පෑලියගොඩ ඇග්රිස්ටාර් සේවකයන් කන්ටේනර් පෙට්ටි තුනක

පී.සී.ආර් දෙකම නෙගටිව්

31ක් කන්ටේනර් පෙට්ටි තුනක

නව සාර්ස් කොරෝනා වයිරස ආසාදනයට ගොදුරුව ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා සිදුකළ දෙවන පී.සී.ආර් පරීක්ෂණයේ ප්‍රථිඵලයද නෙගටිව් ලෙස සටහන්ව තිබියදී වගකිව යුතු බලධාරීන්ගේ නොසැළකිල්ල නිසා ඇග්රිස්ටාර් සමාගමේ සේවකයන් 31දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සිරව සිටින බව ඔවුන් පවසයි.

අවශ්‍ය අවම පහසුකම් පවා නොලැබ ආහාර හා වෙනත් සැපයුම්ද අවම මට්ටමකට පත්ව ඇති තමන් ඇතුළු පිරිස දැඩි මානසික ආතතියකට පත්ව ඇති බව සමාගමේ ඒකක කළමනාකරු අප වෙබ් අඩවිය හා පැවසීය.

කළමනාකරු ඊ.ආර්.පී.ඩබ්ලිව් කුමාර අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ “පෑලියගොඩ ෆිෂ් මාර්කට් එකේ අහඹු ලෙස කරපු පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රථිඵල විදියට දැනගත්තා 150කට කොවිඩ් හැදිලා කියලා.  ඊටපස්සේ බලධාරීන් කළේ මාලු මුදලාලිලයි සේවකයොයි හැමෝම නිරෝධායනයට අවශ්‍ය පියවර ගත්ත එක. ඒ වෙලාවේ අපිටත් පී.සී.ආර් කළා. හැබැයි 31දෙනාගෙම රිපෝ්ට්ස් නෙගටිව්. ඒ වුණාට අපිට යන්න දුන්නෙ නැහැ.  මොකද ඇග්රිස්ටාර් කොම්පැනිය කරන්නෙ මාලු අපද්‍රව්‍ය රිසයිකල් කරලා සත්ව කෑම හදන්න වුවමනා කරන ෆිෂ් ප්‍රෝටීන් එකක් හදන එක. අපිට කිව්ව ඒ වෙනකොට මාර්කට් එකේ තිබ්බ ෆිෂ්  වේස්ට් සහ මාලු ඔක්කොම රිසයිකල් කරන්න කියලා. අපි වැඩේ භාරගෙන රට ගැන හිතලා දවස් 06ක් ඇතුළත ටාගට් එක කවර් කළා. හැබැයි ඒත් අපිට යන්න දුන්නෙ නැහැ.”

ඒ අනුව පසුගිය මස 27වනදින අදාල රාජකාරි නිමා කළද ඇග්රිස්ටාර් සමාගමේ සේවක පිරිසට නිවෙස් වෙත යාමට අවශ්‍ය පහසුකම් සළසා නොදුන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සිදු කළේ ඔවුන් මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට යාබද නිෂ්පාදන පර්යන්තයේ ගාල් කිරීම බව ඔවුන් පවසයි.

“මෙතැන අපිට තියෙන්නෙ අවම පහසුකම්. අපි 31 දෙනාට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ කන්ටේනර් පෙට්ටි තුනක. දැන් කෑම බීම ලැබෙන්නෙ නැහැ.  මුලදි ආවා පී.එච්.අයි, ග්‍රාම නිලධාරි මහත්තයා දැන් එන්නෙත් නැහැ.  දුන්න කොත්තමල්ලි ටික දැන් දෙන්නෙත් නැහැ.” යනුවෙන් පවසමින් තමන්ට අත්කර දී ඇති ඉරණම ගැන විරෝධය දක්වන්නේ එසේ රඳවා සිටින සේවක පිරිසය.

දිවයිනේ විවිධ පළාත්වල සිට පැමිණ මෙම සත්ව ආහාර නිෂ්පාදන පර්යන්තයේ සේවය කරන ඔවුන් සියලු දෙනා පසුගිය 05 වැනිදා නැවත පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කර තිබේ.

“05 වෙනිදා ආයෙම ටෙස්ට් එක කළා. ඒකෙනුත් අපි 31 දෙනාම නෙගටිව්. ඉතිං අපි හිතුවා ගෙවල්වලට යන්න දෙයි කියලා. ඒත් දැන් දවස් 05ක් වෙනවා අපි හිරේ දැම්ම වගේ.  එම්.ඕ.එච් එකට කතා කළාම කිව්වා වසංගත රෝග ඒකකයට කියන්න කියලා. එහාට කිව්වම ඉහළට කියන්න කිව්වා. අන්තිමට අපි ජනාධිපති කාර්ය සාධක බලකායටත් කිව්වා. එයාලා කියනවා මේක එම්.ඕ.එච් එකේ වැඩක් කියලා.” යනුවෙන්ද මේවනවිට දැඩි පීඩාවකට හා මානසික ආතතියකට ගොදුරුව සිටින සේවකයෝ පවසති.

සේවකයන් පවසන අන්දමට සමාගමේ සියලු බලධාරීන්ද නිෂ්පාදන පර්යන්තය තුළ රඳවා සිටින හෙයින් ඔවුන්ටද ගත හැකි පියවරක් නැත. “අපි ඉල්ලන්නේ නිරෝධායනයට යටත් කරලා හරි නැත්නම් වෙන මධ්‍යස්ථානයක රඳවලා දවස් 14කට පස්සේ ගෙදර යවන්න හරි අපිව මෙතැනින් එළියට ගන්න කියල. දැන් අපි උපරිම මානසික පීඩාවක ඉන්නේ”යනුවෙන්ද ඔවුහු පවසති.

මේ පිළිබඳව අප කළ විමසුමට පිළිතුරු දුන් කැළණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක වික්‍රමසූරිය මහතා පැවසුවේ, රඳවා සිටින සේවක පිරිස පී.සී.ආර් පරීක්ෂණයෙන් නෙගටිව් වුවද පසුගිය 05වැනිදා සිදුකළ පරීක්ෂණයෙන් කොවිඩ් 19 පොසිටිව් 11දෙනෙකු හමුවූ බවත් විවිධ ඒකකවලට අයත් ඔවුන් අතුරින් එක් අයෙකු ඇග්රිස්ටාර් සමාගමේ සේවකයෙකු බවත් ය. ඒ අනුව තවත් දින 14ක් මෙම සේවක පිරිස දැනට ඔවුන් රැඳී සිටින ස්ථානවලම රඳවා තබන ලෙස වසංගත විද්‍යා ඒකකයේ උපදෙස් ලැබී ඇති බවද ඔහු පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පළ කළ අදහස් පිළිබඳව සේවක පිරිස දරන මතය වන්නේ තමන් රෝගය වැළඳී ඇතැයි පැවසෙන පිරිස සමඟ ඇසුරු නොකළ බවයි.

කෙසේවෙතත් තමන් විරෝධය දක්වන්නේ මෙම ස්ථානයේ රඳවා තැබීමට බවත් නිවෙස්වල හෝ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වීමට විරුද්ධ නොවන බවත් ඔවුන් පවසයි.

 

ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *