පුද්ගලික ජල උල්පත් රජයට පවරා ගත යුතුයි – මහනුවර දිසාපති

ජලය පොදු සම්පතක් ලෙස සලකා පෞද්ගලික ඉඩම්වල පවතින ජල උල්පත් රජයට පවරාගත යුතු බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.

උඩරට වතු සමාගම්වලට අයත් ඉඩම්වල ජල උල්පත් රැසක් පවතින බවත් ජනතාව ජලය නොමැතිව පීඩා විඳිත්දී එම උල්පත් ජලය ඔවුන් පෞද්ගලික පරිහරණයට යොදා ගන්නා බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මෙහෙයවීමෙන් පසුගියදා (22) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති ජල සේවා කර්මාන්තය සම්බන්ධ මධ්‍යම පළාත් උපදේශන රැස්වීමේදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

වතු සමාගම්වලට අයත් ඉඩම්වල ඇති උල්පත්වලින් නිකුත් වන ජලය ඒවාහි පාලකයින් ඔවුන්ට අවශ්‍යය ලෙස පාවිච්චි කරන බවත් එම ජලය වෙනත් අයගේ පානීය ජල අවශ්‍යතා හෝ ගොවි අවශ්‍යතා වෙනුවෙන් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස් විය යුතු බවත් කී ඒ මහතා ඒ සඳහා ඇති හොඳම විසඳුම ජලය පොදු සම්පතක් ලෙස සලකා ඒවා රජයට පවරා ගැනීම බවද අවධාරණය කළේය.

මහනුවර දිස්ත්‍රික්කයේ නළ ජලය ලබාදී තිබෙන්නේ සමස්ත ජනගහණයෙන් 60% කට පමණක් බවත් ඉතිරි 40% ක පිරිසට පිරිසිදු පානිය ජලය ලබාදීම අප හමුවේ පවතින අභියෝගය බවත් හෙතෙම කීවේය.

ජලය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කිරීම සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් මෙරට ගොවිතැන් කටයුතු වලදී අවශ්‍යය ජල ප්‍රමාණය මෙන් සිව් ගුණයක් ජලය භාවිත කෙරෙන බවත් ඒ මහතා කීය.

තාක්ෂණය කොතරම් දියුණුවී තිබුණත් නළ ජලයද 40% ක පමණ ප්‍රමාණයක් අපතේ යන බවත් මහනුවර මහ නගර සභාවේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරත්දී තමන් මෙම තත්ත්වය අත්දුටු බවත් තෙන්නකෝන් මහතා පැවසුවේය.

පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලෙස එක් එක් ආයතන වලට බලතල බෙදී ගොස් තිබීම නිසා යම් ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට යාමේදී අදාළ පළාත් පාලන ආයතනයේ කොන්දේසි හා නියමයින් අනුව යමින් එය ක්‍රියාත්මක කිරිමට උත්සහ කිරීමේදී ගැටලු මතුවන බවත් එය අවම කිරීම පිණිස ජලය වැනි මූලික අවශ්‍යතා සපිරීමේදී සියලු ආයතන එක්ව ඒකාබද්ධ වැඩසටහනක් සකස්කර එය ක්‍රියාවට නැන්වීම වඩා ප්‍රායෝගික වනු ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙහිදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න,ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහචාර්ය කිත්සිරි ලියනගේ, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ, ජල සම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.සී.එම් නෆීල් යන මහත්වරුද කතා කළහ.

 

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *