිම් කොටස්වලට අයිතිවාසිකම් කීමට පටන් ගෙන තිබේ. අද වනවිට කලපුවේ සමස්ත භූමියෙන් තුනෙන් දෙකක් පමණ මෙලෙස අත්තනෝමතික අන්දමට ගොඩ කර තිබෙන අතර ඇතැම් ස්ථානයක අනවසර ගොඩනැගිලිද ඉදි කර ඇත. පුදුමයට කරුණක් වන්නේ කලපුවේ භූමිය බවට සියලු සාක්ෂි සාධක තිබියදී මෙම ඉඩම්වලින් ඇතමක් සඳහා නීත්‍යානුකූල ඔප්පු නිකුත් කර තිබීමයි. සාම්පල්තිව් කලපුව මධ්‍යයේ ගොඩ කරන ලද ඉඩම් සඳහාද ඔප්පු ලබා දී ඇති අතර සමහර ඉඩම් කැබලිවල පොල් වැනි බෝග වගා කර ඇති අන්දම දැක ගන්නට ලැබේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල ජනයාට තමන් පදිංචි ඉඩම්වලට ඔප්පු හෝ බලපත්‍ර ලබා ගැනීමට තවමත් හැකියාව ලැබී නොමැති පසුබිමක මෙලෙස  කලපුවේ අනවසර ගොඩකිරීම්වලට ඔප්පු ලබා දී තිබීම මවිතය දනවන සුලුය.

සාම්පල්තීව් වටින්නේ ඇයි 

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කලපු අතරින් සාම්පල්තීව් කලපුවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ත්‍රිකුණාමලය නගර සීමාව තුළ පිහිටි මෙම කලපුව ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ ඉතා දුර්ලභ කඩොලාන පද්ධතියකින් සමන්විත වන අතර, සමුද්‍රීය ජීවීන් රැසකට තිඹිරි ගෙය වී ඇත්තේ, සාම්පල්තීව් කලපුවයි.
ඉස්සන්, කලපුවන්, මුහුදු බෙල්ලන් මෙන්ම මත්ස්‍ය විශේෂ රැසකට ජීවය සපයන මෙම කලපුව ප්‍රදේශයේ බහුතරයක් වූ  ධීවර ප්‍රජාවට කෙම් බිමකි.
මෙම කලපුවේ හෙක්ටයාර 260 ක අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇති බවත්, ඉතිරි ප්‍රමාණය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බවත් කියවේ. එහෙත්, එම දෙපාර්තමේන්තුව ඔවුනට අයත් බිම් ප්‍රමාණය හෝ හරි හැටි නොදනී.

 

බලධාරීන්ගේ ප්‍රතිචාර

කලපුවේ භූමිය ගොඩ කර ඇතැම් පුද්ගලයින් ඒවා සිය පුද්ගලික ඉඩම් බව පෙන්වා ඔප්පු ලබා ගැනීම පිළිබඳව විමසීමේදී  ඊට අදාල ආයතන වන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව   වෙනත් ආයතන වලට පන්දුව මාරු කරමින් ෂේෆ් න්‍යායක් අනුගමනය කරති. ත්‍රිකුණාමලයේ බොහෝ පැරණි ඉඩම්වලට මේ වන තුරුත් ඔප්පු නිකුත් නොකර ඇති තත්වයක් තුළ සාම්පල්තීව් කලපුවේ ඉඩම් වලට ඔප්පු නිකුත් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ,කවුරුන්ද යන්න ගැටලුවකි. ඩයස්පෝරාවේ සාමාජිකයන්, පොලිස් ලොක්කන් හා ප්‍රකට ගෑස් සමාගමක හිමිකරුවෙකු ඇතුළුව නම් ඈඳී ඇති මෙම ඉඩම් වල අයිතිකරුවන් බොහොමයක් ප්‍රදේශයේ හා රටේ   ප්‍රබලයන්ය. හිටපු ප්‍රාදේශීය ලේකම්වරියක් විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ අනුදැනුම මත⁣ මෙලෙස   අනවසර⁣යෙන් ගොඩ කර අල්ලාගත් ඉඩම්වලට ඔප්පු    ලබා  දී ඇති   බව ජනතාව පවසති.  හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකුට මෙන්ම, දිවයිනේ ප්‍රකට ගෑස් සමාගම් හිමිකරුවෙකුටද මෙම කලපුවේ ඉඩම් හිමි ව ඇත්තේ දේශපාලන සබඳකම්වල අනුහසිනි.
සමාජ මාධ්‍ය මගින් මීට එරෙහිව ගෙන ගිය සටනක ප්‍රතිඵලයක් ලෙස මේ වන විට බලධාරීන්ගේ අවධානය සාම්පල්තීව් කලපුව වෙත   යොමු වී ඇත. එහෙත්,  පසුගිය දිනක නැගෙනහිර ආණ්ඩුකාරවරිය මෙම ස්ථානයට ගොස් මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් කියා සිටියේ, මේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන්  කඩිනමින් වාර්තාවක් කැඳවන බවකි. නමුත්,ඒ වාර්තාවට සිදුවු දෙයක් නැත. ප්‍රදේශවාසීන් පවසන්නේ ඉහළ දේශපාලන බලධාරීන් නිසා ආණ්ඩුකාරවරිය නිහඬව සිටින බවයි. 

ජිනරාජ බණ්ඩාර

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *