තොරතුරු කොහොමද අම්පාරේ? රාජ්‍ය නිලධාරීන්ගේ අත්දැකීම්

-ජයසිරි ජයසේකර

“බොහෝ සාධකවලින් ඌවට සමාන තත්ත්වයක් තියෙන නැගෙනහිර පළාතේ ජනතාව, ඌවට වඩා තොරතුරු පනතෙන් ප්‍රයෝජන ගන්නවා…”

තොරතුරු පනත ගැන උද්යෝගිමත්ව කටයුතු කරන බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරියකුගේ එම ප්‍රකාශය අසන්නට ලැබී දෙසතියකට පමණ පසුව එහි ප්‍රායෝගික තත්ත්වයට සමීපව දැන ගැනීමේ කදිම අවස්ථාවක් අපට ලැබිණි. ඒ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛ රාජ්‍ය ආයතන රැසක තොරතුරු නිලධාරීන් එකම සභාවකදී මුණගැසුණු මොහොතකි. තොරතුරු කොමිසමේ කොමසාරිස්වරයකු වන නීතිඥ එස්.ජී. පුංචිහේවා මහතාගේද සහභාගීත්වයෙන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් පැවති එම වැඩමුළුවේදී දිස්ත්‍රික්කය තුළ තොරතුරු පනතේ මෙතෙක් ක්‍රියාකාරිත්වය ගැන වැදගත් කරුණු රැසක් අනාවරණය විය.

නිලධාරීන්ට සිය අත්දැකීම් ප්‍රකාශ කිරීමට  ලැබුණු අවස්ථාවේදී එක් එක් ආයතනවලට ලැබුණු තොරතුරු ඉල්ලීම් පිළිබඳ සාරාංශයක් මෙන්ම භාවිතයේ ගැටලුසහගත තැන් ගැනද අදහස් පළ විය. තොරතුරු ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සීමා නොවී ප්‍රගාමී හෙළිදරව් කිරීම් කෙරෙහි උනන්දුවක් දැක්වූ තොරතුරු නිලධාරීන්ද ඒ අතර සිටීම සතුටට කරුණකි. උහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් චාමලී කුලතුංග මහත්මිය එවැනි නිලධාරිනියකි. තොරතුරු අයිතිය කෙරෙහි මෙන්ම සමාජ සංස්කෘතික කාරණා කෙරෙහිද සංවේදී වෙමින් සිය රාජකාරිය ඉටු කරන අයුරු ඇය පැවසුවාය.

මහජන උද්යෝගය

නිලධාරීහුද උද්යෝගීත්මය.. තොරතුරු සැමගේ අයිතියකි

“2019 වසරේදී අපට තොරතුරු ඉල්ලීම් 33ක් ඉදිරිපත් වුණා. ඉන් 30කට පිළිතුරු දී තිබෙනවා. මේ වසරේ ඉල්ලීම් 5ක් ඉදිරිපත් වුණා. අපට බහුලව ලැබුණු ඉල්ලීමක් තමයි බලපත්‍රලාභී ඉඩම්වල පසු අයිතිය කාටද පවරා තිබෙන්නෙ කියන කාරණය. දරුවන් ඇවිත් අහනවා තාත්තා මොන දරුවගේ නමටද පසු අයිතිය ලියල තියෙන්නෙ කියලා. ඒත් ඉඩම්ලාභීන් මේක ඉතාම රහසිගතවයි කරන්නේ. ඒ නිසා අපි ඒ තොරතුර ලබා දෙන්නෙ නැහැ. තවත් ඉල්ලීමක් ඉදිරිපත් වුණා අපේ බල ප්‍රදේශයේ පාසල්වල, දහම්පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ සංඛ්‍යාව ජාතීන් අනුව කොපමණද කියලා. පොදුවේ ඒ තොරතුරු දෙන්න පුළුවන් වුණත් ජාතීන් අනුව ඉල්ලන්නෙ ඇයි කියන කාරණය ගැන අපි කල්පනා කළා. අවශ්‍ය තොරතුරු ලබා දීමට පැමිණෙන ලෙස ඉල්ලුම්කරුට දැනුම් දුන්නත් ඔහු ආවෙ නැහැ. ඒ වගේම ඉඩම් සම්බන්ධ නඩුවලදී නීතිඥවරුන් විසින් ප්‍රශ්නාවලියක ස්වරූපයෙන් තොරතුරු විමසන්න ගත්තා, වගඋත්තරකරුවන්ගෙන් වගේ ඔව්ද නැද්ද යනාදී වශයෙන් පිළිතුරු අපේක්ෂාවෙන්. අපි හැකි තාක් ඒ ප්‍රශ්නවලට අදාළ ලේඛනගත තොරතුරුවල ඡායා පිටපත් ලබා දුන්නත් මත පළ කිරීම ප්‍රතික්ෂේප කළා.  අපි ජනතාවට නිතර අවශ්‍ය වන තොරතුරු වෙබ් අඩවියෙ පළ කරනවා. ඒ වගේම අපි තොරතුරු කව්ළුවක් ස්ථාපිත කළා. මහජනයාට සමීප සේවාවක් සැපයීමට ඒ මගින් හැකි වෙනවා. ජනතාව වෙනුවෙන් මෙහෙම පනතක් තිබීම ඇත්තටම සතුටට කරුණක්.” ඇය පැවසුවාය.

අත්දැකීම් බෙදා ගැනීම වැදගත් ය.

වෙනදා නිහඬතාවෙන් ඉවසන ඇතැම් ගැටලු නිරාකරණය කර ගැනීමට තොරතුරු පනත නිසා ජනතාව තුළ පෙළඹවීමක් ඇති වී තිබෙන බව අම්පාර විදුලි බල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයාගේ අදහස් දැක්වීමේදී හෙළි විය. ඔහු පැවසුවේ විදුලි බිල්පත් සැකසීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රශ්න රැසක් ඉදිරිපත් වූ අතර ඒ සියල්ලටම පිළිතුරු සැපයූ බවයි. “අදාළ තොරතුරු අපි වෙබ් අඩවියේත් පළ කරනවා.” ඔහු සඳහන් කළේය.

ඇතැම් විට මහජනතාව තොරතුරු පනත යටතේ නොව සාමාන්‍යයෙන් තොරතුරු ඉල්ලා සිටින අතර එම ඉල්ලීම්ද ඉටු කරන බව දමන කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසුවේය. “ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව, ඒ වගේම ගුරු හිඟය සම්බන්ධයෙන් මෙවැනි විමසීම් කර තිබුණා. අපි ඒවාට පිළිතුරු දුන්නා.”

සමන්තුරේ ප්‍රා. ලේ. කාර්යාලයට 2019 වසරේදී තොරතුරු ඉල්ලීම් 36ක් ලැබී තිබුණු අතර 2020 වසරේ මේ දක්වා ඉල්ලීම් 130ක් ඉදිරිපත් වී තිබේ. සමහර ප්‍රශ්නවලට දැනටමත් පිළිතුරු දී ඇති අතර ඉතිරි ඉල්ලීම්වලටද පිළිතුරු ලබා දෙන බව එහි තොරතුරු නිලධාරීවරයා පැවසුවේය. ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තොරතුරු නිලධාරිවරයා සඳහන් කළේ පසුගිය කාලය තුළ තොරතුරු අයදුම්පත් 50ක් පමණ ඉදිරිපත් වූ අතර බාහිර පුද්ගලයන්ගෙන් මෙන්ම අභ්‍යන්තර කාර්යමණ්ඩලයෙන්ද තොරතුරු ඉල්ලීම් ලැබුණු බවයි. බොහෝ ඉල්ලීම් බඳවාගැනීම් සම්බන්ධයෙන් බවද හෙතෙම සඳහන් කළේය.

අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයට තොරතුරු ඉල්ලීම් ලැබී තිබුණේ 5ක් තරම් සුළු ප්‍රමාණයකි. එහෙත් ඉන් එක් ප්‍රශ්නයක් සුවිශේෂී වෙයි. පසුගිය වසරේ ඩී.එස්. සේනානායක ජලාශයේ ජල මට්ටම බෙහෙවින් පහළ බැස තිබියදී, එක් පුරවැසියකු තොරතුරු ඉල්ලුම්පතක් මගින් විමසා ඇත්තේ තිබෙන ජල ප්‍රමාණය කොපමණද එය කොපමණ කාලයක් සඳහා පානීය ජලය සැපයීමට ප්‍රමාණවත්ද යන්නයි. එමෙන්ම කුඹුරු වැඩ සඳහා ජලය නිකුත් කළ හැකිද නොහැකිද යන වගද ඉන් විමසා ඇත. අදාළ තොරතුරු ලබා දුන් බව එහි තොරතුරු නිලධාරීවරිය පැවසුවාය. මෙබඳු තොරතුරුවලින් හෙළි වන්නේ, ප්‍රමාණාත්මකව අඩු සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් වුවද තමන්ට බලපාන වැදගත් කරුණු පිළිබඳව තොරතුරු පනත උපයෝගී කරගෙන තොරතුරු දැනගැනීමට ජනතාව තුළ ඇති වී තිබෙන නැඹුරුවයි.

ආයතනික ගැටලු

ඇතැම් ආයතනවලට තොරතුරු නිලධාරීන් නොමැති අවස්ථා මෙන්ම අනවබෝධය හෝ වෙනත් හේතු නිසා ඇතැම් ආයතන ඇතැම් ආයතන තොරතුරු පනත සම්බන්ධයෙන් උදාසීන පිළිවෙතක් අනුගමනය කරන අවස්ථාද ඇති බව නිරීක්ෂණය විය. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ තොරතුරු නිලධාරියකු පත් කර නොමැති බැවින් තොරතුරු දීමේ ක්‍රියාවලිය නිසි ලෙස කළ නොහැකි බව එම ආයතනය නියෝජනය කළ නිලධාරිනිය පැවසුවාය. එහෙත් තොරතුරු කොමිසමේ සාමාජික නීතිඥ පුංචිහේවා මහතා පෙන්වා දුන්නේ තොරතුරු නිලධාරීන් පත් කිරීම අදාළ ආයතනයේ ප්‍රධානියාගේ වගකීම වන අතර එසේ කර නොමැති නම් තොරතුරු පනතට අදාළ වගකීම් ආයතන ප්‍රධානියා වෙත පැවරෙන බවයි. පෙරදින පැවති මහජන හමුවකදී ඉදිරිපත් වූ කරුණක් උපුටා දක්වමින්, වැඩමුළුව මෙහෙයවූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් ලයනල් ගුරුගේ මහතා ප්‍රකාශ කළේ අම්පාර තැපැල් ස්ථානාධිපති කාර්යාලයේද තොරතුරු නිලධාරියකු නොමැති බවයි. ඇතැම් පොලිස් ස්ථානවලද තොරතුරු නිලධාරියකු නැතැයි පැවසූ අවස්ථා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ඇතැම් ආයතන අතර පවතින ගැටලුකාරී ස්වභාවය තොරතුරු පනත ක්‍රියාත්මක වීමේදී බාධා ඇති කළ හැකි බවට දුලබ නිදසුනක්ද මේ කතාබහේදී හෙළි විය. එනම් කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙමළ හා මුස්ලිම් යනුවෙන් ඒකක දෙකකට වෙන්ව තිබීමත් ඒ දෙක අතර පවතින සබඳතා අයහපත් වීමත් හේතුවෙන් ජනතාවට ඇති කරන අපහසුතාය. මේ පිළිබඳව පාර්ශ්ව දෙකම එකිනෙකාට එරෙහිව චෝදනා කර ගන්නා ස්භාවයක් පවතී.

ඉල්ලීම් සම්බන්ධ ගැටලු

තොරතුරු පනත තවමත් නිලධාරීන්ට මෙන්ම මහජනතාවටත් ආගන්තුකය. එම නිසා දෙපාර්ශ්වයටම ගැටලු මතු වන අවස්ථා තිබේ. මේ ගැටලු ගැන විවෘතව සාකච්ඡා කිරීම පනතේ අරමුණු සාධනය සඳහා අත්‍යවශ්‍ය කරුණකි. තොරතුරු ඉල්ලීමේ හා ලබා දීමේ ක්‍රියාවලින එදිරිවාදී ස්වභාවයකින් නොව සුහදශීලී හා අන්‍යෝන්‍ය ගෞරවය ආරක්ෂා වන ආකාරයට සිදු විය යුතුය. ඒ පිළිබඳව වටහා ගැනීමට උපකාරී වන අත්දැකීම් රැසක් අසන්නට ලැබිණි.

අට්ටාලච්චේන ගොවිජන සේවා මධ්‍යස්ථානයට මෙතෙක් තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කර ඇත්තේ එකම පුද්ගලයෙකි. ඔහු තොරතුරු ඉල්ලීම් 10කට වඩා යොමු කර ඇති අතර ඒවාට පිළිතුරු දුන් බව තොරතුරු නිලධාරියා පවසයි. නමුත් ඉඩම් ගොඩකිරීමකට අදාළව ලැබුණු පිළිතුරකින් සෑහීමකට පත් නොවූ ඔහු එම ප්‍රශ්නය විවිධ ස්වරූපවලින් නැවත නැවත යොමුකර තිබේ. අවසානයේ මෙම ගැටලුව තොරතුරු කොමිසම හමුවටද ගොස් ඇති අතර ආයතනය සතුව තිබෙන තොරතුරු ලබා දී ඇති බව එහිදී සනාථ වී ඇත. “ඒත් ඒ පුද්ගලයා තවමත් දිගටම ඒ ප්‍රශ්නයම අපට යොමු කරනවා.” තොරතුරු නිලධාරියා පැවසුවේය.

ඉරකාමම් ප්‍රා.ලේ. කාර්යාලයේ තොරතුරු නිලධාරිනිය පැවසුවේ තොරතුරු ඉල්ලීම් 31කින් 30කට පිළිතුරු සපයා ඇති අතර ඉඩම් සම්බන්ධ කාරණයකදී තමන්ට අසාධාරණයක් සිදු වී යැයි විශ්වාස කරන පුද්ගලයෙක්, නිලධාරීන් අපහසුවට පත් කිරීමේ අරමුණින් දිගින් දිගටම ප්‍රශ්න යොමු කරමින් සිටින බවයි. “උදාහරණයක් හැටියට මේ කාර්යාලයේ නිලධාරීන්ගේ කෑම වෙලාව කීයෙ ඉඳල කීයටද? වගේ කෙළවරක් නැති ප්‍රශ්න අහනවා. අපි වැරදිකාරයො කියන ආකල්පයෙන් මේවා අහන්නෙ.” නවිදන්වේලි ප්‍රා. ලේ කාර්යාලයේ තොරතුරු නිලධාරීවරයා පැවසුවේ වාචිකව ප්‍රශ්න යොමු කිරීමට තිබෙන අවස්ථාව භාවිත කරමින් එක් පුද්ගලයෙක්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරම්භ කළ දා සිට මේ දක්වා ප්‍රා. ලේකම්වරුන් කව්ද? ඔවුන්ගේ වත්කම් මොනවාද යන තොරතුරු ඉල්ලා සිටි බවයි. “අපි එතුමාට කිව්වා ආර්.ටී.අයි. 1 අයදුම්පතක් මගින් ඒ ප්‍රශ්නය යොමු කරන්න කියලා. නමුත් නැවත ආවෙ නැහැ.” ඔහු පැවසුවේය.

තොරතුරු ඉල්ලා රැගෙන නොයෑම

නිලධාරීන් විශාල පිරිසකගේ අදහස් දැක්වීම්වලදී විශේෂයෙන් සඳහන් කෙරුණු කාරණයක් නම්, තොරතුරු ඉල්ලා, ඒවා සූදානම් බව දැනුම් දුන් පසු එම තොරතුරු රැගෙන නොයෑමේ ගැටලුවයි. එම අවස්ථාවන් සියල්ලම පාහේ සරල තොරතුරු ඉල්ලීම් නොව බොහෝ වෙහෙස මහන්සි වී සූදානම් කළ යුතු, ලේඛන විශාල සංඛ්‍යාවක පිටපත් අන්තර්ගතවන තොරතුරු ඉල්ලීම්ය. තොරතුරු සියල්ල සූදානම් කොට මුදල් ගෙවා ඒවා රැගෙන යන ලෙස දැනුම් දුන් විට ඉල්ලුම්කරුවන් නොපැමිණ මඟහැර සිටින බවද ඔවුහු පැවසූහ. “නාමල් ඔය ප්‍රාදේශීය සභාවට වාහන 15ක් තියනවා. එක් මහත්මයෙක් ඒ සියලුම වාහනවල පසුගිය වසර 5ක ධාවන සටහන් ඉල්ලා සිටියා. ඒ සියල්ල පිටපත් කරන්න විශාල කාලයක් හා ශ්‍රමයක් අවශ්‍යයි. ඒ වගේම ඉල්ලුම්කරුට පිටපත් සඳහා ලොකු වියදමක් යනවා. ඒත් ඔහු ඉල්ලා සිටි නිසා අපි තොරතුරු සූදානම් කළා. නමුත් රැගෙන යන්න ආවෙ නැහැ.” නාමල් ඔය ප්‍රාදේශීය සභාවේ තොරතුරු නිලධාරීවරයා පැවසීය.

අට්ටාලච්චේන ගොවිජන සේවා මධ්‍යස්ථානයටද මෙබඳුම අත්දැකීමක් තිබේ. එක් අයදුම්කරුවකු 2015 සිට මේ දක්වා පොහොර සහනාධාරය ලැබූවන්ගේ නාම ලේඛන ඉල්ලා ඇති අතර එම ලේඛන පිටපත් සංඛ්‍යාව 1000කට අධිකය. තොරතුරු සූදානම් කර මුදල් ගෙවා රැගෙන යන ලෙස දැනුම් දී ඇතත් අයදුම්කරු පැමිණ නැත. අම්පාර නගර සභාවේ ලේකම්වරියද පැවසුවේ වාහන රැසකට අදාළ ධාවන සටහන් ඉල්ලා ඉදිරිපත් කළ ඉල්ලීමකට අදාළව ලේඛනාගාරය පරීක්ෂා කොට තොරතුරු පිටපත් කොට සත්‍ය පිටපත් බවට සනාථ කර සූදානම් කර තබා ඇතත් ඉල්ලුම්කරු නොපැමිණෙන බවයි. අට්ටාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කෙරුණුු මෙබඳු ඉල්ලීමකට අදාළව පිටු 5000ක පමණ තොරතුරු ගොනුවක් සකස් කර, මුදල් ගෙවා ඒවා රැගෙන යන ලෙස අයදුම්කරුට දැනුම් දී ඇතත් තවමත් නොපැමිණි බව තොරතුරු නිලධාරීවරයා පැවසුවේය. තොරතුරු නිලධාරීන් අධෛර්යයට පත් කරන මෙබඳු කරුණු ගැන තොරතුරු කොමිසමේ අවධානයට යොමු විය යුතුය.

නිලධාරීන්ගේ යෝජනා

තොරතුරු පනතේ ප්‍රායෝගික අත්දැකීම් ආශ්‍රයෙන් විවිධ අදහස් හා යෝජනාද නිලධාරීන් වෙතින් ඉදිරිපත් විය. සාමාන්‍යයෙන් යම් ඉල්ලීමක් ප්‍රතික්ෂේප වූ අවස්ථාවකදී නැවතත් එම ආයතනයේම නම් කළ නිලධාරියා වෙත අභියාචනා කිරීම එතරම් අර්ථයක් නැති බවත්, නම් කළ නිලධාරියාටද දීමට සිදු වන්නේ එම පිළිතුරම බවත් ඇතැම් නිලධාරීන්ගෙන් ඉදිරිපත් වූ අදහසකි. එමෙන්ම කොමිසමට අභියාචනා කරනු ලැබූ අවස්ථාවලදී නිලධාරීන්ට විශාල මුදලක් හා කාලයක් වැය කර කොළඹ පැමිණීමට සිදු වන බැවින්, ඇතැම් විට දුරකථන මාර්ගයෙන් උපදෙස් දිය හැකි නම් එම ගැටලු සරලව විසඳාගැනීමට හැකි බවද යෝජනා කෙරිණි. එවැනි පියවරක් සුදුසු දැයි කොමිසම සමඟ සාකච්ඡා කළ හැකි බව පුංචිහේවා මහතාගේ ප්‍රතිචාරය විය. ඇතැම් තොරතුරු ඉල්ලුම්කරුවන්ට අවශ්‍ය වන්නේ කුමන හේතුවක් මතද යන කාරණය බොහෝ නිලධාරීන්ගේ විමසිල්ලට භාජනය වූ කරුණකි. එහෙත් පනතට අනුව එවැන්නක් විමසිය නොහැකි බවද එය පුරවැසියන්ගේ අයිතිය තහවුරු කිරීම සඳහා පනතට ඇතුළත් කළ ශක්තිමත් අංගයක් බවද පෙන්වා දෙනු ලැබිණි.

තොරතුරු පනත සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මෙබඳු වැඩමුළු හා සංවාද ඔස්සේ ලැබෙන දැනුම ඉතා වැදගත් බව වැඩමුළුවට සහභාගී වූ තොරතුරු නිලධාරීහු පැවසූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *