දිනක වැටුප කපනවාට විරුද්ධයි – වරාය පොදු සේවක සමිතිය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මසකට අධික කාලයක් රට තුළ පවතින හදිසි තත්වය යටතේ කොළඹ වරායේ සියලූ මෙහෙයුම් කටයුතු අඩපණවීමට ඉඩ නොදී වරායේ සේවකයන් කටයුතු කර තිබියදී සිය දිනක වැටුප කපා ගැනීමට චක්‍රලේඛ නිකුත් කිරීම අසාධාරණ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පවසයි. එහි ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ පවසන්නේ වරාය අධිකාරියේ සභාපතිවරයා, අංක වඅධි/ප‍්‍ර01/විවිධ/2020 ‘‘කොරෝනා වසංගතය හේතුවෙන් අසීරුතාවට පත් ජනතාවට සහන සැලසීම’’ නම් චක‍්‍රලේඛය, 2020. 04. 17 දින අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂතුමා මගින් සේවකයන් වෙත ඉදිරිපත්කොට දිනක වැටුපක් ලබාගැනීමට කටයුතුකොට ඇති බවයි.

“මෙවන් ව්‍යසන අවස්ථාවකදී වරායේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා වරාය සේවකයා සූදානම්ව කටයුතු කරනු ලබයි. ඒ සඳහා දිරි දීමනාවක් දීම වෙනුවට දිනක වැටුප් නැවත අයකර ගැනීම කාලෝචිත ක‍්‍රියාවක් නොවන බවත්, එය ඔවුන්ගේ රැකියා තෘප්තිමත් භාවයට බාධාවක් වන බව අපි විශ්වාස කරමු” යැයිද සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පවසයි.
ව්‍යසන අවස්ථාවේ වරායේ, නාවික, ක‍්‍රියාකරවන, ආරක්‍ෂක සහ නඩත්තු අංශවල මැදිහත්වීම මත කොළඹ වරායේ පිහිටි පෞද්ගලික වරායවල පවා කටයුතු සාර්ථකව ඉටු කිරීමටද එමගින් රටතුළ අත්‍යවශ්‍ය සේවා කටයුතු බිඳ නොවැටී පවත්වා ගැනීමට හැකි වූ බවද ඔවුන් අවධාරණය කරයි. රටේ ජනතාවට සහන සැළසීම වෙනුවෙන් මේ වන විට විදෙස් රටවල්වලින් විශාල අධාර ප‍්‍රමාණයක් ලැබී ඇති අතර තවත් ආධාර ගලා එමින් පවතී. ලැබී ඇති මුදල් මගින් එම කටයුතු සම්පූර්ණ කරගැනීමට හැකියාව ඇති අතර, වරාය සේවකයන්ගෙන් දිනක වැටුපක් ඒ සඳහා ලබාගැනීමට ඉදිරිපත් කර ඇති චක්‍රලේඛයට අප එකඟ නොවන බවත්, කාර්යක්‍ෂමව මේ අවස්ථාවේ කටයුතු කරන වරාය සේවකයා ගැන සිතා මැයි මස එක්දින වැටුප් අය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලන බවත් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය වරාය සභාපතිවරයාට දන්වා ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *