දුම්හට්ටි, කැඳහැලිවලින් කොරෝනා මඩින්න බැහැ.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඇතමුන් ප්‍රචාරය කරන පරිදි දුම් ඇල්ලීමෙන් හෝ කැඳ බීමෙන් කොරෝනා වෛරස ව්‍යාප්තිය නවතාලිය නොහැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. අප වෙබ් අඩවිය කළ කරුණු සොයා බැලීමේදී බොහෝ වෛද්‍යවරුන් සඳහන් කළේ මෙවැනි ව්‍යසන අවස්ථාවක අනියම් වාසි අපේක්ෂා කරන ඇතමුන් සාවද්‍ය ප්‍රචාර පතුරුවා හරින බවයි. දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි බී.එම්.සී දසනායක පෙන්වා දෙන්නේ දුම් ඇල්ලීම යනුවෙන් ඇතැම්විට වරදවා වටහා ගෙන ඇත්තේ වාෂ්ප නැතහොත් හුමාලය ඇල්ලීම බවයි. එය දේශීය වෛද්‍යක්‍රමය තුළ මෙන්ම බටහිර වෛද්‍ය ක්‍රමය තුළද භාවිතා වෙන්නකි. එමඟින් සිදුවන්නේ ශ්වසන අපහසුතාවලදී පහසුව උදාකිරීම මිස කොරෝනා වැළඳීමෙන් ආරක්ෂාව ලබාදීම නොවේ. කෙසේවෙතත්, දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන කොත්තමල්ලි, වෙනිවැල්ගැට, ඉඟුරු යනාදියෙන් ප්‍රතිශක්තිය වර්ධනය වීම පිළිබඳ වන අදහස බැහැර නොකළ යුතු බවද එම කාරණය සහ කොරෝනා මඩින කැඳ, දුම් හට්ටි යනාදී ව්‍යාජ ප්‍රචාර වෙන්කොට හඳුනා ගත යුතු බවද වෛද්‍යවරු පෙන්වා දෙති. එසේම අප ආහාරයට ගන්නා නැවුම් එළවලු, පළතුරු, කිරි, බිත්තර, මාලු, ධාන්‍ය ආදියෙන්ද සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා මෙහෙයක් ඉටු වේ. ඒ සඳහා ප්‍රමාණවත් නින්ද පවා ඉවහල් වේ. එසේම දුම්පානයෙන් වැළකීමද ප්‍රතිශක්ති නියාමනයට බලපායි. එසේ තිබියදී දුම් ඇල්ලීම ගැන අතිශයෝක්ති සහගත ප්‍රචාරණයන් තුළින් අවැඩක් සිදුවිය හැකි බව වෛද්‍ය මතයයි. එසේම සමහර ශාඛ පත්‍රවලින් ඇතමුන්ට අසාත්මිකතා පවා ඇතිවිය හැකිය.

මේ සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍යවරියක වන නිසංසලා ප්‍රියදර්ශනී රූපගේ අදහස් දක්වමින් පැවසුවේ සාවද්‍ය භාවිතාවන් සැබෑ ආයුර්වේදයට ලැජ්ජාවක් හා අගතියක් බවයි. ඇය සඳහන් කළේ හෙළ සුවය නම් සංවිධානයක් රු.280ක මිලකට දුම් හට්ටිය නම් නිෂ්පාදනයක් අලෙවි කරමින් මේ ව්‍යසන අවස්ථාවේ ජාවාරමක නිරත වෙන බවයි. දෙවියන් එම වට්ටෝරුව ලබාදුන් බව පවසමින් එම පිරිස ජනතාව නොමඟ යවන බවද ඇය පවසයි. ඇයට අනුව,”ආයුර්වේදය බොහෝ ජ්වර හෙවත් උණ රෝග පිළිබඳ අවධානය යොමුකරන විද්‍යානුකූල ශාස්ත්‍රයකි. එය කැඳ හැළියකට හා දුම් හටිටියකට සීමා කරන්නේ විෂය නොදන්නා පිරිසකි. මේ ඊනියා දුම් හට්ටිවල සඳහන් ඇතැම් කැලෑ කොළවර්ග භාවිතා කිරීමට ජනයාට උපදෙස් දෙන්නේ ද්‍රව්‍ය ගුණ විඥානය නොදන්නා පිරිසකි” එමෙන්ම කිසිම වැදගැම්මකට නොමැති පදනම් විරහිත තත්ත්වයක් තුළ ඇතැම් ශාඛවර්ග භාවිතාකරමින් දුම් ඇල්ලීමට ජනයාට උපදෙස් දෙන්නේ පර්යේෂණාත්මක පසුබිමකින් තොරව වීම ඛේදනීය බවද ඇය පැවසුවාය.

පසුගියදා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කළ අන්තර්ජාල සාකච්ඡාවකදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ විය. සන්නිවේදන විශේෂඥයෙකු වන විජයානන්ද ජයවීර එහිදී පැවසුවේ මෙවැනි සාවද්‍ය සහගත හා අතිශයෝක්තියෙන් යුක්තව පතුරුවා හරින කරුණුවලින් ජනයා ගලවා ගැනීමේ වගකීම මාධ්‍යයටද පැවරෙන බවයි. ඔහුට අනුව බටහිර දැනුම හා පෙරදිග දැනුම යනුවෙන් ධාරාවන් දෙකක් නොමැති අතර කිසියම් දුම් ඇල්ලීමකින් හෝ කැඳ පානයකින් කොරෝනා මර්ධනය කළ හැකි නම් ඒ බව විද්‍යාත්මකව ඔප්පු කිරීම ඒවා ප්‍රචාරය කරන්නවුන්ගේ වගකීම බවයි.

හෙළ සුවය නම් සංවිධානයක් දුම් හට්ටි විකිණීමට පළ කළ දැන්වීමක්

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *