නුවරඑළිය නගර සභාව පුරවැසියාට කොකා පෙන්වා කිරිබත් කයි, පොහොට්ටු මන්ත්‍රීවරු හැංගෙයි

පසුගියදා පැවති අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව කිරිබත් උයා කමින් අයවැය සම්මත වීමේ ප්‍රීතිය සමරා ඇති නුවරඑළිය මහනගර සභාව ප්‍රජා පීඩක තීන්දු කිහිපයක් ගෙන ඇති බවද විරුද්ධ පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඒ සඳහා වක්‍රාකාරයෙන් සහය දී ඇති බවද අනාවරණය වේ.

නුවරඑළිය නගර සභා බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන්ට එළඹෙන වසරේ සියයට 115ක බදු වැඩිවීමක්ද, සියයට 50ක ජල ගාස්තු වැඩිවීමක්ද මෙම අයවැයෙන් යෝජනා වී සම්මතව තිබියදී නගරාධීපතිවරයා හා මන්ත්‍රීවරුන් එය සමරා කිරිබත් කෑම විමතියට හේතුවක් බව නුවරඑළීයේ ජනතාව පවසති.  මේ වනවිට නුවරඑළිය මහනගර සභාව දැඩි ආදායම් අර්බුදයක සිටින බැවින් එය පියවා ගැනීම සඳහා මෙලෙස බදු මුදල් හා ජල ගාස්තු එකවර ඉහළ දමා තිබේ.

පොදුජන පෙරමුණ මහලේකම් යොමු කළ ලිපිය

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි නුවරඑළිය නගර සභාවේ මෙවර අයවැය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්ව කටයුතු කිරීමේ වුවමනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තිබුණි. එමනිසා එහි මහලේකම්  නීතීඥ සාගර කාරියවසම් ගේ අත්සනින් යුතු 2020.12.14 දිනැති ලිපියෙන් නාගරික මන්ත්‍රීවරුන් 06 දෙනෙකුට දන්වා තිබුණේ අනිවාර්යයෙන් අයවැය ඡන්ද විමසීමට සහභාගි වී එයට විරුද්ධව ඡන්දය දෙමින් එය පරාජය කිරීමට කටයුතු කරන ලෙසයි.  එහෙත් සිය පක්ෂයේ මහලේකම්වරයාට අවනතව ඡන්ද විමසීමට සහභාගිව අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළේ නගර සභාවේ විපක්ෂ නායක මහින්ද දොඩම්පගමගේ මහතා පමණි. ජනතාව පෙන්වා දෙන්නේ සෙසු මන්ත්‍රීවරුන් 05 දෙනා ප්‍රදේශයේ බලවත් අමාත්‍යවරයෙකුගේ වුවමනාවට එදින නොපැමිණි බවයි. අභ්‍යන්තර දේශපාලන අර්බුද වෙනම විසඳා ගත යුතු අතර ජනතාවට පීඩාකාරි ලෙස ජල බිල්පත් හා බදු ඉහළ නංවන අවස්ථාවක මෙලෙස කටයුතු කිරීම දැඩි පිළිකුළෙන් යුක්තව හෙළා දකින බව පවසන නුවරඑළිය ජනයා අදාල අමාත්‍යවරයා මීට වගකිවයුතු බවද සඳහන් කරති.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *