නගර්නෝ – කරබක් නිවී යයි. සටන් විරාමයක් ඇරඹෙයි
මොස්කව් නුවරදී රුසියානු මැදිහත්වීමෙන් පැවති දස පැයක සාකච්ඡාවලින් පසු සටන් විරාමයකට එළඹීමට ආර්මේනියාව හා අසර්බයිජානය එකඟ වී තිබේ.
සෙනසුරාදා පෙරවරුවේ මේ නිවේදනය නිකුත් වුණේ මොස්කව් නුවරදී පැය දහයකට අධික කාලයක් දෙපාර්ශවය එක්ව කළ සාකච්ඡාවකින් අනතුරුවයි.
ඉහළ මට්ටමේ රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයා ප්‍රකාශ කළේ, ග්‍රින්ච් මධ්‍යන වේලාවෙන් සෙනසුරාදා 08.00 පැයට සටන් විරාමය ඇරඹෙන බවත්, මානුෂීය මෙහෙයුම් සඳහා මැදිහත් වීමට රතුකුරුස සංවිධානයට අවස්ථාව ලැබෙන බවත් ය.

“මේ සටන් විරාම ගිවිසුම ඇත්තටම සිද්ධ වෙනවා කියන කාරණා වෙනුවෙන්ද? නැත්නම් දෙපාර්ශවයේ සිරකරුවන් හුවමාරු කරගැනීම වගේ දේකට සීමා වෙනවද යන්න ගැන අපිට බලා ඉන්න වෙනවා ඒ වගේම මේ දෙපාර්ශවයට හැබෑ වුවමනාවක් තිබුණොත් සාකච්ඡා මේසයට ඇවිත් දශක කිහිපයක් තිස්සේ ඇදෙන මේ ගැටුමට විසඳුමක් ලබා ගන්න පුලුවන්” යැයි වාර්තාකාරිණී ඇලෙක්සැන්ඩ්රා ස්ටොජැනොවිච් පැවසුවාය.
සැප්තැම්බර් 27 ගැටුම් ආරම්භ වීමෙන් පසු ඇවිල ගිය සටන්වලින් අඩුම ගණනේ පුද්ගලයන් 300ක්වත් මිය යන්නට ඇතැයි වාර්තා වන අතර 2016න් පසුව කිහිප දෙනා බැගින් මිය ගිය ගැටුම්වල බරපතලම තත්ත්වය එයයි.
සටන් විරාමයක් වෙනුවෙන් සාකච්ඡා කිරීමට පැමිණ සිටි ආර්මේනියානු විදේශ ඇමතිවරයා සහ ඔහුගේ අසර්බයිජානු ප්‍රතිවාදියා මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ නොකිරීමට වග බලා ගත්හ.
දශක කිහිපයක් පැරණි ගැටුම යළි පණ ලැබූ විගස බිය පැතිර ගියේ අසර්බයිජානය සමග ආරක්ෂක ගිවිසුමක් ඇති තුර්කියද ආර්මේනියාව සමග සමීප සබඳතාවක් ඇති රුසියාවද ඈදෙමින් දැවැන්ත යුද්ධයක් කරා දෙරට යොමු වනු ඇතැයි යන්න ගැන ය.
ජාත්‍යන්තර සාමය සඳහා කානගී අරමුදලේ රුසියා සහ යුරේෂියානු වැඩසටහනේ ජ්‍යෙෂ්ඨයෙකු වන පෝල් ස්ට්රොන්ස්කි පැවසුවේ, නගර්නෝ-කරබක් යනු රුසියාවටද සංකීර්ණ ගැටලුවක් බවයි. තුර්කියේ සහායෙන් මීට පෙර සිරියාවේ සහ ලිබියාවේ ඇති වූ තත්ත්වය පෙන්වා දුන් ඔහු පැවසුවේ අනුන්ගේ යුද්ධයකට මැදිහත් වීමේ අවදානමක් එහි තිබූ බවයි.
ජාත්‍යන්තර නීතියට අනුව පිළිගන්නේ නගර්නෝ-කරබක් අසර්බයිජානයට අයත් ප්‍රදේශයක් ලෙසයි.
නමුත් එම කලාපයේ ජනගහනයෙක් බහුතරය වන ආර්මේනියානු වාර්ගිකයන් අසර්බයිජානු නීතියට අවනත වීම ප්‍රතික්ෂේප කරන අතර 1990 සෝවියට් යුනියනය බිඳී යාමෙන් පසු ඇති වූ විනාශකාරී යුද්ධය අවස්ථාවේ සිටම ආර්මේනියාවේ සහය ඇතිව ස්වයං පාලනයක් පවත්වා ගෙන යයි.
1994 දී ජාත්‍යන්තර මැදිහත්වීම මත අත්සන් කළ සටන් විරාමයට පෙර ඇවිලුනු ගැටුම්වලින් අවම වශයෙන් අඩුම තරමේ 30000කට වැඩි පිරිසක් මරුමුවට පත් වූ බවත් සිය දහස් ගණනක් සිය නිවෙස්වලින් නෙරපා හැරි බවත් වාර්තා වේ.
ලසන්ත ද සිල්වා
අල් ජසීරා ඇසුරෙන්.