පාර්ලිමේන්තුවට පත්කළ යුත්තේ උගතුන්ද, බුද්ධිමතුන්ද

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර

නව කොරෝනා වසංගතය හමුවේ විවිධ හැලහැප්පීම්වලට බඳුන්වෙමින් කිහිප වතාවක්ම කල්දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය, අවසානයේ ලබන අගෝස්තු 5 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත්තේය. සෞඛ්‍ය උපදෙස් සහ නීතිරීති යටතේ පැවැත්වෙන මෙවර මැතිවරණය (ප්‍රචාරක කටයුතුද ඇතුළුව) මුළුමනින්ම වෙනස් මුහුණුවරක් ගෙන ඇතත්, පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුතු අය තුළ තිබිය යුතු සුදුසුකම් හා ගතිලක්‍ෂණ පිළිබඳව මෙවරද පුළුල් සංවාදයක් දියත් වී ඇත්තේය. පසුගිය දශක කිහිපය තුළ අපේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ මහජන නියෝජිතයන් බොහොමයකගේ පහත් හැසිරීම් රටා සහ ක්‍රියාකලාපය හේතුවෙන්, දැන් ටික කලක සිට ඡන්දයක් ලංවන විට මෙම කතිකාව මතුවන්නේය.
දැනට දශක කිහිපයක් තිස්සේ මැතිවරණ නිරීක්‍ෂණ කටයුතුවල නිරතව සිටින පැෆරල් සංවිධානය විසින් 2015 මාර්තුවේදී සම්පාදනය කරන ලද, “නාමයෝජනා ලබාදීමේදී දේශපාලන පක්‍ෂ සලකා බැලිය යුතු මූලික නිර්ණායක” නමැති ලියැවිල්ලද නැවත වතාවක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව ඇත්තේය. ප්‍රවීණ දේශපාලනඥයෙකු හා හිටපු ඇමතිවරයෙකු වන ඩිව් ගුණසේකර මහත්මා පසුගියදා කළ ප්‍රකාශයකින්ද මෙම සංවාදයට තවත් උත්තේජනයක් ලැබී ඇත්තේය. පාර්ලිමේන්තුවක් තුළ සිටිය යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනය, නීති සම්පාදනය, මූල්‍ය අධීක්‍ෂණය සහ ජනතා (අදහස්) නියෝජනය කළ හැකි මන්ත්‍රීවරුන් බවත්, පසුගිය පාර්ලිමේන්තුවේ එවන් මන්ත්‍රීවරුන් සිටියේ අතලොස්සක් බවත් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු ධූර කාලය තුළ එක දිනයක හෝ එක් වචනයක් හෝ කතා නොකළ මන්ත්‍රීවරුන් සිටිනා බවද ඩිව් ගුණසේකර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. 
ලාංකේය සමාජය තුළ ක්‍රියාකාරී දේශපාලනඥයන්ගේ ගුණාත්මකභාවය මෙතරම් දරුණු ලෙස ඛාදනය වන්නට පටන් ගත්තේ 1978න් පසුව බව අපගේ නම් අදහස වන්නේය. භූගෝලීය වශයෙන් කළමනාකරණය කරගත හැකි ප්‍රදේශයකට සීමාවී තිබුණු මැතිවරණ කොට්ඨාස ක්‍රමය වෙනුවට පරිපාලන දිස්ත්‍රික්කයක් පුරාවට දේශපාලනයෙහි නිරත වීමේ අවශ්‍යතාවය මතුව ආවේ, 1978දී හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අඩංගු වූ නව ඡන්ද ක්‍රමය හරහාය. පරිපාලන දිස්ත්‍රික්කයක් තරම් වූ විශාල භූමි ප්‍රදේශයක දේශපාලනයේ නිරත වීමට සෑහෙන ධනස්කන්ධයක් අවශ්‍ය වන බැවින්, ඒ මට්ටමට වත්පොහොසත්කම් නැති උදවිය ක්‍රමයෙන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත්වන්නට පටන් ගත්තේය. වඩා ප්‍රජාතන්ත්‍රවාදී යැයි සැලකෙන සමානුපාතික ඡන්ද ක්‍රමයට මනාප ක්‍රමයක් ද ඈඳීම නිසා තත්ත්වය තවත් නරක අතට හැරුණේය. ප්‍රතිවාදී පක්‍ෂවල දේශපාලනඥයන් අතර පමණක් නොව එකම පිළේ අපේක්‍ෂකයන් අතර පවා ගැටුම් ඇති කළ මනාප පොරය රටේ දේශපාලන සංස්කෘතිය දරුණු සෝදාපාළුවකට ලක්කළේය. මීට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම, විශ්‍රාම වැටුපක් ද සහිත ආකර්ෂණීය ධනෝපායන මාර්ගයක් බවට පත්වූයේ ද 78න් පසුවය. දේශපාලනයේ නිරත වීම සමාජ සේවයක් වෙනුවට ලාභදායී රැකියාවක් බවට පත්වූයේ ද 78න් පසුවය.
මහජන නියෝජිතයන් ලෙස සේවය කිරීමට තරම් සුදුසුකම් නොමැති, එතරම් උගත්කමක් හෝ බුද්ධියක් නොමැති උදවිය ක්‍රියාකාරී දේශපාලනයට පා තැබුවේ මෙම පසුබිම තුළය. අල්ලස් හා දූෂණ චෝදනා එල්ලවූවන්, කැසිනෝ හා ගණිකා මඩම් වැනි සමාජ විරෝධී ව්‍යාපාරවල නිරතවූවන්, මත්කුඩු සහ එතනෝල් ජාවාරම්කරුවන් බුරුතු පිටින් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, ප්‍රාදේශීය සභාවට පත්වන්නට පටන් ගත්තේ මෙම පසුබිම තුළය. අතීතයේ ද මෙවැනි උදවිය ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ අවස්ථා ඉඳහිට දක්නට ලැබුණු බව ඇත්තක් වුවද, මෑත කාලයේ එම තත්ත්වයේ සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන්නේය. ප්‍රවීණ දේශපාලනඥ ඩිව් ගුණසේකර මහතා අපට පෙන්වා දෙන්නේ මෙම ඛේදණීය තත්ත්වය ය.
අද තත්ත්වය මෙතරම් කනගාටුදායක වුවද, අතීතයේ අපේ පාර්ලිමේන්තුව මීට වඩා ඉහළ මට්ටමක පැවති බව මොහොතකට ඉතිහාසයට එබී බලන කෙනෙකුට පහසුවෙන් දැනගත හැකි වන්නේය. 1931 දී සර්වජන ඡන්ද බලය ලැබීමෙන් පසුව තෝරා පත්කර ගන්නා ලද ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව පනස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඉන් 18 දෙනෙක් ම නීතිඥයෝ වූහ. එක් ඉංජිනේරුවෙක් මෙන්ම වෛද්‍යවරු දෙදෙනෙක් ද ඒ අතර වූහ. ගුරුවරුන් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු ද පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි අතර, ඉඩම් හිමි වැවිලිකරුවෝ 15 දෙනෙක් ද ඒ අතර වූහ. එදාමෙදා තුර ගතවූ වසර 85ක කාලය තුළ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රැකගනිමින් රටේත් ජනතාවගේත් උන්නතිය උදෙසා කැපවුණු මන්ත්‍රීවරුන් කොතෙකුත් සිටි අතර, අදටත් අප රට තුළ යම් මට්ටමකින් හෝ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකී පවතින්නේ ඔවුන්ගෙන් ඉටුවුණු ඒ මෙහෙවර නිසාවෙනි.

                   ආචාර්ය එන්.එම් පෙරේරා
            කොල්වින් ආර් ද සිල්වා

වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා වසර 42ක කාලයක් මන්ත්‍රීවරයෙකුව සිටිමින්, ලාංකේය පාර්ලිමේන්තු ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ විශිෂ්ඨ ගණයේ උගතෙකි, බුද්ධිමතෙකි. මුදලට ආචාර්ය පට්ටම් ලබාගත් මෑතකාලීන දේශපාලනඥයන් මෙන් නොව එංගලන්තයේ විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකක් ම ලබා සිටි නිසා, “ඩබල් ඩොක්ටර්” නමින් හඳුන්වනු ලැබූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විසින් පාර්ලිමේන්තුවේ පවත්වන ලද දේශන දේශපාලන විද්‍යාව හදාරන සිසුනට අත්පොතක් බඳු වන්නේය. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් ලංකාවට හඳුන්වාදීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇන්.ඇම්. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සකස් කිරීමේදී ද මූලිකත්වය ගෙන කටයුතු කළ ආදර්ශමත් මන්ත්‍රීවරයෙකි. ඇන්.ඇම්.ගේ දේශපාලන සගයකු වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ද ඇන්.ඇම්.ට නොදෙවෙනි සේවයක් ඉටු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඇන්.ඇම්. පරිද්දෙන්ම, කොල්වින් විසින් ද පාර්ලිමේන්තුවේ කරන ලද කතා ක්‍රියාකාරී දේශපාලනඥයන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට ද එකසේ ප්‍රයෝජනවත් වන්නේය. සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමට තීරණය කළ අවස්ථාවේදී, “භාෂා දෙකයි, එක් රටයි; එක් භාෂාවයි, රටවල් දෙකයි” යන මැයින් කොල්වින් කරනා ලද අනතුරු ඇඟවීම අදටත් වලංගු වන්නේය.
මෙයාකාරයට, ලාංකේය පාර්ලිමේන්තුව තුළ පමණක් නොව ලෝකය පුරා ම පිළිගැනීමට ලක්වූ මන්ත්‍රීවරුන් බොහොමයක් සිටි අතර, ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා ද මෑත කාලයේ ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වූ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන්නේය. 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන්නට පෙරාතුව, කදිරගාමර් මහතා ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේ නැත. ඒ වනවිට ඔහු කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙකු නොවූවා පමණක් නොව, එක් වතාවක් හෝ දේශපාලන රැළියක් අමතා තිබුණේ ද නැත. එහෙත්, 2005 අගෝස්තු 12 වැනිදා එල්ටීටීඊ මිනීමරුවෙකු අතින් ඝාතනයට ලක්වන තෙක්, දශකයක කාලයක් තිස්සේ ලක්‍ෂ්මන් කදිරගාමර් නමැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතින් සිදුවූ සේවය අති මහත්ය. මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහිවූ හොඳම විදේශ අමාත්‍යවරයා ලෙස සැලකෙන කදිරගාමර් මහතා, වසර 85ක ලාංකේය පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වූ විශිෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවට අනිවාර්යයෙන් ම එකතු වන්නෙකි.
කෙසේ වුවද, පාර්ලිමේන්තුවට තෝරා පත්කරගත යුත්තේ හුදෙක් උගතුන් පමණක්ය යන සාවද්‍ය ආකල්පය මෙහිලා අප විසින් ඇතිකර නොගත යුතුය. උගත්කමින් අගතැන්පත් සමහර උදවිය ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමෙන් පසුව පිස්සු නටනා අයුරු, මෑත කාලයේ අපට කොතෙකුත් දැකගන්නට ලැබී ඇත්තේය. සමහර උගත් දේශපාලනඥයන් සිය උගත්කමට මුවා වී ජනතාව නොමඟ යවන අයුරු, අපට කොතෙකුත් දැකගන්නට ලැබී ඇත්තේය. මහජන සේවයට ඉදිරිපත් වන දේශපාලනඥයන් සතුව තිබිය යුතු වඩා වැදගත් සුදුසුකම උගත්කම ද බුද්ධිමත්බව ද යන ප්‍රශ්නය අප විමසිය යුතුව ඇත්තේය. කිසියම් පුද්ගලයෙකු උගතෙකු වූ පමණින් ම බුද්ධිමතෙකු නොවනා බවත්, එමෙන්ම උගතුන් හැම විට ම දක්‍ෂ නායකයන් නොවනා බවත් අප තේරුම් ගත යුතුව ඇත්තේය.
බුද්ධිය යනු කුමක්දැයි නිවැරදි අර්ථකතනයක් සැපයීම මනෝ විද්‍යාඥයන් හමුවේ ඇති අසීරු කාර්යයක් වන අතර, බුද්ධිමත් බව සහජයෙන් උරුමවන්නක් ලෙසද ඇතමෙක් සලකති. අපේ බුද්ධි මට්ටම නිරූපණය වන්නේ අපේ හැකියාවන් සහ නිපුණතා හරහාය. ඕනෑම පුද්ගලයෙකු සතුව බහුවිධ බුද්ධිමය හැකියාවන් පවතින අතර, ඒවා එක් එක් පුද්ගලයා තුළ එක් එක් මට්ටම්වලින් පවතින්නේය. අපගේ බුද්ධිමය හැකියාවන් වර්ධනය කරගැනීමට (ඔප්නංවා ගැනීමට) අධ්‍යාපනය හරහා මංපෑදෙන අතර, ඒ අනුව බලනා විට නිවැරදි අධ්‍යාපනයක් ලැබූ තැනැත්තා බුද්ධියෙන් ද ඉහළ මට්ටමක සිටිය යුතුය. වෙනත් වචනවලින් කියතොත්, අධ්‍යාපනය හරහා දැනුම ලබාදීමට අමතරව, නිපුණතා සංවර්ධනයක් ද සිදුවිය යුතුය. අදාල පුද්ගලයාගේ බුද්ධි මට්ටම වර්ධනය වන්නේ මෙම නිපුණතා සංවර්ධනය හරහාය. සහජයෙන් උරුම වූ බුද්ධිය වර්ධනය කරගැනීම සඳහා ඉගෙනීම සහ පුහුණුව අවශ්‍ය වන්නේය. එහෙත්, අධ්‍යාපනය හුදෙක් දැනුම ලබාදීමට පමණක් සීමා වූ විට, එබඳු අධ්‍යාපන පද්ධතියකින් බිහිවන උගතා බුද්ධිමතෙකු වන්නේ නැත. අද සමහර ලාංකික උගතුන් නිසි කලට වේලාවට, නිවැරදි තීන්දු-තීරණ ගත නොහැකිව පොතේ ගුරන් බවට පත්ව සිටින්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇති දුර්වතා හේතුවෙනි. මේ පොතේ ගුරන් දේශපාලනඥයන් බවට පත්වූ විට ද, තීන්දු-තීරණ ගන්නේ අඳ බාලයන් ලෙසය.
මෑත කාලයේ සමාජ විද්‍යාඥයන් විසින් ගොඩනගනා ලද, “දේශපාලන බුද්ධිය” නමැති සංකල්පය තරමක් දුරට හෝ වටහා ගැනීම ද මෙහිලා ප්‍රයෝජනවත් වනු ඇත්තේය. ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන ඕනෑම පුද්ගලයෙකු සතුව තිබිය යුතු මෙම “දේශපාලන බුද්ධිය” සංරචක කිහිපයකින් සමන්විත වන්නේය. සමාජ ක්‍රියාකාරිත්‍වය නිවැරදිව අවබෝධ කරගැනීමේ හැකියාව, බලය නමැති සංකල්පය නිවැරදිව අවබෝධ කරගැනීමේ හැකියාව හා බල ව්‍යුහය ප්‍රතිසංස්කරණ කිරීමට (ඊට බලපෑම් කිරීමට) ඇති හැකියාව, සමාජය තුළ තීරණ ගැනීමේ ක්‍රියාදාමය වටහා ගැනීම සහ ඊට බලපෑම් කිරීමේ හැකියාව යනාදී ගතිලක්‍ෂණ දේශපාලන බුද්ධියක් සතු අයෙකු තුළ තිබිය යුතුය. මීට අමතරව, බුද්ධිමත් දේශපාලනඥයා හැමවිටම දක්‍ෂ සන්නිවේදයෙකු විය යුතුය. (මින් අදහස් කෙරෙන්නේ අපේ සමහර දේශපාලනඥයන් මෙන් බොරුව ඇත්ත කර පෙන්වමින් ව්‍යාජ රංගනයක යෙදීමේ හැකියාව නොවේ.) සමාජය තුළ තොරතුරු ගලායන ක්‍රමවේදය තේරුම් ගැනීම සහ තමා ඒ ප්‍රවාහය තුළට ඇතුල් කරගැනීමේ හැකියාව, ස්වකීය දේශපාලන මතවාද හා ඉලක්ක සාක්‍ෂාත් කරගැනීමට සහායක ජාලයක් පවත්වා ගැනීමේ හැකියාව, දේශපාලන බුද්ධියට අයත් වන අනෙකුත් ලක්‍ෂණ වන්නේය.
මේ අනුව බලනා විට, මහජන නියෝජිතයන් ලෙස අප පත්කරගත යුත්තේ හුදෙක් දැනුමට පමණක් කොටුවූ පොතේ ගුරන් නොව, උගත්කමට සරිලන බුද්ධියක් ද ඇති උදවිය බව පැහැදිලිය. උසස් අධ්‍යාපන සුදුසුකම් තිබූ පමණින්, බුද්ධිමත්ව තීරණ ගැනීමේ හැකියාවක් නොමැති උදවිය රටේ නායකත්‍වයට, මහජන සේවයට නොගැලපෙන බව මේ අනුව පැහැදිලිය. ඒ අතර ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකුට යම් මට්ටමක හෝ අධ්‍යාපන සුදුසුකමක් නොමැති විට (මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් අ.පො.ස (සා.පෙ.) හා අ.පො.ස (උ.පෙ.) අසමත් අය වූ විට), ඒ පාර්ලිමේන්තුවේ ගෞරවය හීනවන බවද අප අමතක නොකළ යුතුය. අඩුම තරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා බලා තේරුම් ගැනීමට හැකියාවක් නොමැති උදවිය, අප වෙනුවෙන් නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වීමට නුසුදුසු බව ද අප අමතක නොකළ යුතුය. ඉහත කරුණු සැලකිල්ලට ගෙන, උගත් බුද්ධිමතුන් (නැතිනම් බුද්ධිමත් උගතුන්) කිහිප දෙනෙකු හෝ පාර්ලිමේන්තුවට පත්කිරීමට, ලබන අගෝස්තු 5 වැනිදා අපේ වටිනා කතිරය යොදා ගනිමුද?

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *