පූජනීය වෙස් ඇඳුමට මුඛ වාඩම් ඇන්දූ මහදැනමුත්තෝ..

දළඳා මාලිගාවේ පොසොන් පෙරහැර මංගල්‍යයේදී උතුම් වෙස් ඇඳුම් කට්ටලය විකෘති කර කෙළෙසා ඇතැයි පවසන උඩරට නර්තනයේ නිරත දෙටු කලාකරුවන් පවසන්නේ තමන් ඒ පිළිබඳව කම්පා වන බවයි. පොසොන් පොහොය නිමිති කොටගෙන සිරිත් පරිදි පැවැත්වෙන පෙරහැර මංගල්‍යයේ නර්තන ශිල්පීන්ට මුඛවාඩම් හා අත්වැසුම් පළඳා තිබූ අතර එවැන්නක් පෙරහැර ඉතිහාසයේ සිදු වූයේ මුල්වරටය. කොවිඩ් 19 වසංගතය නිසා මෙවර මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ පොසොන් පෙරහැර, මාලිගාව අභ්‍යන්තර පරිශ්‍රයේ සීමිත කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති බව එහි මාධ්‍ය අංශය නිවේදනය කළ අතර අප විසින්ද එහි විස්තර පළ කරනු ලැබීය. එහෙත් එහිදී පාරම්පරික ශිල්පීන්ගේ නර්තන ඇඳුම් කට්ටලවලට මුඛවාඩම් හා අත්වැසුම්ද එකතු කරන්නට ක්‍රියා කර තිබුණි. ශිල්පීන් පවසන්නේ මෙය විශේෂයෙන් වෙස් ඇඳුම් කට්ටලය ඇතුළු ඉපැරණි නර්තන ආයිත්තම්වලට කළ නිගරුවක් බවයි.

නර්තන ඉතිහාසය පිළිබඳ විශ්වාස පද්ධතියට අනුව උඩරට නැටුම් කලාව ආරම්භ වන්නේ, පඬුවස්දෙව් රජ සමයේ ය. ඒ පඬුවස්දෙව් රජුට ඇති වූ දිවිදොස දුරු කිරීම පිණිස මලය රජු විසින් පවත්වන්නට යෙදුණු කොහොඹා කංකාරි ශාන්තිකර්මය නිසා ය. උඩරට පාරම්පරික ශිල්පීන් විශ්වාස කරන්නේ සිය පරම්පරාවල ආදිතමයන්ට මලය රජු විසින් කොහොඹා කංකාරිය පැවැත් වූ අවස්ථාවේ මේ නර්තන ශිල්පය ඉගැන් වූ අතර රජු පැළඳ සිටි වෙස් ඇඳුම් කට්ටලයද පිරි නැමූ බවයි. ඒ අනුව වෙස් ඇඳුම් කට්ටලය පූජනීය හා දිව්‍යමය උරුමයක් ලෙස ඔවුන් සළකයි. අප හා අදහස් දැක් වූ ජ්‍යෙෂ්ඨ නර්තන ශිල්පියෙකු පැවසුවේ, වෙස් ඇඳුම් කට්ටලයක් ශිල්පියෙකුගේ නිවසේ තිබීම දේවාලයක් තිබීම හා සමාන බවයි. එවැනි පසුබිමක් තුළ අත්වැසුම් හා මුඛවාඩම් පළඳින ලෙස නර්තන ශිල්පීන්ට උපදෙස් ලබා දීම දුර දිග නොසිතා සිදු කළ නොගැලපෙන ක්‍රියාවක් බව ඔවුන්ගේ අදහසයි.

ඡායාරූපය – ශ්‍රී දළඳා මාලිගාවේ මාධ්‍ය අංශයේ එකතුවෙනි.

ආක්‍රමනිකයන්ගේ පාලන සමයන්හිදී පවා මූලික වතාවත් පමණක් සිදු කරමින් ඇතැම් පෙරහැර කර්මයන් මඟ හරින්නට ඇතැයි පවසන ශිල්පීන් පෙන්වා දෙන්නේ රටේ තත්ත්වය අයහපත් නම් පෙරහැර නොපවත්වා ඉන්නට තිබූ බවයි. නොඑසේනම් මාලිගා පරිශ්‍රයට ඇතුළු කරගන්නා ප්‍රධාන පිවිසුමේදී ශිල්පීන් හා ඇඳුම් ආයිත්තම් විෂබීජහරණය කරන්නට හෝ පෙරහැරට යොදාගන්නා ශිල්පීන් දින 14ක නිරෝධායන කාලයකට යටත් කරන්නට තිබූ බව ඔවුහු පවසති.

සිය වෙස් ඇඳුම් කට්ටලය පූජනීය වස්තුවක් ලෙස සළකන හෙයින් ඊට අදාල සම්ප්‍රදායන් වෙනස් නොකරන මෙන් ඉතා බැගෑපත්ව බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව පවසන ශිල්පීන් පෙන්වා දෙන්නේ එළඹෙන ඇසළ පෙරහැර සමය වනවිට වඩාත් විධිමත් වැඩපිළිවෙලක් සමග පෙරහැර පැවැත්වීම සඳහා කටයුතු කිරීම සුදුසු බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *