නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දේශපාලන ගේමක – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු.

නුවරඑළිය, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී හා නිරෝධායන නීති කඩ කළ කිසියම් පාර්ශවයක් ආරක්ෂා කිරීමේ අරමුණෙන් පෙනී සිටින්නෙක් යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරයි. මධ්‍යම පළාතේ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, පසුගියදා අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන්ගේ  අවමඟුලට සහභාගී වූ මාධ්‍යවේදියෙකුට “කොවිඩ් -19 ආසාදනය වී ඇතිදැයි සැක කොට පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කළා” යැයි පැවසූ සෞඛ්‍ය නිලධාරියා අදාල මාධ්‍යවේදියා අපහසුවට පත් කළ බැවින් ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන බව රජයේ වියදමින් මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කළ නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කිසියම් පාර්ශවයක් ආරක්ෂා කිරීමට උත්සාහ ගන්නා බවයි.

සිය සංගමයේ නුවරඑළිය දිසා ශාඛාව පවසන අන්දමට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කොවිඩ් 19 වැළඳී ඇතැයි සැකයට භාජනය වූ මාධ්‍යවේදියා හා සමීප සම්බන්ධතා පවත්වන අතර තොණ්ඩමාන් ඇමතිවරයාගේ අවමඟුල් අවස්ථාවේ රජය අපහසුවට පත්වන අන්දමින් නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් නොසළකා හැර ඇත. එලෙස හැසිරෙන ඔහු කිසියම් ප්‍රකාශයක් කළ පමණින් සෞඛ්‍ය නිලධාරියෙකුට එරෙහිව පියවර ගැනීමට ඉදිරිපත් වීම සැකසහිත බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

⁣මෙකී සන්දර්භය තුළ නුවරඑළිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා, 1897 අංක 03 දරන නිරෝධායන පනත කඩවන අන්දමින් තොණ්ඩමාන් මහතාගේ අවමඟුල අවස්තාවේ ක්‍රියා කළ පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගත්තේ මන්ද?, අවශ්‍ය පියවර ගත් නිලධාරීන්ට එරෙහිව ඔහු හිතාමතාම කටයුතු කරමින් සිටින්නේද යන්න පිළිබඳව සොයා බලන මෙන්ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මධ්‍යම පළාත් සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

සංස්කාරක සටහන – කොවිඩ් – 19 රෝගයට හා පී.සී.ආර් පරීක්ෂණවලට අදාලව මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරිය විසින් ප්‍රකාශිත ඉල්ලීම් හා මඟ පෙන්වීම් තිබේ. ඒවා අනුගමනය කිරීම සියලු ජනමාධ්‍යවල වගකීමයි. මෙම සිදුවීමට අදාල මාධ්‍යවේදියාගේ පුද්ගලිකත්වය සම්බන්ධයෙන්ද එම කරුණු අදාල වේ. . එසේම, මෙම පුවත සම්බන්ධයෙන්ද ejournalist වෙබ් අඩවිය පිළිතුරු දීමේ අයිතිය අනුගමනය කරයි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *