දළඳා පෙරහැර නිමයි. සංදේශය ජනපතිට

අතීත රජ දරුවන් ගත් මඟ ගනිමින් දළදා වහන්සේ වෙනුවෙන් කළ හැකි ගරු බුහුමන් ඉහළින්ම සිදු කිරීමට රාජ්‍ය  නායකයා ලෙස තමන් බැඳී සිටින බවත්  උන්වහන්සේ වැඩ සිටින භූමියේ නිදහස,සාධාරණත්ව හා  සාමකාමී බව සුරැකීමට අතීත සම්ප්‍රදායන් ගරුකරමින් නිරන්තරව කැපවන  බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රජය ගෙවී ගිය කාලපරිච්ජේදයේ ගත් තීන්දු තීරණ තුළින් එම දැක්ම  පෙන්වා තිබෙන බවත්  රට සමෘද්ධිමත්කර යහපත් පුරවැසියෙක් නිර්මාණය කිරීම ඔස්සේ ජාතික හා ආගමික සහජීවනය ඇති කිරීමෙන්  උතුම් දළදා හාමුදුරුවෝ ජීවමානව ආරක්ෂාවන බව තම විශ්වාසය බවත් ඒ මහතා කීය.

මහනුවර ඇසළ පෙරහර සමාප්ති උත්සවයේදී ජනපතිවරයා මේබව ප්‍රකාශ කළේය.ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහ දේවාළ හා පිටිසර දේවාළ බස්නායක නිළමේවරු මහනුවර ජනපති මැදුරට ඊයේ (04) පස්වරුවේ පැමිණ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරුකරමින් පවත්වා අවසන් කළ බව දැක්වෙන සංදේශය ජනපතිවරයාට බාර දුන්නේය.

දළදා හාමුදුරුවෝ වෙනුවෙන් පැවරී  තිබෙන ඓතිහාසික  වගකීම් එලෙසින්ම ඉටුකරන්නට තමන්  සුදානම් බවත් අනාගත පරපුරට රටක් ඉතිරි වන්නේ අපේ අභිමානය හා උරුමය සුරැකුනොත් පමණක් බවත් ඒ මහතා කීය.අනතුරුව පැවැති පෙරහර සමාප්ති උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

දළදා පෙරහර මංගල්‍යය පුරාණ චාරිත්‍ර සහ පිළිවෙත් අනුව නියමාකාරයෙන් පවත්වා අවසන් කළබව සම්ප්‍රදායානුකූලව සැලකිරීමට පැමිණි දියවඩන නිළමේතුමන් ඇතුළු සතර දේවාල සහ අනෙකුත් දේවාල වල බස්නායක නිළමේවරුන් මේ රටේ සමස්ත බෞද්ධ ජනතාව වෙනුවෙන් සාදරයෙන් පිළිගන්නවා.උතුම් දළදා හාමුදුරුවන්ට කළ යුතු පුදසත්කාර හා ගෞරවය පුරාණ චාරිත්‍රවලට අනුව ඉටු කරන්න අපි බැඳී ඉන්නවා.මෙවර වාර්ෂික දළදා පෙරහර මංගල්‍යය සෞඛ්‍ය නියමයන් ආරක්ෂා කරගනිමින් ඉතා සාර්ථකව පවත්වන්න හැකිවීම පිළිබඳව මා සතුටු වෙනවා.මේ වෙනුවෙන් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමිපාණන් වහන්සේගෙන් ද අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරාකගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමිපාණන් වහන්සේගෙන්ද  අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහ සංඝරත්නයෙන්ද ලැබුණු මගපෙන්වීම හා ආශිර්වාදය පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

ඓතිහාසිකව අපිට පැවරී ඇති වගකීමක් ඉටු කරපු සතුට ඔබ අපි හැමෝටම අද දැනෙනවා.දළදා හාමුදුරුවෝ අපේ මුදුන් මල්කඩයි.අපි ජීවමාන බුදුන් වහන්සේට දක්වන ගෞරවය ඒ ආකාරයෙන්ම දළදා හාමුදුරුවෝ වෙනුවෙන් පුද කරනවා. එක්දහස් හත්සිය දහවන දළදා පෙරහර මංගල්‍යය පවත්වලා අපි ඒ අපේ අතීත සම්ප්‍රදාය රැක ගනිමින් ඉදිරියට ගෙන ආවා.පෙර රජවරු ගත් මඟ අපි ආරක්ෂා කළා.දළදා හාමුදුරුවන් අපේ රටට වැඩම කළදා පටන් අපි උන්වහන්සේ වෙනුවෙන් ජාතියක් ලෙස කැපවුණා. විවිධ යුගවල දළදා හාමුදුරුවෝ වෙනුවෙන් කළ යුතු පුද සත්කාරයන්ට අවහිරකම් ආවත් අපි දළදා හාමුදුරුවන් රැකගත් ජාතියක්.විවිධ ආක්‍රමණ,පරසතුරු උවදුරු තිබුණත් අපේ මහා සංඝරත්නය ජීවමාන බුදුන්ට කරන ගෞරවය උන්වහන්සේ වෙනුවෙන් ඉටු කළ ඉතිහාසයක් අපිට තියෙනවා.ඒ ඉතිහාසය කියවන විට අභිමානයක් වගේම අප්‍රමාණ ශ්‍රද්ධාවක්, අපේකමක් දළදා හාමුදුරුවෝ සම්බන්ධව අප තුළ ඇතිවෙනවා.දළදා හාමුදුරුවෝ ආරක්ෂා කළාට වඩා උන්වහන්සේගේ ආශිර්වාදයෙන් අපේ මාතෘ භූමියත් රටේ ජනතාවත් ආරක්ෂා වූ බව අපි හැමෝම පිළිගන්නවා.

දළදා හාමුදුරුවෝ ශ්‍රී ලාංකේය භූමියේ අපේ රටේ තියෙන උතුම්ම වස්තුව හැටියටයි අපි සලකන්නේ.රටට ජාතියට කුමක් හෝ උපද්‍රවයක් එනවිට අපිට මතක් වෙන්නේ දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය.අතීතයේ පටන් රටක් හැටියට, ජාතියක් හැටියට අපි අනතුරේ වැටුණු අවස්ථාවල වගේම අනතුරක් පේනකොට දළදා හාමුදුරුවෝ සිහිපත් කිරීම අපේ පුරුද්ද බවට පත්වෙලා තියෙනවා.දළදා හාමුදුරුවන්ගේ පිහිට වසර දෙදහසකට වඩා වැඩි කාලයක් මේ රටේ ජනතාවගේ ජීවමාන අත්දැකීමක්.කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයේ සිට අපේ රටේ ජනතාව ශ්‍රද්ධාවෙන් දළදා හාමුදුරුවන් දෙසට එකතු කළ දෑත් අදටත් අඛණ්ඩව දකිනවා.ඒ සාධු නාදය දිනෙන් දින ජාතියේ උන්නතිය වෙනුවෙන් වැඩි වැඩියෙන් ඇසෙන්න පටන් ගන්නවා.

ඒ තමයි දළදා හාමුදුරුවන්ගේ ආශ්චර්ය.දළදා හාමුදුරුවෝ වෙනුවෙන් පෙරහර මංගල්‍ය පවත්වලා අපි පෙන්නුම් කරන්නේ ඒ සම්ප්‍රදාය,වගකීම වගේම උන්වහන්සේට ඇති අපේ ගෞරවයයි.

දළදා හාමුදුරුවන්ගේ වැඩම වීම අපේ රට ලබපු භාග්‍යයක්.ලෝකයේ බෞද්ධයින් ජීවත්වන කිසිම රටකට ඒ වාසනා උරුමය නැහැ.ගුහසීව රජතුමා එදා දළදා වහන්සේ භාරව සිටි දන්ත කුමාරයාට පැවසුවේ බුදුන් වහන්සේ කෙරෙහි සැදැහැති බෞද්ධයන් ජීවත්වන සිහළ දේශයට දළදා වහන්සේ වැඩම වන්න කියලයි.දන්ත කුමරුත් හේමමාලා කුමරියත් අප්‍රමාණ දුක් විඳිමින් දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීමේ සංසිද්ධිය අපේ හදවත්වලට කුඩා කාලයේ පටන් සමීපයි.

මේඝවර්ණ රජතුමා පිරිවර සමඟ ගොස් දළදා වහන්සේ භාරගත් කථාව වගේම රජුගේ සැකය දුරු කරන්න දළදා හාමුදුරුවෝ අහසට නැගී පෙළහර පෑ පුවත ඉතිහාසයේ සඳහන් වෙනවා.එදා පටන් අපේ අතීත රජවරු තමන්ගේ දිවි දෙවැනි කොට දළදා හාමුදුරුවෝ රැක ගත්තා.දළදා වහන්සේ මේ රටේ රාජ්‍යත්වයට සමකළා.උන්වහන්සේගේ අයිතිය සතු කෙනා රජු ලෙස සැලකීමට මේ රටේ ජනතාව පෙළගැසුනා.කාලිංග මාඝ වැනි යුගවල පරසතුරු උවදුරු වලින් වගේම පරංගි, ඉංග්‍රීසි ආක්‍රමණ යුගවලත් දළදා හාමුදුරුවෝ වෙනුවෙන් දුක් ගැහැට විඳින්නට මේ රටේ ජනතාව දිවි හිමියෙන් කැපවුණා.දුර්භික්ෂ ඇතිවූ යුගවල පවා දළදා හාමුදුරුවෝ වෙනුවෙන් පවත්වාගෙන ආ පුදපූජා චාරිත්‍ර භික්ෂුන්වහන්සේලා මගහැරියේ නැහැ.එක්දහස් හත්සිය දහවැනි දළදා පෙරහර මංගල්‍යය මේ රටේ ඉතිහාසයේ ලියැවෙන්නේ පැරණි අපේ ඒ උතුම් කැපකිරීම් සමඟයි.කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නත් දළදා හාමුදුරුවෝ වෙනුවෙන් කරන පුද සත්කාර අපිට මඟහරින්න බැහැ.ඒක මුළුමහත් ජාතියේම අපේක්ෂාවක් වගේම සමස්ත බෞද්ධ ලෝකයේ ප්‍රාර්ථනාවක්.දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයට සුදුසු රටක් අපෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා.විනය ගරුක රටක් ගොඩනැගීමෙන් පමණයි අපිට ඒ ජනතා අපේක්ෂාව මුදුන්පත් කරන්න පුළුවන් වෙන්නේ.

සෞභාග්‍යයේ දැක්මේ දස වැදෑරුම් වැඩපිළිවෙළේදී ගුණගරුක සමාජයක් ගොඩනගන්න අපි ජනතාවට පොරොන්දු වුණේ ඒ නිසයි.සැමට සාධාරණය ඉටුකරන්න පුළුවන් සමාජයක් අපට අවශ්‍යයි.අපේ රටෙන් නිවුණු,සැනසුණු සමාජයක් දැකීමයි ඔබ අප සැමගේ අධිෂ්ඨානය.ඒ සඳහා මඟ පෙන්වීමට වගේම ආශිර්වාදය ලබාගැනීමට මම බෞද්ධ උපදේශක සභාව පත් කළා.අපේ මහානායක,අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය සෑම මසකම තුන්වන සිකුරාදා දින ජනාධිපති කාර්යාලයට වැඩමවලා මේ රට සුවපත් කරන්න අවශ්‍ය අනුශාසනා අපට ලබාදෙනවා.උන්වහන්සේලාගේ අනුශාසනා අනුව මේ රට ගොඩනගන්න,මේ රටේ උරුමය රකින්න මම කැපවී සිටිනවා.භික්ෂූන් වහන්සේලාගේ කාර්යභාර්යයට අතීත සම්ප්‍රදායට ඉඩකඩ සැලසීම මගේ රජයේ වගකීමක්.පෙරහර අපේ අගනාම සංස්කෘතික මංගල්‍යයක්.දේශීය කලාකරුවන්ගේ දක්ෂතා වගේම පරම්පාරවෙන් පරම්පරාවට උරුම වන කලා අංග පුරාතනයේ පටන් අපි මේ තුළින් රැකගෙන තියෙනවා.මේ උරුමය රැකගැනීමට වගේම ප්‍රවර්ධනය කිරීමට රජය කටයුතු කරනවා.

පසුගිය කාලවල වෙහෙර විහාරස්ථානවල,දේවාලවල පෙරහර මංගල්‍යයන්ට  හීලෑ අලි ඇතුන් ලබාදීමත් ගැටලු සහගත වුණා.නැවත එවැනි තත්ත්වයක් උදාවන්නේ නැහැ.හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් රජය කටයුතු කරන්නේ අපේ සංස්කෘතියේ, අපේ උරුමයේ කොටසක් හැටියට සලකලයි.අපි නැගෙනහිර පුරාවස්තු රැකගැනීමට භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම මත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවූවා.උන්වහන්සේලා වදාරනවා වගේම මේ රටේ පුරාවස්තු වලින් 99% ක්ම  බෞද්ධ පුරාවස්තුයි.ඒවාහි පුරාවිද්‍යාත්මක වටිනාකම වගේම ආගමික අගනාකමටත් ඉඩකඩ සැලසෙන්න ඕනෑ.පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීමට රජය කටයුතු කරන්නේ මේ රටට ගැලපෙන පනතක් සම්මත කරගැනීමටයි. ඒ විතරක් නොවෙයි මේ රට දීර්ඝ කාලයක් බලාගෙන සිටි,විද්වතුන්ගේ ඉල්ලීමක් වුණු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් දැනටමත් කෙටුම්පත් කර අවසන්. කෘෂිකර්මය,සෞඛ්‍යය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ ජාතික ප්‍රතිපත්ති ඉදිරියේදී සම්පාදනය වනවිට බෞද්ධ උපදේශක සභාවේ අනුශාසනා අපි ඉවහල් කරගන්නවා.අනාගතයේ මේ රට භාරගන්න ඕනෑම කෙනෙකුට ඒ ප්‍රතිපත්ති අනුව රට ඉදිරියට ගන්න පුළුවන්.රජයන්ට අනුව වෙනස් වන සමහර ප්‍රතිපත්ති නිසා අපේ රටට එල්ල වුණු පසුබෑම අපි නිවැරදිව අවබෝධ කරගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ,මහනුවර පුරපති කේසර සේනානායක,ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර,මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න,පෙරහර භාරයේ සභාපති බණ්ඩාර සුබසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *