තෙල් සම්පත හොයාගෙන මිස ආයෙ ඡන්දෙට එන්නෙ නෑ – ගම්මන්පිල

මෙරට පොළවේ තෙල් හා ගෑස් සම්පත තිබෙන බවත් තමන් ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වන්නේ තෙල් හෝ ගෑස් සම්පත්වලින් එකක් හෝ ගොඩගෙන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.මෙරට ලක්ෂ 15 ක පමණ පිරිසක් මැදපෙරදිග රටවල රැකියා කරමින් දුක්විඳින බවත් එම රටවල් ආර්ථික අතින් දියුණු වී තිබෙන්නේ තෙල් සම්පත නිසා බවත් කී ඒ මහතා අපේ තෙල් සම්පත ගොඩ ගැනීමට හැකි වුවහොත් මේ සියලු දෙනාට රැකියා ලබාදීමට අපට හැකිවනු ඇති බවත් ඒ මහතා කීය. සිරිමාවෝ මැතිණියගේ පාලන සමයේ පටන් මේ රටේ තෙල් ගොඩගැනීම සම්බන්ධව කතාබහ කළත් තෙල් හෝ ගෑස් ගොඩගත් කෙනෙකු නොමැති බවත් පොළව යට තිබෙන මේ සම්පත ගොඩ ගැනීමට තමන් උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ අදහස් පැවසුවේ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවී විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කරුණු දැක්වීමෙන් පසුය.  විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ප්‍රසිද්ධකර තිබෙන ලේඛණය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විවේචනාත්මක අදහස් සැලකිල්ලට ගනිමින් එහි ඇති අඩුපාඩු සොයා බැලීමට කමිටුවක් පත්කළ බවත් ගැසට් පත්‍රය මගින් මේ ආකාරප්‍රසිද්ධ කළපසු එහි අඩුපාඩු සොයාබලා නිවැරදි කිරීමට ආණ්ඩුවක් පියවර ගෙන තිබෙන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.නව ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගය ගැසට් කළ පසු ඒ සම්බන්ධයෙන් විවේචන කොපමණ ඉදිරිපත් වුවත් ආණ්ඩුව කරන්නේ ඒවාට කන්නොදී තමන්ගේ ස්ථාවරය නිවැරදි බව කියන්නට කටයුතු කිරීම වුවත් ඉතිහාසයේ ප්‍රථම වතාවට අදාළ විවේචන වලට ඇහුම්කන් දී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනපති හා අගමැති පියවර ගෙන තිබෙන්නේ යැයි ඒ මහතා කීය.බලයට අලුතින් පත්වූ ආණ්ඩුව ශීතකරණයකින් එළියට ගත් අයිස් කැටයක් හා සමාන යැයි කියමනක් තිබෙන බවත් ඉන් අදහස් වන්නේ කාලයත් සමඟ අයිස් කැටය දියවී යන්නා සේ ආණ්ඩුවට ඇති ජනප්‍රසාදයද හීනවී යන බව වුවත් වත්මන් ආණ්ඩුව මැතිවරණයෙන් මැතිවරණයට ජනප්‍රසාදය තව තවත් ඉහළින් දිනා ගැනීමට සමත්වූ බවත් ඇමැතිවරයා පැවසුවේය.පවතින මැතිවරණ ක්‍රමය යටතේ තුනෙන් දෙකක බලයක් සහිතව ජයග්‍රහණය අත්කර ගැනීම ඉතාමත්ම අසීරු බවත් මෙවැනි මැතිවරණ ක්‍රමයක් පවතින කිසිදු රටක මේ ආකාර ජයග්‍රහණයක් පක්ෂයකට ලබාදී නොමැති බවත් කී ඒ මහතා ජනතාව ලබාදී තිබෙන සුවිශාල ජයග්‍රහණය නිසා දැන් කළ යුතුව තිබෙන්නේ වැඩ කිරීම බවත් නිදහසට කරුණු කීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් අවධාරණය කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *