පැණි අනුමැතියට සායනික පරීක්ෂණ එපා – දේශීය වෛද්‍යවරු

දේශීය ආයුර්වේද වෛද්‍යවරු පාරම්පරික ඖෂධ වට්ටෝරු භාවිත කරමින් කොවිඩ් වෛරසය මර්දනය කිරීම සඳහා සකස් කරන ඖෂධ රෝගීන්ට ලබා දීමට අවස්ථාවක් නොදී ඖෂධය සඳහා අනුමැතිය ලබා දීමට සූත්‍ර කමිටුව හා ආචාරධර්ම කමිටුව විධිමත් සායනික වාර්තාවක් ලබාගෙන පැමිණෙන ලෙස දැනුම් දීම බලවත් අසාධාරණයක් බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු මහතා පවසයි.මෙරට කිසිදු කොවිඩ් ආසාදිත රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාව නොදී සායනික වාර්තාවක් ලබා ගන්නේ කෙසේද යන්න තමන්ට පැහැදිලි කරන ලෙස සූත්‍ර හා ආචාරධර්ම කමිටු වලින් තමන් ප්‍රශ්න කරන බවද ඒ මහතා කීය.දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානයේ මෙහයවීමෙන් පේරාදෙණියේදී ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේය. බටහිර වෛද්‍ය ප්‍රතිකාර මගින් සුවකළ නොහැකි යැයි කී රෝගීන්ව හෙළ වෙදකම තුළින් සුව කිරීමට අපේ දේශීය වෛද්‍යවරු සමත්වූ අවස්ථා මෑත ඉතිහාසයේ පවා දක්නට ලැබෙන බවත් එවැනි පසුබිමකදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාව නොදීම කණගාටුවට කරුණක් බවත් හෙතෙම පැවසුවේය.මෙහිදී අදහස් දැක්වූ කොවිඩ් දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානයේ නායක වෛද්‍ය ඩී.බී රත්නායක මහතා කොවිඩ් වෛසරය මර්දනය කළ හැකි ඖෂධ ගණනාවක් දේශීය වෛද්‍යවරු පැරණි පුස්කොළ පොත් භාවිත කර නිපදවා තිබෙන බවත් ඒවා භාවිතය මගින් ශරීරයට අහිතකර බලපෑමක් නොවන බව බණ්ඩාරනායක පර්යේෂණ ආයතනය මගින් තහවුරුකර තිබෙන බවත් කීය. දේශීය වෛද්‍ය ආර්.එම් රත්නායක මහතා කතා කරමින් විදේශ රටවල නිෂ්පාදනය කරන එන්නත් ලබාදුන් රෝගීන් මරණයට පත්ව තිබෙන බවත් එසේ තිබියදී ඒවා කෙරෙහි විශ්වාසය තබමින් කිසිදු අතුරු ආබාධයක් නොමැති දේශීය ආයුර්වේද ප්‍රතිකර්ම වලට අවස්ථාව නොදීමෙන් බලධාරීන් උත්සහ කරන්නේ අපේ පාරම්පරික ප්‍රතිකර ක්‍රම හෑල්ලුවට ලක් කිරීමටද යන ප්‍රශ්නය පැන නගින බවත් පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *