තොරතුරු කොමිසමට ආ අභියාචනා බහුතරය ආයතනික විනිවිද බව ගැන

තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව විවිධ අයදුම්කරුවන් තොරතුරු ලබාගැනීමට යාමේදී මුහුණ පාන දුෂ්කරතා සහ ගැටළු සම්බන්ධයෙන්, තොරතුරු කොමිසන් සභාව වෙත 2017-2019 කාලය තුළ වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ ‘ආයතනික විනිවිදභාවයට’ අදාළව අයදුම් කළ තොරතුරු විෂයෙහි බවත්, එම අභියාචනා සංඛ්‍යාව 571ක් බවත්, තොරතුරු කොමිසමේ තීරණ සම්බන්ධයෙන් කළ අධ්‍යනයක ප්‍රථිඵල විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් නීතිඥ අශ්විනි නටේසන් වීරබාහු මහත්මිය පැවසීය. දෙවනුවට වැඩිම අභියාචනා ප්‍රමාණයක් යොමුව ඇත්තේ රැකියා සහ කම්කරු විෂයට අදාළව බවත්, එම සංඛ්‍යාව 373ක් බවත් පෙන්වා දුන් ඇය, සියලු අභියාචනාවලට පදනම් වී තිබුණේ අදාළ අධිකාරින් මගින් නියමිත කාලය තුළ නිසි පරිදි අයදුම්කරුවන්ට තොරතුරු ලබා නොදීම සහ තොරතුරු දීම ප්‍රතික්ෂේප කිරීම් බවද කීවාය. තාක්ෂණය, මාධ්‍යය සහ විකාශන සන්නිවේදනයට අදාළ ඉන්දියානු නීතිවේදිනියක වන අශ්විනි නටේසන් වීරබාහු මේ තොරතුරු අනාවරණය කළේ “තොරතුරු දැනගැනීමේ පනත – ජයග්‍රහණ සහ අභියෝග” මැයෙන් ඉකුත් සදුදා (28) කොළඹදී පැවැති විවෘත සංවාදයක ආරාධිත දේශනය පවත්වමිනි.

නාරාහේන්පිට බර්නාඞ් සොයිසා මාවතේ අංක 96 දරණ ස්ථානයෙහි පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම සංවාදය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කොට තිබුණේ එදිනට යෙදී තිබූ අන්තර්ජාතික තොරතුරු දිනය නිමිත්තෙනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද කීවාය.
“මෙහි ආයතනික විනිවිදභාවය යන්නට ආර්ථික විනිවිදභාවය සළකා බලා තිබෙනවා. එහිදී පොදු අධිකාරීන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය, අය-වැය ප්‍රථිපාදන සහ වියදම්, අධ්‍යාපන ආයතනවලට ඇතුළත්වීමේ ක්‍රියාවලිය සඳහා වන නිර්ණායක, ප්‍රතිලාභ සහ හිමිකම් වෙන් කිරීමේ නිර්ණායක, යටිතල පහසුකම් ව්‍යාපෘතිවල තත්ත්වය සහ සංවර්ධනය, වැටුප් විස්තර, අපරාධ ආදිය සම්බන්ධයෙන් වන වැදගත් ලියකියවිලි අනාවරණය කිරීම කෙරෙහි අවධානය යොමු කොට තිබෙනවා. ‘දූෂණය’ යන්නෙන් ලබා දුන් බලය අවභාවිත කිරීම සළකා බලා තිබෙනවා. උදාහරණ ලෙස, ප්‍රතිපාදන අවභාවිතය, සම්පත් වෙන් කිරීමේ අවිධිමත්භාවය සහ වැරදි කලමනාකරණය කෙරෙහි අවධානය යොමු කොට තිබෙනවා. මෙම පර්යේෂණයේ ඉල්ලුම සහ සැපයුමට අදාළ පැතිකඩ විශ්ලේෂණය කිරීමේදී ඉන්දියාවේ රාජස්ථානයේ සිදුකළ පර්යේෂණයක් මූලික වශයෙන්ම පාදක කරගෙන තිබෙනවා.

කොමිසන් සභාවේ ප්‍රධාන තීරණ සම්බන්ධයෙන් සළකා බැලීමේදී අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේදී උපදේශක සමාගම්වලට ගෙවන ලද ගෙවීම්වල විශාල විෂමතා හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් වන නඩුව ප්‍රධාන එකක්. එය මාධ්‍ය තුළ පුළුල් ලෙස වාර්තා කෙරුණා. ජාතික ආරක්ෂාව පිළිබඳ ව්‍යතිරේඛය තහවුරු නොකිරීම මත අනාවරණය කිරීම් කොතරම් ප්‍රබලද කියනවා නම් මෙහිදී අතිරික්ත මුදල් ආපසු ගෙවන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ උපදේශන සමාගමට නියෝග කිරීමක් සිදුවෙලා තියනවා. ඒවගේම ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි, මානව සම්බන්ධකම් පිළිබඳ ප්‍රධානී සහ ප්‍රධාන වානිජ නිලධාරි සහ ජාතික ගුවන් සේවය විසින් අත්සන් කරන ලද ගිවිසුම් කිහිපයක් පිළිබඳව ගුවන් නියමුවන්ගේ සංගමය තොරතුරු ඉල්ලා සිටීමක් සිදු කළා. එහිදී කොමිසන් සභාවේ උපදෙස් මත අදාළ තොරතුරු නිකුත් කිරීම සිදුකළා. ඒ අනුව ගෙවන ලද වැටුප් සහ වෙනත් ගිවිසුම් නිදහස් කිරීමටද කොමිසන් සභාව නියෝග කොට තිබෙනවා. මෙහිදී පෞද්ගලිකත්වය සහ අනෙකුත් රාජ්‍යයන් සමඟ තිබෙන විශ්වාසයට හානිවීම යන ව්‍යතිරේඛයන් ප්‍රතික්ශේප කිරීමත් සිදුව තිබෙනවා.
මධ්‍යම රජයේ පොදු අධිකාරින්ට එරෙහි අභියාචනා 783ක් කොමිසමට ඉදිරිපත් වෙලා තියනවා. පළාත් මට්ටමෙන් 259ක් ඉදිරිපත් වෙලා තියනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් 142ක් ඉදිරිපත් වෙලා තියනවා. මේවායින් දින 14ක් ඇතුළත ප්‍රතිචාර ලබාදී ඇති ප්‍රතිශතය 31%-34% අතර ප්‍රමාණයකයි පවතින්නේ. දින 28ක් අතර ප්‍රතිචාර දැක්වීම් ප්‍රතිශතය 18%-27% අතර ප්‍රමාණයක ව්‍යාප්තව පවතිනවා.

කොමිසන් සභාවේදි තොරතුරු නිකුත් කළ අභියාචනා ප්‍රමාණය 87%ක ප්‍රතිශතයක් දරනවා. 16%ක අභියාචනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.”
මෙම සභාව ආරම්භ කරමින් අදහස් දැක්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කාරිනී සීතා රංජනී විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා පනතක් බිහි කර ගැනීම දක්වා සිදුවූ අරගලය ගැන හැඳින්වීමක් කළාය. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිට ඒ සඳහා දී ඇති දායකත්වය සම්බන්ධ ඉතිහාසය ගැන ඇය එහිදී පැහැදිලි කළාය. තරුණ මාධ්‍යවේදීන් තිදෙනෙක් වන රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, එස්. සිවකුමරන් සහ ඉඳුනිල් උස්ගොඩආරච්චි යන මාධ්‍යවේදීහු මෙම සාකච්ඡා සභාවට අදහස් දක්වමින්, ජනතාව වෙනුවෙන් තොරතුරු පනත භාවිතා කිරීමේදී ඔවුහු මුහුණ පෑ අත්දැකීම් ද විස්තර කළහ.

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 18ක සේවා කාලයක් සපුරා ඇති මාධ්‍යවේදී රාහුල් සමන්ත එහිදී පැවසුවේ තොරතුරු පනත යටතේ තොරතුරු අයදුම් කරන මාධ්‍යවේදීන් අපරාධකරුවන් සේ සළකා පොලිස් විමර්ශනයන්ට ලක් කෙරෙන ප්‍රවණතාවයක් මේ වන විට රට තුළ උද්ගතව ඇති බවය. පසුගියදා වවුනියාව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් තමන් යම් තොරතුරක් ඉල්ලා සිටි බවද, ඊට ප්‍රතිචාර වශයෙන් මේ වන විට වවුනියාව පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් තමන් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බවද ඔහු පැවසීය. ගතවූ වසර දෙක තුළ තමන් පොදු අධිකාරින් 1150කට ආසන්න සංඛ්‍යාවකින් තොරතුරු ඉල්ලා අයදුම්පත් යොමු කොට තිබුණද අයදුම්පත ලැබුණ බව දන්වා එවා තිබුණේ ඒ අතරින් 174ක් පමණක් බවද ඔහු සඳහන් කළේය. තොරතුරු ලබා නොදීමට එරෙහිව තමන් අභියාචනා 150ක් පමණ තොරතුරු කොමිසම වෙත යොමු කොට ඇති බවත්, ඇතැම් ඒවා තවමත් විභාග වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

වීරකේසරී පුවත්පතේ සහකාර කර්තෘ එස්. සිවකුමරන් සිය අත්දැකීම් අනාවරණය කරමින් පැවසුවේ 2010 වසරේ සිට අලුත් අවුරුදු දිනයදා ජනාධිපතිවරයාගෙන් පුරවැසියන්ට ලැබෙන දුරකථන කෙටි පණිවුඩ සුබ පැතුම සඳහා ඒ ඒ දුරකථන සමාගම් වෙත ගාස්තු ගෙවීම් කරන්නේ කවුරුන් විසින්ද යන්න දැනගැනීමට තමන් විදුලි සංදේශන නියාමන කොමිසමට තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කළ බවය. එහිදී පෞද්ගලික තොරතුරක් වන සිය දුරකථන අංකය තමන්ගේ අවසරයකින් තොරව ජනාධිපතිවරයාට ලබාදෙන්නේ කවුරුන්ද යන්න තමන් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් විමසා සිටි බවද ඔහු පැවසීය. ඊට අදාළ තොරතුරු ලබාදෙනවා වෙනුවට වහාම ලැබුණු ප්‍රතිචාරය වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙක් තම කර්තෘවරයාට දුරකථනයෙන් අමතා තමන් ගැන විස්තර විමසා තිබීම බවද සිවකුමරන් අනාවරණය කළේය.
අවට පාසල් විශාල ප්‍රමාණයක ක්‍රීඩා සහ සංස්කෘතික කටයුතු සඳහාද යොදාගන්නා හැටන් ප්‍රදේශයේ ප්‍රසිද්ධ ක්‍රීඩාංගනයක වරින් වර සිදු කෙරෙන ප්‍රභූ අදාහන උත්සව සඳහා අවසර දීමට අදාළව තමන් කළ තොරතුරු විමසීමකින් පසුව හැටන් නගර සභාව එලෙස ආදාහන සිදු කිරීමට අවසර නොදෙන තීරණයක් ගත් බවද ඔහු පැවසීය.

රාවය පුවත්පතේ මාධ්‍යවේදීනි ඉඳුනිල් උස්ගොඩආරච්චි සංවාද සභාව හමුවේ අදහස් දක්වමින් පැවසුවේ දුම්රියේ හැපී සිදුවන අලි මරණ දිනෙන් දින ඉහළ යාමෙන් පසුව ඒ පිළිබඳ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරන ලද තොරතුරු විමසීමකදී, දැනට ධාවනයෙහි යෙදෙන දුම්රිය එන්ජින් 40කම වේග මාපක (ස්පීඩෝ මීටර්) නොමැති බව අනාවරණය කරගැනීමට තමන්ට හැකි වූ බවය. ආනයනික කිරි පිටිවල අධි අවදානම් රසායනික ඇති බවට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් සිදුකළ ප්‍රකාශයකට අදාළව තමන් සිදු කළ ගවේෂණයකදී අනාවරණය වූයේ සැක සහිත කිරිපිටි සාම්පල ජර්මනියට යවා සිදුකළ පර්යේෂණවලදී එවැනි අවදානම් රසායනික කිසිවක් එම කිරිපිටිවල අඩංගු නොවන බව පර්යේෂණායතනය වාර්තා කොට තිබුණු බවය. එහෙත් ජනමාධ්‍ය එම පුවත වාර්තා නොකළ බවද ඇය පෙන්වා දුන්නාය.
විවෘත සාකච්ඡාවට දායක වෙමින් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම තොරතුරු පනත භාවිතා කිරීම සම්බන්ධයෙන් තමන් ලද අත්දැකීම් මෙන්ම ජනතාව වෙත ලැබුණු අවස්ථා ගැන ද අදහස් පළ කරන ලදී.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *