නිරුදක කච්චතිව් දිවයිනේ පොපියන මතක

කච්චතිව් ඉන්දු ලංකා දේශසීමාව ආසන්නයේ පිහිටා ඇත.

කුරිකඩ්ඩුවාන් ජැටියට ළඟාවනවිට පෙරදින රැයෙහි දීර්ඝ ගමනේ වෙහෙස මදක් නිවා ගන්නට පුලුවන්ව තිබුණේ, යාපනය නගරයේ කල් ඇතිව වෙන්කොටගෙන තිබූ නවාතැනට ගොස් ලුණු මුසු වතුරෙන් සිත්සේ නා ගන්නට ලැබීම නිසාය. ගමන් සගයින් සියලු දෙනාටම වැඩි වෙහෙස මටය. දිනකට පෙර රට මැද කඳුකරයේ සිට කණ්ඩායමේ නියමු කැලුම්ගේ වට්ස්ඇප් උපදේශනයට අනුව පොදි ගසාගත් හරුබැස්සද ඇතිව බසයෙන් නුවර එන්නට සිදුවූ වෙහෙසද ගත පෙළමින් තිබුණි. කදිම නඩේ ගුරෙකු වන ඔහු උපදෙස් දී තිබුණේ පිඟාන කෝප්පය පවා රැගෙන ආ යුතු බවයි. කඳවුරු ඉදිකිරීම සඳහා අවශ්‍ය කූඩාරම්, ඉවුම් පිහුම් උපකරණ ඇතුළු සියල්ල රැගෙන ඒම භාරව තිබුණේ පළපුරුදු සැරියෙකු වන ඔහුට සහ කණ්ඩායමේ තවත් සගයෙකුවන ජගත්ට වීම, සෙසු හතරපස් දෙනාට ඉස්පාසුවක් විය. මැදවච්චියෙන් මෙපිට වන්නිය ඔස්සේ වෙනදා එන ගමන් ඇහිපිල්ලමකුදු නොහෙලා බලන්නට තරම් වන විසිතුරු සහිත වූවත් මෙදා වෙහෙසකර රෑ ගමන සියලු දර්ශන නිවා දමා තිබුණේ නින්දක දෙනෙත ඔබමිනි. ඒ සියලු අහිමිවීම් නීල සාගරය මැදින් ඇදෙන මේ ගමනේදී අත්පත් කරගත යුතු නමුත් හෝරාවකට වැඩි ගමන් කාලයක් තිස්සේ ඇහැ ගැටෙන්නේ සාගරයම පමණි. කැලුම්ගේ පූරෝකථනයට අනුව දැඩි අව්වේ ගමන් කිරීමට සිදුවේනම් මෙලනීන බහුල සම තවත් අඳුරු පෑ වීම වළක්වා ගනුවස් දෙඅත වැසෙන දිගට අඳින්නට වගබලා ගතයුතුය. ඉබි ගමනින් යන මගී යාත්‍රාවක මේ ගමන යන්නේ නම් පෑ හතරක් ගත වේ. එහෙත්, ජගත්ගේ සම්බන්ධීකරණය නිසා නාවික හමුදාවේ වෝටර් ජෙට් වේග ප්‍රහාරක යාත්‍රාවකින් සමුදුර තරණය කරන්නට ලැබීම භාග්‍යයකි. ඒ ගමන් කාලය හෝරා එකහමාරක් පමණ දක්වා අඩුකරගන්නට පුලුවන්වන බැවිනි. නාවික සැතපුම් විසිහතරක්වත් වන මේ ගමනට සැපයෙන යාත්‍රාව යුධ සමයේ අතිශය කාර්ය බහුල වූවක් වන්නට ඇති බව පැවසිය හැක්කේ එහි පෙර ඇණියේ සවිකර ඇති දැවැන්ත ගිනි අවියටය.

සුහදශීලි නැවියන්ගේ මගපෙන්වීම මත යාත්‍රාවට ගොඩවූවන් අතර හුන් කිහිපදෙනෙකු එහි නියමු කුටියේ ඇති ස්වල්ප ඉඩ අත්පත් කරගනිද්දී දර්ශන ක්ෂුධාවෙන් පෙලුනු අප සියලු දෙනා ඉන් පිටත අසුන් ගන්නට හැකි සෑම තැනක්ම, අපේ අයිතියට නතු කර ගත්තේ ජීවිතාරක්ෂක කබාවලින් තහවුරු කළ විශ්වාසයද ඇතිවය. නඩේ ගුරු කැලුම් හෝ අප කිසිවෙකු කතෝලිකයන් නොවූවත් ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුණීන්ද්‍රයාණෝ මේ ගමනෙහිදී අපගේ කැපකරුවා වනු ඇත්තාහ. ඒ ගමනාන්තය, වසරේ දෙදිනක් අතිශය ජනාකීර්ණ වන සෙසු කාලය මුලුල්ලේ හුදෙකලාව උරුමය වූ කච්චතිව් දිවයින වන බැවිනි. අප කුරිකඩ්ඩුවාන් ජැටියට පැමිණෙන වේලෙහි වෙනදා නාගදීපයට යන වන්දනාකරුවන්ගෙන් පිරී තිබෙන ජැටිය හා අවට සිය ගුණයකට වැඩි පිරිසක දිගු පෝලිමකින් හෙබියේ කච්චතිව් වාර්ෂික මංගල්‍යයට යන බැතිමතුන් හෙයිනි. මේ රැය අපට ගෙවන්නට සිදුවනු ඇත්තේ දහස් ගණනක් වන ඔවුන් සහ ඉන්දියානුවන් අතර ය.

කච්චතිව් දෙරටක් මැද හුදකලාව.

කච්චතිව්  ශ්‍රී ලංකාවට අයත් සමුද්‍ර කලාපය තුළ ඉන්දියානු සමුද්‍රීය දේශසීමාව ආසන්නයේ පිහිටි දිවයිනක්. 1974දී සිරිමා ශාස්ත්‍රී ගිවිසුමෙන් ලංකාවේ අයිතිය තහවුරු වනතුරු එහි හිමිකම පිළබඳ දෙරට අතර උණුසුම් තත්ත්වයක් තිබුණි.   හිමිකම තහවුරුවීමෙන් අනතුරුව වුව කච්චතිව් දිවයින භාවිතා කළ හැක්කේ ලාංකිය ධීවරයින්ට පමණක් නොවේ. දැල් වියළීම සඳහා මෙන්ම ගිමන් තිප්පොළක් ලෙසත් කච්චතිව් භාවිතා කිරිමේ අයිතිය ඉන්දීය ධීවරයින්ටත් හිමියි. මුල් කාලයේ ඉන්දීය මධුරෛ පාලන කලාපය ඇතුළත් වූ රාම්නාද් රාජධානිය කච්චතිව්හී මාතෘත්වය දැරූ හෙයින් බ්‍රිතානින්ගේ සමයේද එය අයත් වූයේ මැඩ්රාස් පාලනයටයි. තමිල්නාඩුවේ ධීවරයින්ට මේ දිවයින අවට කලාපය සරු මත්ස්‍ය අහින් සපිරි කෙම්බිමක් නිසා 1974දී ගිවිසුම්ගත පවරාදීමට එරෙහිව ඇතමෙක් නැගී සිටියේ ඉන්දීය උපරිමාධිකරණය හමුවේ නඩු ගොනු කරමින්. එහෙත් 1976දී ලද අවසන් තීන්දුව ප්‍රකාර ලංකාවේ හිමිකම තහවුරුවූයේ ඉන්දීය ධීවරයින්ටත් සහන අත්පත් කරදෙමින්. එහෙයින් ඔවුන්ට මේ දිවයින අවට මසුන් ඇල්ලීමටත් අවසර තිබේ. යුධ සමයේ ඒ හිමිකම මෙරට නාවික හමුදාවට මහත් හිසරදයක් වූයේ කච්චතිව් වෙරළේ සිට මීටර් එක්දහස් දෙසියයක පමණ දුරින් ඉන්දීය මුහුදු කලාපය ආරම්භ වෙද්දී කොටින්ගේ අවි ජාවාරම් සඳහා මේ බිමද තෝතැන්නක් වූ හෙයිනි. පසුකාලීනව තමිල්නාඩුවේ මහඇමතීනි ජයලලිතා ජෙයරාම් කච්චතිව් යළි ඉන්දියාවට පවරා ගතයුතු බව පවසමින් සිය ඡන්ද ව්‍යාපාරය උදෙසා වහසි බෙණෙන්නට වූ අතර නැවත උපරිමාධිකරණය හමුවටද ගිය නමුත් ඇගේ ප්‍රයත්නය අසාර්ථක විය. දැන් ධීවරයින් හැරුණුවිට දෙරටේ කිතුණු බැතිමතුන්ටද කච්චතිව් දිවයිනෙහි බෙදාගන්නට දේවල් තිබේ. ඒ එහි වන ශාන්ති අන්තෝනි මුණිතුමන් නමට කැපකළ දේව මන්දිරය නිසාය. මේවනවිට නාවික හමුදාව යම් ඉදිකිරීම් සිදුකර තිබුණත් කාලාන්තරයක් මුලුල්ලේ කච්චතිව් දිවයිනේ තිබූ එකම මනුෂ්‍ය ඉදිකිරීම කිතුණු දේවස්ථානයයි. විසිවන සියවසේ මුල්භාගයේ ඉදිකරන්නට යෙදුනු මෙම දේව මන්දිරය ඉන්දු කතෝලිකයන්ගේ භක්තියේ ඵලයයි. “සිරිනිවාස පඩයාච්චි” නම් දෙමළ කතෝලික ධීවරයෙක් එම කර්තව්‍යයට මුලපුරා තිබේ. දැන් කතෝලිකයන්ගේ ශුද්ධ වූ උරුමයක් වන කච්චතිව් හී වාර්ෂික මංගල්‍යයට සහභාගීවීමට ඉන්දීය වැසියන් වීසා ලබාගන්නට වුවමනා නැත. ඒ දෙරට අතර එකඟතාව පරිද්දෙනි.

ලංකාවට අයත් දිවයින දෙරටටම පහසුකම් සපයයි

සයුරු රළ මියුරු නද මැද

අධිවේගී වෝටර්ජෙටය ගුම් නදින ඉදිරියට ඇදෙයි. එහි ඉදිරිය ජල තලයෙන් මදක් ඉහළට එසවී ඇති සේ ය. ඒ ගමන් ලතාව බලන්නට නම් දියට නැඹුරු වියයුතු නමුත් එය කළ නොහැක්කකි. ඒ සිරිය විඳ ගත හැක්කේ ඈතින් ඇදෙන වෙනත් යාත්‍රාවක් අහම්බෙන් දක්නට ලැබීමෙනි. සමුදුරු ඔක්කාරය ඇතිවෙන්නට පුලුවනැයි කැලුම්ගෙන් පූර්ව අවවාද ලැබී තිබූ හෙයින් ඇතැම් සුලු ඔසුවක් ගමන් මලුවල වූවත් ඒවායෙහි අවැසිතාවක් මේ තාක් නොමැත්තේ සැවොම නීල සමුදුරේ අසිරියෙන් මෝහනයට පත්ව සිටින බැවිනි. සමුදුර රළ නඟන්නේ ලතාවකටය, රිද්මයකටය. බෝට්ටුව ඒ ලතාව අනුව ගමනේ යයි. ඇතැම් තැනක හිතුවක්කාර රළ ගෙඩියක් මදක් ඉහළට නැඟ බිඳී යන්නේ අපට සරදම් කරමිනි. එවැනි විටක වේග යාත්‍රාව ඉහළට එසැවී එක්වරම පතිතවන්නේ බියමුසු කවටකමක් කළ අන්දමිනි. එවැනි මොහොතක උදරය ගැඹුරේ අමුතු හිරියක් දැනෙන්නේ වේගයෙන් පහළට එන ඔංචිල්ලවක එල්ලී සිටින බවක් දනවමිනි.

නාවික හමුදාවේ හිතෛෂී නැවියන් පවසන අන්දමට මේ කලාපය නොගැඹුරු මුහුදය. සාමාන්‍ය ගැඹුර මීටර 12ක් පමණ වේ. එහෙත් තේජවන්ත සාගරය වෙරළබඩ දිවියකට නුහුරු අප හමුවේ උපදවන්නේ බියමුසු ගෞරවයයි. ඒවනවිටත් ලුණු මුසු සුළඟ අපේ කෙහෙරැළි ග්‍රීක ප්‍රථිමාවල මෙන් කැරළිගන්වා හිස්කබලට අලවමින් තිබූ අතර දූපතේදී පානය හැර අන් සියලු අවශ්‍යතාවන්ට භාවිතා කළ යුත්තේ ලුණු දිය බව අප දැන හුන්නෙමු. ඒ කච්චතිව් නිරුදක දිවයිනක් බැවිනි. හෝරාවක් ගෙවෙද්දීත් දසුනේ වෙනසක් නොවූ මුත් ඇසට වෙහෙසක් නොවූයේ හිමිදිරි සමුදුර පියකරු බැවිනි. නොතද හිරුඑළිය හෙයින් අපේක්ෂා කළ තරමට දාහයද නොවීය. කච්චතිව් ආසන්නයට එද්දී පළමු සංඥාව ලැබුණි. ඒ ධවල මුහුදු ලිහිණින්ගෙනි. ඔවුහු මත්ස්‍ය දඩයමෙහි නිරත වෙමින් සිටියහ. නිසැකවම පක්ෂීන් ගැවසෙන්නේ ගොඩබිමකට ආසන්නයේ ය.  සමුද්‍රඝෝස විරිත අතරට වසන්තතිලකා, මාලනී ඈ විරිත් ගයන්නට උහු සැදී පැහැදී සිටිති. මොහොතකට පසු ඈතින් දිවයින දිසෙද්දී තමන්ගේ පිවිසුම් මොහොත වනතුරු තන්හී තන්හී නැංගුරම් ලා සිටින දෙරටට අයත් ලොකු කුඩා ධීවර යාත්‍රා දක්නට ලැබේ. ලාංකික හා ඉන්දීය දෙපිරිසට වෙනම ජැටි දෙකකි. පිවිසුම් දෙකකි. ඉන්දීය ජැටිය ඉලක්ක කරගත් ඔවුන්ගේ යාත්‍රා වෙසෙස් හැඩය නිසා හඳුනාගත හැකිය. ඒවා උස බඳක් සහිත පිම්බූ අලි බෝට්ටුය. අපේ සේලරුවන්ට අනුව වටා යකඩ පට්ටම් ගසා ඇති එවැන්නක ගැටීම ආපදාවකි. ඇතැම් ඉන්දියානු බෝට්ටුවක් රඹතුරු බැඳ විසිතුරු ලෙස සරසා ඇත. මටනම් ඒවා පෙනුනේ දිග හේන් වට්ටක්කාවක පලුවක් සේ ය. ඒ හේන් වට්ටක්කා පලු සේම කැකිරි, තියඹරා පලුද අතරින් අපි නාවික හමුදාව ඉදිකර තිබූ තාවකාලික ජැටියෙන් ශුද්ධ වූ ගොඩබිමට පිවිසුනෙමු. කැලුම්, අසේල, දීපාල්, තාරක, ජගත් ගොඩබිම රියදුරා මාවෝ හා ඔහුගේ සහායකයා සහ මම පැද්දෙන පහුරක් දිගේ පිවිසුණු වෙරළ කුඩා සිනිඳු කොරල් කැබලිවලින් නිර්මාණය වූ සොබාදමේ ත්‍යාගයකි.

රමණීය වනමල්

දිවයින ආසන්නයේ පතුළ පෙනෙන දියතලයද අති රමණීය වන්නේ සිරුර දෝවනයට ආරාධනා කරයි. නාවික හමුදාව දිව්‍ය පූජාව උදෙසා මහත් වෙහෙසක් දරන්නේ ගොඩබිම් වාහනද, දසදහසක පිරිසට ජලයද, නොමිලේ දෙන අහර කිස පිසීමට කළමනාද ඇතුළු බොහෝ දේ බිම්ගත කර තිබුණි. ඒ අතර වෙළෙන්දෝද පැණි කොමඩු, තැඹිලි, රසකැවිලි ගෙන දිවයිනට පිවිසෙති. බැතිමතුන් උදෙසා දෙදින තාවකාලික කඩමණ්ඩියක් මෙහි ඉදිවන බව දැනගන්නට ලැබුණි. නාවික හමුදාව සම්පාදනය කරන විදුලි ආලෝක මධ්‍යයේ රාත්‍රිය බොහෝ විසිතුරු වනු ඇත.

භක්තිවන්තයින්, විනෝදකාමීන්, ශෘංගාරප්‍රේමීන් ඇතුළු සියල්ලෝ දිව්‍යමයබව අත්විඳිනු ඇත. අපේ ඉලක්කය වූයේ හැකි ඉක්මනින් වන ලැහැබක කූඩාරම් අටවාගෙන ගිමන් හැරීමයි. එහෙත් බැලූ බැලූ අත දිසෙන්නේ නොඋස් ලඳු මිස මෙහි මහ රුක් නොමැත. අවසන නාවික හමුදා රියකින් අප දූපත මධ්‍යයට ගෙනගියමුත් ඔවුන්ගේ අහර සංග්‍රහ සත්කාරවලින් පසුව අප ඇරඹුවේ හුදෙකලා තිප්පොළක් සොයාගැනීමේ මෙහෙයුමයි. සැබැවින්ම අපට අවශ්‍ය වූයේ වන්දනාවේ ආ බැතිමතුන්ගෙන් ඈත්ව නිදහස භුක්ති විඳින්නටයි. අවසන ඒ නිදහස හමුවූයේ දූපතට අහම්බයක් වූ තරමක් වැඩුණු සියඹලා රුක් සෙවණකය. ඒ වටා නාඳුනන තුරු ලිය බෙහෙවින් වූ අතර පුදුමයට කරුණ වූයේ එක්තරා අවර විශේෂයක් බහුලව වැවී පල ගෙන තිබීමයි. පසුව කැලුම් හා දූපතේ බොහෝ තැන්වල ඇවිද ගිය මට එය සිසාරා මේ අවර වැල් වැවී තිබෙන අන්දම දැකගත හැකිවිය.

කූඩාරම සහ මාවෝගේ බිත්තර බැදුම්

කූඩාරම් අටවන්නෝ වූයේ තාරක සහ කැලුම්ය. කැලුම් වෘත්තීය මට්ටමේ කූඩාරම් අටවන්නෙකි. ජගත් අයියා දූපතේ පාලු ඉසව්වක වූ තුරු සෙවණට බ්ලූටූත් ඇසුරෙන්  සංගීතය ගෙනාවේ ය. පිඟන් හැලි වළං, ගෑස් ලිපක් කඳවුරු ආම්පන්න රැසක් කැලුම්ගේ උරමල්ලෙන් බාද්දී ඔහු ඒවා කෙසේ අසුරාගෙන ආවේදැයි මම මවිත වීමි. දීපාල්ගේ සිසිල්පැන් සංග්‍රහ අතර කොළ ඇපල්ද විහිලු තහලුද අගනේය. කොළඹ සිට ඉතා ප්‍රවේශමෙන් නොබිඳ ගෙන ආ බිත්තර පැස බැදීම භාරගත්තේ රියදුරු මාවෝය. ජීවිතයේ පළමු වතාවට පිළිස්සු රොටී වැනි බිත්තර අනුභව කරන්නට අවස්ථාව ලැබුණේ ඔහු නිසාය. සැබැවින්ම එහි වූයේ කදිම කඳවුරු අත්දැකීමකි. හිරු මදක් අවරට යනතුරු සියඹලා සෙවණ ගිමන නිවන කෙම්බිම බවට පත්කර ගත් අපි මදක් දුර ඇවිද ගොස් නාවිකයින් සළකුණු කර තිබූ තැනෙකින් නොගැඹුරු දියට බැස සිත් සේ දිය නෑවෙමු. එය තමිල්නාඩුවේ මරීනා බීච් සේ ය. ඉන්දු ලංකා ජනයා එකිනෙකා අතර තෙරපෙමින් මුහුදු ලුණු දියෙහි ගිමන සෝදා හරිති. නෑමෙන් පසු දිවයිනේ ඇවිද යා හැකි තැන්වලත් දෙව්මැඳුර බිමෙහිත් සිත් සේ ඇවිද්දේ අනර්ඝ හා විසිතුරු සැරසුම් මැදය. තැනෙක නාවික හමුදාව වන්දනාකරුවන්ට ආහාර බෙදා දෙති. ඔවුන් තමන් රිසි තැන්වල අටවාගත් කූඩාරම්වල අත්‍යන්ත දිව්‍යමය බව අත්විඳිති. ඇතමෙක්, පඳුරු ගොන්නක් පියස්සක් වනසේ හෙළිපෙහෙලි කොට එළාගත් යමක නිදන්නට සැරසෙති. අලුත විවාපත් වූ යුවළක්දෝ පඳුරු ගොන්නක් අතරින් වනගත වන බව දුටු දීපාල් ඇස් කොණෙන් එය මටද දක්වයි. මීටර් දෙතුන් සියයක් දිගට තැනුනු වීදියක තාවකාලික කඩපිල් අටවා තිබේ. රසකැවිලි හා අරුමෝසම් භාණ්ඩ මිළදී ගත හැකි එහි දෙරටේම මුදල් භාවිතා වේ. කඩපිලද නොබලා සිටිය නොහැකි දසුනකි. අන්තිමේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ පිහිටෙන් අප නින්දට යා යුතුය. ඒ හෙට උදෑසන කඩිගුලක් වන්නට නියමිත දූපතෙන් පිටවන පළමු කණ්ඩායම වීම උදෙසාය. තුරුලිය අතර දඟලන මූසිකයන් මිස නින්දට බාධා කරන්නට මදුරුවන් නොවීම වාසනාවකි.

ලසන්ත ද සිල්වා

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *