දෙමළ දේශපාලන පක්ෂ කොටි මහවිරු දිනය සමරති
උතුරේ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ 27 දින කොටි මහවිරු දිනය සමරා ඇති බව වාර්තා වේ. ඒ ඔවුන් ජනයාගෙන් ඉල්ලා සිටි පරිදි නිවෙස්වල සිට පහන් දල්වමිනි. මුලතිව් හා කිලිනොච්චි දිසාවන්හි ස්ථාන කිහිපයක කුඩා කණ්ඩායම් ලෙසද මහවිරු දිනය සමරා ඇති අතර ආරක්ෂක අංශ එම සිදුවීම් විමර්ශනය කොට තිබේ.
ඒ අතර සිය දේවස්ථානයේ සුසාන භූමියේදී මහවිරු දිනය සැමරූ කතෝලික පූජකයෙකු යාපනය ඉලවාලි ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉලවාලි ශාන්ත මාටින් දේවස්ථානයේ පූජකයෙකි. යුද්ධයේදී මියගිය සිය ඥාතීන් සැමරූ බව සඳහන් කළ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගියදා අධිකරණය ලබා දුන් නියෝගවලට එරෙහිව කටයුතු කළ බැවිනි.
උතුරේ බොහෝ නිවාසවල ඊයේ පහන් දල්වා තිබූ අතර ජනතාව පැවසුවේ කාර්තිකෛ දීපන් නමැති ආගමික සිරිත නිසා පහන් දැල්වූ බවයි.