දෙමළ ජනයාට අසාධාරණයක් වුණේ ජිනීවා යන අයගෙන් – අරූන් සිද්ධාර්ථන්

මධ්‍යම රජයේ පළාත් සභාවට ලබාදුන් ජනතා මුදල් සතයක් උතුරේ දෙමළ ජනතාවගේ සුබසෙත සඳහා වැය නොකළ විග්නේෂ්වරන් ඇතුළු නායකයින්ට මානව හිමිකම් ගැන කතා කරන්නට කිසිදු සාධාරණ අයිතියක් නොමැති බවත් ජිනීවා මානව හිමිකම් කොමිෂමට කරුණු ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ ඔවුන්ට එරෙහිව බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරූන් සිද්ධාර්ථන් මහතා පවසයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ඊයේ (03) පැමිණි අවස්ථාවේ ඒ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

දෙමළ ජනතාවට ඇත්තටම අසාධාරණයක් වූයේ අද දෙමළ ජනතාවට අසාධාරණයක් වූ බව කියමින් ජිනීවා මානව හිමිකම් කොමිෂමට කරුණු දක්වන්නට යන විග්නේෂ්වරන්,සුමන්තිරන්,පොන්නම්බලම්,ආනන්ද ශෂිධරන්,ශිවාජිලිංගම් යන අයගෙන් බවද හෙතෙම පැවසුවේය.

අද යාපනයේ ඇතැම් ග්‍රාම නිලධාරීන් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් බෙදුම්වාදය පෝෂණය කරන ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන සංවිධානය වල න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බවත් ඔවුන් කවුද කියා ළඟදීම රටට හෙළිකරන බවත් ඒ මහතා කීය.

මෙරට බහුතර ජනතාව තමන්ගේ කැමැත්තෙන් පත්කර ගන්නා ජනාධිපතිවරයා සමඟ කටයුතු කරන්නට උතුරේ දේශපාලනඥයින් ක්‍රියා කළ යුතු බවත් ඔවුන් කරන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීම බවත් සිද්ධාර්ථන් මහතා පැවසුවේය.

සිංහල බෞද්ධ ජනතාව මේ රටේ අති බහුතරයක් සිටින නිසා දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සොයන්නට නම් ඔවුන්ගේ සිත් දිනාගෙන කටයුුතු කිරීම වැදගත් බවත් මේ නිසා තමන් දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ආරම්භ කළ පාගමන අතරතුර බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට පියවර ගත් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

උතුරේ වැඩිපුර මුදල් තිබෙන කෝවිල් එක්තරා පවුල් කිහිපකට පමණක් අයිති බවත් ඒවාට ලැබෙන මුදල් කැනඩාවට යවන බවත් කී ඒ මහතා ඒවා එහිදී බෙදුම්වාදී ත්‍රස්තවාදය පෝෂණය කරන්නට කටයුතු කරන අය අතට පත්වෙන බවද පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *