ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ වෙසක් පණිවිඩය

දිවයිනේ සියලු විහාරස්ථානවලදී හා ඉන් පිටතදී ජනතාව එක්රැස් වනසේ දාන, ශීල, භාවනා වැඩසටහන් මෙන්ම වෙසක් තොරණ ආදි පුණ්‍යයෝත්සව සංවිධානය නොකොට නිවෙස් තුළදීම ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පූජෝපහාර දක්වමින් අනන්තවූ බුදු ගුණයන්ගෙන් ශෝභිත වූ තථාගතයන් වහන්සේගේ ම උතුම් තෙමඟුල මෙවර සැමරීම වඩාත් යෝග්‍ය බව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර සිටිති.
මල්වතු මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරත්න,උඩරට අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස,රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිව්නම විසින් මෙම ඒකාබද්ධ වෙසක් දින පණිවිඩය නිකුත්කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි. “සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ සසර සැරිසරමින් සකළ ක්ලේෂයන් ප්‍රහාණය කොට ලොව සත්‍ය දහම අවබෝධ කරගත් අප ශ්‍රී ගෞතම සර්වඥයින් වහන්සේගේ උත්පත්තිය,බුද්ධත්වය,පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ ශ්‍රී වෛශාඛ පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අතිපූජනීය ශ්‍රේෂ්ඨතම අනුස්මරණීය පුණ්‍යයෝත්සව දිනයයි.මෙදින දාන,ශීල,භාවනා ආදි ආමිස හා ප්‍රතිපත්තිමය පූපෝපහාරයන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සකළ ලෝකවාසී බෞද්ධයින්ගේ සිරිත විය.එහෙත් මෙවර ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොවපුරා බලවත් රාජ්‍යයන්හි පවා පැතිර යන කුරිරු කොවිඩ්-19 හෙවත් කොරෝනා නැමැති දරුණු වසංගත තත්ත්වය පදනම් කොටගෙන හුදෙක් ජනතාවගේ ජීවිත ආරක්ෂාව සලසාසීමේ අපේක්ෂාවෙන් තම තමන්ගේ නිවෙස් වලට පමණක් සීමා වෙමින් වෙසත් පුණ්‍යයෝත්සව පිංකම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ වැඩපිළිවෙළක් අපගේද අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් බෞද්ධ ජනතාව වෙත දන්වා යැවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව බුදුන්වහන්සේගේ ඉගැන්වීම පරිදි සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා යනුවෙන් සැම සත වෙනුවෙන් මෙත් වඩමින් ලෝකවාසීන්ට අවිහිංසාවාදී ධර්ම මාර්ගයක් දේශනා කළ තථාගතයන් වහන්සේ විෂයෙහි කරන උතුම් පූජාවක් වශයෙන් උන් වහන්සේගේ පරම පූජනීය ගුණයන් සිහිපත් කරමින් සැදැහැ සිතින් කුසල් සිත් වඩා වර්ධනය කර ගැනීමට සියලු දෙනා අදිටන් කර ගනිමු.එසේම ආරෝග්‍යා පරමාලාභා යන බුදු වදන අනුව යමින් නිරෝගීකම සියලු සත්ත්වයන්ට සැලසෙන පරම ලාභයක් සේ සලකා මෙම වෙසක් සමය තුළ සියලු දුසිරිතෙන් වැලකී අධ්‍යාත්මක ගුණධර්ම දියුණු කරගෙන එම සත්‍යක්‍රියා බලය තුළින් කොරෝනා උවදුරින් පීඩාවට පත්ව සිටින ලෝකාවාසී සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි කාරුණාධ්‍යාශයෙන් ආශිංසන කර සිටුම්හ.”

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *