දේශපාලන පළිගැනීම් කොමිසම අධිකරණ බලය පැහැර ගත්තා – කිරිඇල්ල

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම අධිකරණ බලය පැහැර ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් මිනිමැරුම් නඩු තීන්දු පවා වෙනස් කිරීමට  නිර්දේශ ලබාදී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විපක්ෂනායක කාර්යාලයේදී අද (04)  පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේබව ප්‍රකාශ කළේය.

ජනාධිපති පරීක්ෂණ කොමිසමක් යනු අධිකරණයක් නොව තොරතුරු සෙවීම සඳහා  පත්කළ එකක් පමණක් බවත් නඩු තීන්දු ලබාදීමේ හැකියාවක් මෙයට නොමති බවත් හෙතෙම පැවසුවේය. තොරතුරු සොයා බල එය නීතිපතිවරයාට යැවීම පමණක් කොමසමට කළ හැකි බවත් එම තොරතුරු පදනම් කරගෙන නෛතික කටයුතු කළ හැකිද යන්න නීතිපතිවරයා තීරණය කරන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ලැබී තිබෙන කැබිනට් පත්‍රිකාව අනුව පෙනී යන්නේ කොමිසන් සභාව තොරතුරු හොයනවා වෙනුවට අධිකරණ බලය අතට ගෙන කටයුතු කර තිබෙන බවක් යැයිද එය නීති විරෝධි මෙන්ම අධිකරණයට කරන අපහාසයක් යැයිද ඒ මහතා කීය.

ශ්‍රේෂ්ඨාධිකරණය,මහාධිකරණය,මහේස්ත්‍රාත් අධිකරණය දුන් නඩු තීන්දු හා ඒවාහි පවතින නඩු පිළිබද මෙම  කොමිසම නිර්දේශ නිකුත් කර තිබෙන බවත් එය සම්පූර්ණයෙන්ම අධිකරණයේ බලය උදුරා ගැනීමක් බව ඉතාම පැහැදිලි බවත් කිරිඇල්ල මහතා පැවසුවේය.

අධිකරණයක තීන්දුවක් වෙනස් කළ හැකි වන්නේ  අධිකරණයකට පමණක් බවත් එවැන්නක් කිරීමේ හැකියාවක්  කොමිසන් සභාවකට නොමැති බවත් කී ඒ මහතා  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් මිනීමැරුම් පිළිබද නඩු වලට පවා මේ අය යම් යම් වෙනස් කිරිම් කරන්න නිර්දේශ කර ඇතැයිද අවධාරණය කළේය. ආණ්ඩුවේ හිතවතුන්ට විරුද්ධව තිබෙන නඩු ඉවත් කර ඇතැම් නඩු වල පැමිණිලිකාරයා විත්තිකාරයා කර තිබෙන බවත් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40 දෙනෙකු අත්සන් කර අගවිනිසුරුතුමාට පෙත්සමක් භාරදුන් බවත් විපක්ෂයේ සංවිධායකවරයා පැවසීය.

ජනතාවගේ අධිකරණ බලය උසාවි වලට ලබා දෙන්නේ පාර්ලිමේන්තුව බවත් මෙම කොමිසම මගින් පාර්ලිමේන්තුව මගින් අධිකරණයට ලබාදුන් බලය පැහැරගෙන තිබෙන බවත් කී මන්ත්‍රීවරයා මේ නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස මන්ත්‍රීවරුඅගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කළ බවද අවධාරණය කළේය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *