දෙපැයකින් පොහොසත් වූ යටිනුවර ආඬියාතැන්න!

-ජයසිරි ජයසේකර

මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර- ආඬියාතැන්න සොබාදහමේ දායාද බොහොමයකට උරුමකම් කියන සාමකාමී ගමක්. ඒත් රාජ්‍යයකින් පුරවැසියාට හිමි විය යුතු පහසුකම් අතින් නම් ඔවුන් එතරම් පොහොසත් නැහැ. රජයෙන් ඉටු කර ගත යුතු ප්‍රමුඛ අවශ්‍යතා රැසක් ඔවුන්ට තිබුණා. පානීය ජල ගැටලුවත් ඉඩම් හිමිකම පිළිබඳ ගැටලුවත් ඒ අතරින් ප්‍රධානයි.  ඒ වෙනුවෙන් දිගු කලක් මුළුල්ලේ දැරූ සමහර උත්සාහයන් සතුටුදායක අවසානයක් නොදැක අතරමග නතර වී තිබුණා. තමන්ගේ ඡන්දයෙන් පත් කර යැවූ දේශපාලනඥයන්ගෙනුත්, නිලධාරීන්ගෙනුත් ඒවාට විවිධ පිළිතුරු ලැබුණත් ඒවායේ ඇත්ත නැත්ත තහවුරු කර ගන්නා විදියක් ඔවුන් දැන සිටියේ නැහැ.

ඒත් පසුගිය දිනෙක ගමට ආ අමුත්තන් කණ්ඩායමක් එක්ක සංවාදයකට එක් වීමට ලැබුණු අවස්ථාව ඔවුන්ට අලුත් බලාපොරොත්තු ඇති කරවන්නක්. සංවාදයට නිමිති වුණේ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතයි. ගමේ ඇතැම් අය මේ ගැන ආරංචි මාත්‍රයෙන් දැන සිටියත් පැහැදිලි අවබෝධයක් තිබුණෙ නැහැ. ඒ වගේම ගමේ කිසිවෙක් ඒ පනත භාවිත කර තිබුණෙත් නැහැ. අමුත්තන් සමග කළ සංවාදය ඔස්සේ තොරතුරු පනත ගැන දැනුවත් වූ ඔවුන් සිය ගැටලු විසඳාගැනීමට එය භාවිතයට ගැනීමට දැන් සූදානම්. ගම්වැසියකු වන පියසේන මහතා ඒ ගැන මෙසේ පැවසුවා.

ජල ගැටලුව

“අපේ ගමට තියෙන ලොකුම ගැටලුව තමයි පානීය ජල සැපයුමක් නැති එක. 2019 අවුරුද්දෙ ප්‍රජා ජල ව්‍යාපෘතියක් ආරම්භ කළා. ගමේ පවුල් 395ක් එකතුවෙලා, එක පවුලකින් රුපියල් 3000ක් බැගින් එකතු කරලා, ඉඩමක් මිලදීගෙන තමයි මේ ව්‍යාපෘතිය පටන්ගත්තෙ. ආඬියාතැන්න රන් දිය දහර ප්‍රජා ජල ව්‍යාපෘතිය කියලා සමිතියක් ආරම්භ කළා. ජල මූලාශ්‍රයක් හොයාගත්තා, ඊට අවශ්‍ය ජල නළ හම්බවුණා, එතනින් එහාට බලධාරීන් පොරොන්දු වුණ විදියට ව්‍යාපෘතිය නිම කර දුන්නෙ නැහැ. අතින් මුදලුත් වියදම් කරගෙන මෙච්චර කල් අපි බලා හිටියා වතුර ලැබෙනකල්. ඒත් දැන් අපිට පුළුවන් තොරතුරු අයිතිය පාවිච්චි කරලා ඒ ගැන බලධාරීන්ගෙන් කෙළින්ම අහන්න”

තොරතුරු පනත ගැන දැනුවත් වීම තමන්ට අලුත් බලාපොරොත්තුවක් ඇති කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

“පුරවැසියන් හැටියට මේක අපට ලොකු ශක්තියක්. දුප්පත් ගම්වල මිනිස්සු හැටියට අපි හැමදාම  බොරු පොරොන්දුවලට රැවටුණා. දැන් තවදුරටත් රැවටෙන්න අවශ්‍ය නැහැ. ඒ ගැන හරිම සන්තෝසයි.”

ආඬියාතැන්නේ යූ.එච්. රිචඩ් මහතා තොරතුරු පනතක් ඇති බව දැන සිටියත් එයින් ලද හැකි ප්‍රයෝජන ගැන දැන සිටියේ නැහැ. මේ දැනුවත් වීම ඔස්සේ තමන් දිගු කාලයක සිට මුහුණපාන ගැටලු විසඳාගත හැකි බවට නැවුම් බලාපොරොත්තුවක් ඔහු තුළ දළු ලා තිබුණා. “එක්දාස් නවසිය හැත්තෑ පහේ ඉඳල අපි මෙහේ ඉන්නෙ. ඒත් තවම සමහර අයට ඔප්පු නැහැ. ළමයින්ට සෙල්ලම් කරන්න ක්‍රීඩා පිට්ටනියක් නැහැ, රැස්වීමක් තියන්න ප්‍රජා ශාලාවක් නැහැ. මරණයක් වුණාම හැතැක්ම ගණනක් ගෙනියන්න ඕන- ගමට සුසාන භූමියක් නැහැ. දැන් අපිට පුළුවන් මේවා ගැන අහන්න. අතරමග නතරවෙලා තියන වැඩ ගැන තොරතුරු ඉල්ලන්න.”

ඉඩම් ඔප්පු

“ගමේ අයගෙ ඉඩම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එල්.ආර්.සී. ඉඩම්. 2018දි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තය අපේ ගමට ආවා. ඒ එන්න කලින් අපට ඔප්පු දෙන්න කටයුතු සූදානම් කෙරුණා. 174දෙනෙකුට ඔප්පු දෙන්න නියමිතව තිබුණත් 22දෙනෙකුට විතරයි ලැබුණේ. මේ ගැන ඇහුවාම බලධාරීන් කියන්නේ ඒව සකස් වෙමින් තියනවා, තවම කොළඹින් ලැබුණෙ නෑ කියලා. ඉතින් මෙතෙක් දවස් අපි කියන එකක් විශ්වාස කරගෙන හිටියා. දැන් අපි බලාපොරොත්තු වෙනවා තොරතුරු පනත යටතේ ඒ ගැන අහන්න.”  එහෙම කිව්වේ ඉඩම් ඔප්පු ලබාගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ප්‍රජා නායකයෙක්.

යූ.එච්. විමලසූරිය මහතා ආඬියාතැන්නේදී අපට හමුවුණු තවත් වැඩිහිටියෙක්. තොරතුරු පනතේ වැදගත්කම ගැන තමන් ලැබූ අවබෝධය, තමන්ගේම වචනවලින් ඔහු කදිමට විස්තර කළා.

“මීට කලින් නම් මේ වගේ දෙයක් දැන හිටියෙ නැහැ. අද තමයි දැනගත්තේ ගම්වල ඉන්න අහිංසක නැතිබැරි වාගෙ මිනිස්සුන්ටත් නීතියක් කියලා දෙයක්, තොරතුරු හොයාගන්න අයිතිවාසිකමක් තියෙනවා කියලා.”

මීට කලින් මේ අයිතිවාසිකම ගැන ගැන දැන සිටියානම් එය පාවිච්චි කළ හැකිව තිබුණු අවස්ථාවක් ගැන ඔහු සිහිපත් කළේ කණගාටුවෙන්.

කලින් දැන සිටියා නම්..

“රුපියල් තුන්කෝටි හැටලක්ෂ ගාණක් සල්ලි පාස්වෙලා තමයි මේ පාර හැදුවෙ. ඒක ප්‍රමිතියට කෙරෙන්නෙ නෑ කියලා අපි මුල පටන්ම දැක්කා. අපි මේ බව ඒ මහත්තුරුත් එක්ක කතා කළාම අපට ලැබුණු ප්‍රතිචාරෙ තමයි, අපි කරන හැටියට කරන්නම්, හොඳ නැත්නම් අපි මේක නවත්තල දාලා යනව කියන එක. ඒ ගොල්ලො ආණ්ඩුවේ ලොකු නිලධාරි. අපි පොඩි මිනිස්සු. ඉතින් අපි අයුත්ත දැක දැක කටපියාගෙන ගෙවල්වලට ඇවිල්ල හිටියා. ඒත් අපි දැන් දන්නවා එහෙම ඉන්න ඕන නැති බව. අපටත් ඒව අහන්න-බලන්න අයිතියක් තියන බව.”

තොරතුරු අයිතිය ගැන උපදෙස් අවශ්‍ය වුණොත් සතියේ දින පහේම උදේ 9 සිට සවස 5දක්වා 0113030463 යන අංකය ඔස්සේ තොරතුරු සහාය මධ්‍යස්ථානය ඇමතීමෙන් උපදෙස් ලබාගන්න පුළුවන්.

අශෝකා විජේසිංහ ආඬියාතැන්නේ පෙර පාසල් ගුරුවරියයි. ඒත් ඇගේ මඟපෙන්වීම පෙරපාසල් දරුවන්ට පමණක් සීමා වෙන්නෙ නැහැ. සමාජයීය කාරණාවලදී තමන් සතු දැනුම හා අවබෝධය ගම්වාසී ප්‍රජාව සමග බෙදාගැනීමට ඇය කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.

“මට විශ්වාසයි ගමේ අය මේ දැනුම පොදු යහපත වෙනුවෙන් භාවිත කරාවි. ඇත්තටම ගමේ ඉන්නෙ බුද්ධිමත් පිරිසක්. ඒත් මේ වගේ දේවල් ගැන දැනුම ලබාගන්න තියෙන අවස්ථා අඩුයි. මේ වැඩසටහන නිසා දැන් ඒ දැනුම ලැබුණා. තවදුරටත් වැඩිහිටි, තරුණ සහ ළමා පිරිස්වලට මේ ගැන අවබෝධයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා.”

දැනුම ගෙනා- සුහද හමුව

ආඬියාතැන්න ගමට නැවුම් බලාපොරොත්තුවක් රැගෙන ආ මේ අමුත්තන් ගැනත්, ඒ වැඩසටහන ගැනත් යමක් සඳහන් නොකළොත් අඩුවක්. තොරතුරු අයිතිය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබාදුන්නේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයයි. ගමේ ප්‍රජා ක්‍රියාකාරිකයින් ඒ සඳහා සහභාගිත්වයෙන් විතරක් නෙවෙයි අමුත්තන්ට සංග්‍රහ සත්කාර කිරීමෙනුත් හෘදයාංගමව සහාය වුණා. වැඩසටහනේ ප්‍රධාන සම්පත්දායකයා වූ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පරයේෂක හා සන්නිවේදන අංශ ප්‍රධානී ලයනල් ගුරුගේ මහතා ඉතාම සරලව හා සුහදශීලී ලෙස සහභාගිකයන්ට කරුණු පහදා දුන්නා.

ඇත්තටම එය දේශනයකට වඩා සුහද සංවාදයක්. සභාවේ සියලු දෙනාටම සමානයින් ලෙස පිළිගැනීමක් ලැබුණා. තමන්ට මතු වුණු ගැටලු ඉදිරිපත් කර එවේලේම පැහැදිලි කරගන්නත් අවස්ථාව ලැබුණා. වැදගත්ම දේ වුණේ තොරතුරු පනත භාවිත කර තමන්ට ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය මඟපෙන්වීමයි. හැමෝටම ප්‍රශ්න තිබුණා. ඒවා ඉදිරිපත් කළ යුත්තේ කවර ආයතනයකටද, ප්‍රශ්න විමසිය යුත්තේ කවර ආකෘතියකට යන්න ලයනල් මහතා පැහැදිලි කළා. ඒ විතරක් නෙවෙයි. තොරතුරු අයදුම්පතක ආකෘතියකුත්, පනත ගැන සම්පූරණ තොරතුරු කාටත් වැටහෙන සරල භාෂාවෙන් විස්තර කරලා තියෙන ‘තොරතුරු අයිතිවාසිකම පිළිබඳ තොරතුරු’ කියන පොතේ පිටපතකුත් හැම කෙනෙකුටම ලැබුණා. ගැටලුවක් මතු වුණොත් පොත පෙරළලා බලලා එය නිරාකරණය කරගන්න පුළුවන්. තමන්ගෙ දරුවන්ට, අසල්වාසීන්ට, හිතවතුන්ට පනත ගැන කියාදෙන්නත් පුළුවන්. තවදුරටත් උපදෙස් අවශ්‍ය වුණොත් සතියේ දින පහේම උදේ 9 සිට සවස 5දක්වා 0113030463 යන අංකය ඔස්සේ තොරතුරු සහාය මධ්‍යස්ථානය ඇමතීමෙන් උපදෙස් ලබාගන්න පුළුවන්.

රටටම ඇහෙන්න කියන්න!

මේ වැඩසටහන අතරතුර තවත් වැදගත් දෙයක් සිදුවුණා. ඒ ඌව ගුවන්විදුලිය ඇතුළු ප්‍රජා ගුවන්විදුලි සේවාවන් ඔස්සේ තමන් ලැබූ අත්දැකීම ගැන තමන්ගේම කටහඬින් රටට කියන්න අවස්ථාවක් උදා වීමයි. අමුත්තන් කණ්ඩායමේ සිටි ඌව ගුවන්විදුලියේ නිෂ්පාදකවරයකු වන ලසන්තද සිල්වා මහත්තයා ගම්වාසීන්ගේ අදහස් පටිගත කරගෙන, අදාළ වැඩසටහන ප්‍රචාරය වන දිනය ගැන දැනුම් දෙන බවටත් පොරොන්දු වුණා.

මේ සටහනේ මීට කලිනුත් අදහස් දැක්වූ යූ.එච්. විමලසූරිය මහත්තයා වැඩසටහන අවසානයේ අමුත්තන් සමුගෙන යද්දි කියපු වචන කිහිපය, ඒ ගමනට සහභාගී වූ සියලු දෙනාගේ සිත්වල ඇති කළේ අව්‍යාජ සන්තුෂ්ටියක්.

“මහත්තයෝ, අපි දුප්පත් ගැමියො තමයි. ඒත් අද මේ රැස්වීමෙන් පස්සෙ දැන් අපිට දැනෙනවා අපි හිතා හිටියාට වඩා බොහොම පොහොසත් කියලා. ආං ඒ ටික අවබෝධ කර දුන්නට ඔය මහත්තුරුන්ට ස්තුතියි!”

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *