පාසල් අරින්නේ අදියර හතරකින් – ඩලස්

“පාසල් ආරම්භ කිරීමේ පළමු අදියර ලෙස සියළු පාසල් විෂබීජහරණයට ලක්කරනවා. අපට සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී තිබෙන්නේ විෂබීජහරණය කර දින හතරක් පාසල් වසා තබනා ලෙසයි. දෙවැනි අදියර යටතේ විදුහල්පතිවරු හා ගුරුභවතුන් පාසලට පැමිණ අවශ්‍ය කටයුතු යොදනවා. තෙවන අදියර යටතේ සාමාන්‍ය පෙළ හා උසස්පෙළ දරුවන් පාසලට ගෙන්වනවා. අවසන් අදියර ලෙසයි ප්‍රාථමික අංශ දරුවන් පාසලට ගෙන්වන්නේ.
පාසල් නැවත විවෘත කිරීමට පෙර දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. එහිදී දරුවන්ට දෑත් සේදීමට අවශ්‍ය ස්ථාන හා උපකරණ සැකසිය යුතු වෙනවා. එමෙන්ම දරුවන්ගේ ශරීර උෂ්නත්වය මැනීමේ උපකරණ පාසල් වලට දෙන්න සැලසුම්කර තිබෙනවා. එහිදී දරුවන් සියයක් සිටිනා පාසලකට එක් උපකරණයක්. තුන්සියයක් නම් උපකරණ දෙකක්. පන්සියයක් නම් උපකරණ තුනක් ලෙස ලබාදිය යුතුව තිබෙනවා.හ යැයි අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම පවසයි. මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (11) දින පැවති කොරෝනා පාලන කමිටු රැස්වීමට එක්වෙමින් එලෙස පැවසූ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“පාසල් නැවත ආරම්භ කිරීම ගැන සැවොම අහනවා. රට සාමාන්‍යකරණය කිරීමේ අවසන් අදියර ලෙස දරුවන් පාසලට ගෙන එනවා. පාසල් ආරම්භකරන දිනය ලබන සතියේ ප්‍රකාශයට පත්කර පෙර කී අදියර හතර යටතේ පාසල් නැවත ආරම්භ කිරීමට පියවරගන්නවා.”

“පාසල් ආරම්භකරනා විට දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගන්නා පියවර සඳහා ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන වල සහාය ලබාදෙන්න ඕන. පාසලට අවශ්‍ය උපකරණ සකසාගැනීමේදී උදව් කිරීම අත්‍යවශ්‍යයි. ඒ හැමදේම කරන්නේ අනාගත දරුපරපුර වෙනුවෙන් බව මතකයේ තබාගන්න”. යැයිද අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මෙහිදී පැවසීය.
“අද වන විට අප ආරක්ෂිත රටක් කියා ලෝකයේ ප්‍රචාරයවී තිබෙනවා. වෙබ් අඩවි වල ඒ ගැන සඳහන්වෙනවා. අපේ රට හොඳම සංචරණ රටක් ලෙස දැන් ලෝකයේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙනවා. එය අපේ රටේ ඉදිරි ආර්ථික සංවර්ධනයට ලොකු පිටුවහලක් වෙනවා. මෙම නම හදාගන්න මුළු රටම එකාවන්ව වැඩකරනා විට මාතර දිස්ත්‍රික්කයෙන් ටීම් එකක් විදියට වැඩකර ලොකු සහායක් දුන්නා ඒ කැපවුණ හැම කෙනෙකුටම ස්තූතිය පලකරනවා.” යනුවෙන් අැමතිවරයා කොරෝනා මර්ධනයට එක්වූ සැමට ස්තූතිය පිරිනැමීය.
මෙම අවස්ථාව සඳහා පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මාතර දිස්ත්‍රික් ලෙක්ම් ප්‍රදීප් රත්නායක, මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *