දේශපාලන අධිකාරිය නොමැතිව පළාත් සභා අයාලේ – කනක හේරත්
ජනතා නියෝජිතයින් නොමැති නිසා පළාත් සභාවලට අයත් ඇතැම් අමාත්‍යාංශ හා ආයතනවලින් සිදු කෙරෙන ජනතා සේවය ඇනහිට තිබෙන බවත් මේ නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුව තිබෙන බවත් සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන රන් දල්ලට නවෝදයක් වැඩසටහන යටතේ අද (28) මහනුවර රතුකුරුස සංවිධාන ගොඩනැගිල්ලේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමය යටතේ මෙවර පවත්වා ඉදිරියේදී මැතිවරණ ක්රමයේ වෙනසක් කරා යාහැකි බවද හෙතෙම කීය.
පළාත් සභාවල දේශපාලන අධිකාරියක් නොමැති නිසා ඇතැම් නිලධාරීන් තමන්ට අවශ්‍යය ලෙස කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බවත් පළාත් සභා මැතිවරණය ඉක්මන් පැවැත්විය යුතුය යන්න තම ස්ථාවරය බවත් හේරත් මහතා පැවසුවේය.
කොවිඩ් මරණ භූමදානය කිරීම සුදුසුද නැද්ද සම්බන්ධව ඉදිරියේදී විශේෂඥ මතය රටට එළිකරනු ඇති බවත් ආගමික නායකයින් හෝ ජන කණ්ඩායම් සෞඛ්‍ය නිර්දේශ වලට පිටින් ගොස් කටයුතු කරන්නට යෑමෙන් සිදුවන්නේ රට අවධානමට පත්වීම බවත් හෙතෙම අවධාරණය කළේය.