පුරාවිද්‍යා ස්ථානය වැනසූ අපේ ජනබල ලේකම් හිමි අල්ලන්න සොයයි
මහනුවර අස්ගිරි මහ විහාර සංකීර්ණයේ පිහිටි ඓතිහාසික හා පෞරාණික වටිනාකමින් යුත් ගොඩනැගිල්ලකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපේ ජන බලවේගය පක්ෂයේ ලේකම් බව කියන වේදිනිගම විමලතිස්ස හිමි අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි. අස්ගිරි මහ විහාර සංකීර්ණයේ පිහිටි වසර 700 ක් පමණ පැරණි වැල්ලව විහාර භූමියේ පෞරාණික ගොඩනැගිල්ලකට අදාළ හිමිනම විනාශයක් සිදුකර තිබෙන බව එම විහාරස්ථානයේ විහාරාධිපති බව කියන කලංකුට්ටියේ රාහුල හිමි මහනුවර පොලීසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් සිදුකර තිබේ.
එම පැමිණිල්ලට අනුව පොලීසිය විසින් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විහාර භූමියේ පෞරාණික වටිනාකම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගෙන ඇත.එම වාර්තාවට අනුව වැල්ලව විහාර භූමිය පෞරාණික වටිනාකමින් යුත් ස්ථානයක් බවත් එහි මැද මිදුල කොටසේ සිදුකර තිබෙන අනවසර ඉදිකිරීමක් හේතුවෙන් පුරාවිද්‍යා ආඥාපනත උල්ලංඝනය වී තිබෙන බවත් තහවුරුව තිබේ. මෙම විහාරස්ථානයේ බලහත්කාරයෙන් රැඳී සිටිමින් අදාළ හිමිනම මෙම පුරාවිද්‍යා විනාශය සිදුකර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
මේවන විට සැඟවී සිටින වේදිනිගම විමලතිස්ස හිමි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙන බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පවසයි.