පරිසර පනතත් සංශෝධනය කරනවා – අමරවීර

දඩ මුදල් හා සිර දඬුවම් ලබාදෙන කාලය වැඩිවන සේ දැනට පවතින පරිසර පනත මෙම වසර අවසන් වීමට පෙර සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
පරිසර පනත සංශෝධනය කිරීමෙන් පසු දැනට ඒ යටතේ ලබාදෙන මුදල් දඩ දස ගුණයකින් පමණ ඉහළ යනු ඇති බවත් සිර දඬුවම් ලබාදෙන කාලයද වැඩි කරන බවත් ඒ මහතා කීය.
මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ඊයේ (04) බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය. මහ පරිමාණ පරිසර හානියක් වත්මන් රජයේ අනුදැනුම මත සිදුවන බවට ඇතැම් සමාජ මාධ්‍ය අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බවත් ඒ සම්බන්ධව සැබෑ තත්ත්වය මහනාහිමිවරුන්ට පැහැදිලි කර දීමට තමන් පැමිණි බවත් ඇමැතිවරයා කීවේය.

නව නීති සකස්කර ඒවා නීතිපති වෙත යොමු කරන බවත් හැකි ඉක්මනින් සංශෝධිත පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව මගින් සම්මතකර මෙම වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
පරිසරයට යම් විනාශයක් කවුරුන් හෝ කරන්නේ නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිසේත් පක්ෂය හෝ තනතුර අදාළ නොවන බවත් පරිසරයට හානි කළ ආණ්ඩුපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකු හා සම්බන්ධ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට නීතිය ක්‍රියාත්මක කරමින් මෙය ප්‍රායෝගිකව ඔප්පුකර පෙන්වා තිබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.
පසුගිය කාලයේ දේශපාලනඥයින් හා බලවතුන් වැරදිකර නිදැල්ලේ සිටියදී සාමාන්‍ය ජනතාව සුළු වරදකට අල්ලාගෙන ගොස් දඬුවම් ලබාදුන් බවත් දැන් එවැන්නකට කිසිදු ඉඩක් නොමැති බවත් ඒ මහතා කීය.
දර කෑල්ලක් කපා ගත්තොත්,ගඩොල් කපා ගන්න පස් ටිකක් කපා ගත්තොත්,පොඩි ට්‍රැක්ටරයකින් වැලි ටිකක් අරන් ගියොත් සාමාන්‍ය ජනතාවට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක වෙත්දී මහ පරිමාණ ජාවරම් කරුවන් එදා නිදැල්ලේ සිටි බවත් එවැනි තත්ත්වයක් යළි ඇති නොවන බවත් අමරවීර මහතා පැවසුවේය.
විසිවන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වෙන්නේ යම් යම් සංශෝධන සමඟ බවත් ශ්‍රීලනිපය මේ සඳහා යෝජනා කිහිපයක් ලබාදුන් බවත් ඇමැතිවරයා කීය.
මැතිවරණ ක්‍රමයේ වෙනසක් සමඟ නව ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙනඒම ශ්‍රී ලනිපයේ අදහස බවත් එතෙක් සම්මත කෙරෙන විසිවන සංශෝධනයට අවශ්‍යය සහය ලබාදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ආනවිලින්දාව ප්‍රදේශයේ ඩෝසර් කළ අක්කර 1 1/2 ක භූමිය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් එහි අක්කර එක්දහස් ගණනක් වන භූමියේ කඩොලාන වගා කිරීමට කටයුතු කර තිබෙන බවත් හෙතෙම කීය.
වනාතවිල්ලුව සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත් භූමියේ ගස් කිහිපයක් කපා තිබෙන බවත් එයට කිසිදු දේශපාලන සම්බන්ධයක් නොමැති බවත් අමරවීර මහතා පැවසුවේය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *