පොඩි ලැසී වගේ තක්කඩියන්ට වඳින නිලධාරීන් ඉන්නවා – දිලීප පීරිස්

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කීප දෙනෙකුට ප්‍රසිද්ධියේ තර්ජන එල්ල කිරිම පිළිබදව කොස්ගොඩ තාරක සහ පොඩි ලැසි යන දෙදෙනා  සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අද (08) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවසුවේ “අවුරුදු 15කට පසු ඒගොල්ලත් සාමාන්‍ය මිනිස්සු. අපිට ඕන නම් ගහලා දමන්න වුණත් පුලුවන්” යැයි පොඩි ලැසී පවසා ඇති බවයි.

තමන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නැති බව පවසමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙකු උපවාසයක් ආරම්භ කර තිබූ බවත්, ඒ පිළිබඳව විමර්ශනය කිරීමට ඉහළ නිලධාරීන් එහි ගිය අවස්ථාවේ පොඩි ලැසී නමැත්තා මෙලෙස ඉහළ බන්ධාගාර නිලධාරීන්ට සහ ජනාධිපතිවරයාටද මරණීය තර්ජන එල්ල කර ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ. පසුගිය ජූනි මස 26 වැනිදා මේ සිදුවීම සිදුව ඇති බවත් රැඳවුම් නියෝග මත සිටින මේ පිරිස මැර බලය පෙන්වා රජයේ නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම බරපතල කාරණයක් බවත් දිලීප පීරිස් මහතා මෙහිදී පෙන්වා දුන්නේ ය.

“ප්‍රතිවාදීන් බන්ධනාගාරයට ගෙන එන විට එම ප්‍රතිවාදින්ට බෝම්බ ගසා ඝාතනය කිරිමට බන්ධනාගාරය ඇතුළේ සිටම සැලසුම් කර තියනවා. මේ අයට ඒ තරම් ආත්ම ශක්තියක් ලැබුණේ කෙසේද කියා සොයා බැලිය යුතුයි. සමහර බන්ධනාගාර නිලධාරින් සැකකරුවන් සිටින සිරකුටිවලට වඳිනව දැක තියනවා. ඒ වගේම තවත් සමහර නිලධාරීන් හිතෙන් වඳිනවා. ධර්මකිර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා ගිනිඅවි පරිහරණය කිරිම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට වගකිව යුතුයි යන්න සම්බන්ධයෙන් මේ වන විට රැඳවුම් නියෝග ලබා ගෙන  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඉන්නවා. ඒ වගේම අරුමා හන්දි ජනිත් මදුසංක හෙවත් පොඩි ලැසි නැමැත්තාත් බූස්ස බන්ධනාගාරයේ රදවා සිටිනවා. ඒ නිසා පොඩි ලැසීගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටත් මේ තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කිරිමටත් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනව. ඒ වගේම පොඩි ලැසි නැමැත්තා අධිකරණයට ඉදිරිපත් කරන දිනයේ අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරිම සදහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.” යනුවෙන්ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේය.

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා බූස්ස බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබා ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදි පොඩි ලැසී නැමැත්තා 25 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග නිකුත් කොට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන දිනයේ ඒ අවට ආරක්ෂාව තර කරන ලෙසත් නියෝග කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *