පාකිස්ථාන මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක්

පාකිස්ථානයේ අබ්තාක් රූපවාහිනියේ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් පහර දී තිබෙන බව වාර්තා වේ.  පසුගිය 18 වෙනිදා සිදු කළ මෙම පහරදීමට හේතුව අදාල මාධ්‍යවේදීන් එරට මාෆියා කල්ලි ගැන වාර්තා කිරීම බවද පහරදුන් පිරිස මාෆියා සාමාජිකයන් බවද පැවසේ. පාකිස්ථාන ජනමාධ්‍යවේදීන්ගේ ෆෙඩරල් එකමුතුව හා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ෆෙඩරේෂණය සිදුවීම හෙළා දකිමින් නිවේදන නිකුත් කර ඇත.

අබ්තාක් රූපවාහිනියේ අංශ ප්‍රධානියෙකු වන ඉම්දාද් පොල්පොතෝ සහ රූපවාහිනී මාධ්‍යවේදී අල්තාෆ් කල්ලෝර් පාකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේදී ප්‍රහාරයට ලක්ව ඇත. පාකිස්ථාන ජනමාධ්‍යවේදීන්ගේ ෆෙඩරල් එකමුතුව පවසන අන්දමට පළාතේ මාෆියා කල්ලිවලට සම්බන්ධ සොරකම් හා ඉඩම් පැහැරගැනීම්වලට සම්බන්ධ ප්‍රහාරකයින් කිහිප දෙනෙකු රූපවාහිනි කාර්යාලයට කඩා වැදී මාධ්‍යවේදීන් දෙදෙනාට පොලුවලින් පහර දී ඇත.

රූපවාහිනී අංශ ප්‍රධානියාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති අතර කල්ලොර්ගේ අතක් පහර වැදීමෙන් බිඳී ඇතැයි වාර්තා වේ.  ඉම්දාද් දූෂණ හෙළිදරව් කරන මාධයවේදියෙකු ලෙස පාකිස්ථානයේ ප්‍රකටය.

මේ වනවිට පහරදීමට ගොදුරු වූ මාධ්‍යවේදීන් රෝහල් ගත කර තිබේ.

පාකිස්ථානයේ සුක්කූර් ප්‍රාදේශීය පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පාකිස්ථාන මාෆියා කල්ලිවල ක්‍රියාකලාපය පිළීබඳ වාර්තා කිරීම නිසා මාධ්‍යවේදීන් ප්‍රහාරවලට ගොදුරු වීම එරට සුලබ සිදුවීමකි.   එරට දිනපතා පළවන සහෆාත් පුවත්පතට සේවය කරන හා ඔකාරා මාධ්‍යවේදී එකතුවේ ලේකම් ධූරය දරන අබ්බාස් අලි ජූට් පසුගිය අගෝස්තුවේදී, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ පහරදීමට ගොදුරු විය. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන කළ අනාවරණය හේතුවෙනි.

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *