පොතක් ගැන කතාවක්.. අලිමංකඩ සිට

2003 වර්ෂයේදී හොඳම ඉංග්‍රීසි නවකතාව සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ එම වසරේම ග්‍රේෂන් සම්මානයෙන්ද පුදලැබූ නිහාල් ද සිල්වා මහතාගේ The road from Eliphant pass නම් නව කතාවේ සිංහල පරිවර්තනය ” අලිමංකඩ සිට ” ( පරිවර්තක ඊ.එම්.ජී.එදිරිසිංහ) නම් කෘතිය මා අතට පත්වී මේ වන විට වසර 15 ක් පමණ ගතවී ඇතැයි සිතමි.
මේ ග්‍රන්ථය අනුසාරයෙන් සිංහල චිත්‍රපටයක් ද තිර ගත විය.මේ පොත පිලිබඳව හේතුව හරියටම මේ යැයි කිව නොහැකි අපැහැදිලි රූප සටහනක් මගේ චිත්තයෙහි ඇඳී තිබේ… මේ වන විට මම මේ පොත කියැවූ වාර ගනනද අතැඟිලි සංඛ්‍යාව ද ඉක්මවන සුලුය.

නිහාල් ද සිල්වා

වසර 30 පුරා මෙරට වෙලාගත් යුද්ධය පිලිබඳව තොරතුරු මාධ්‍ය වාර්තාකරණයේ සිට ලබා ගත් ඇතැම් අත් දැකීම් නිසා ද නොඑසේනම් යුද්ධය අතුරේ දියවී සැඟවී ගිය ඇතැම් මානුෂික සබඳතා පිලිබඳව හදවතේ උපන් වේදනාව නිසා දැයි හරියටම නිච්චියක් නැත. මට මෙම පොත ලියූ කතුවරයා මුනගැසීමට තිබුනේ මහා උනන්දුවකි .

මම ඔහු පිලිබඳව තොරතුරු සෙවීමි.. මේ 2006 මුල් මාස දෙක තුන විය යුතුය.
මම ඔහුට කතා කල හැකි දුරකතන අංකයක් සොයමින් සිටියෙමි..

ඇතැම් පුද්ගල දුරකතන අංක සොයා දීමට මට බොහෝ උපකාර කල එකල එෆ් එම් නාලිකාවක මාධ්‍ය ප්‍රධානියෙකු වූ නිලන්ත රාජේන්ද්‍ර යන් විසින් නිහාල් ද සිල්වා ගේ දුරකතන අංකය මා වෙත ලබා දුන්නේ.. 2006 මැයි මාසයේ දෙවන සතියේය..

නැගෙනහිර පලාත ගිනියම්වී තිබූ මේ අවදියේ ශ්‍රී ලංකා යුධ හමුදාව එල්ටීටීඊ නැගෙනහිර නායකයා කරුණා අම්මාන් තම පාර්ශවයේ සහය පිනිස එක්කර ගැනීමේ සතුටින් ඔද වැඩී සිටි සමයයි…

2006 මැයි 27 දා අසන්නට ලැබුනු පුවතින් කැලඹී ගියෙමි.
විල්පත්තු අභයභූමියේ දී පුපුරා ගිය බිම්බෝම්බයකට හසුව මෙම ලේඛකයා මියගිය පුවත…මගේ හදවත රිදවමින් අසන්නට ලැබිනි. අදටද මට එම මරණ අගමුල නොවැටහෙන අභිරහස් සිදුවීමකි .

ඔහුගේ කෘතිය පුරාම විහිදී තිබුනේ විල්පත්තු අභය භූමියයි. එහි සඳහන් වන ඇතැම් සිදුවීමකට සමාන අයුරින් ඔහුගේ මරණය සිදුවීම ඇතැම් විට එයද අපරටේ සිදුවූ අදටත් හෙළි නොවුනු සදාකාලිකව සැඟවී ගිය අභිරහසක් වන්නට ඇත .

ඉංග්‍රීසී නවකතාව සිංහලට පරිවර්තනය කල ඊ.එම් ජී එදිරිසිංහයන්ද සිහිපත්කල මනාය…. මුල් කතුවරයාගෙ ආකෘතියට බිඳුවක් හෝ හානියක් නොවන්නට හෙතම වගබලාගෙන තිබුනේය… ඉංග්‍රීසි බසින් වූ අදහස එලෙසින්ම පාඨකයා වෙත සංනිවේදනය කරවන්නට හේ සමත්ව සිටියේය.

කතාව ඇරඹෙන්නේ 2000 මාර්තු 26 දාතමින් ශීර්ෂගත කරමිනි.
2000 වසරේ උතුරේ පැවති තත්වය කතුවරයා චිත්‍රයක් සේ අප මනස හමුවේ ඇඳ තබන්නේ පලාලි අසල මාර්ග බාධකයක් ආසන්නයේ දර්ශණ පථයට හසුවන සජීවී අජීවී සෑම දෙයක් ගැනම සඳහන් කරමිනි.
වසන්ත නම් හමුදා කපිතාන් වරයා මේ මාර්ග බාධකය අසල කල් මරන්නේ.. තම ඉහල නිලධරයෙකු විසින් පැවරූ රාජකාරියක් ඉටු කරන්නටය.
කොටි සංවිධානයේ නායකයා පිලිබඳ ඔත්තුවක් තමා ලඟ ඇතැයි පවසන එම සංවිධානයේ ම කාන්තාවක් අත්ඩංගුවට ගෙන ඇයව යුධ හමුදා මූලස්තානය වෙත රැගෙන ඒමට කපිතාන් වරයා දරණ බිහිසුනු උත්සාහය ගැන මේ කතාව කියැවේ..

පලාලි අසල මුරපොලින් අත්ඩංගුවට ගන්නා කමළා වේලායුධන් නමැති කොටිකත මුලින් රැගෙන යායුතුව තිබුනේ යාපනය යුධහමුදා මූලස්ථානය වෙත ය.

මම කුඩා අවදියේ මාරක කතා කියැවීමට චක්‍රවර්තියෙකු වීමී එහෙයින්දෝ… මෙහි මුල් පිටු කිහිපය අතරේ තිබෙන කපිතාන් වරයා හා කොටි කාන්තාව රැගත් ජීප්‍ රථය බිම්බෝම්බයකට
හසුවන අන්දම පිලිබඳව ලියැවී ඇති කොටස නැවත නැවත කියැවීමි. කතුවරයා එම අත්දැකීම කෙසේ ලැබුවේදැයි නොදනිමි.. එහෙත් එය ඉතා සාර්ථකව ලියා තිබේ…
මිරුසුවිල් හි බෝක්කුවක් පසු කරමිනු සිටි ජීප්‍ රිය .
.. ” ඔවුහු එය පුපුරුවා හැරියහ. ” යි
ඉතා කෙටි සඳහනකින් පිපිරීම ගැන සඳහන් කල කතුවරයා අනතුරුව ජීප්‍ රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් පිලිබඳව මෙලෙස සටහන් තබන්නේය.

“අලිමංකඩ හා යාපනය සම්බන්ධකරන සුප්‍රසිද්ධ ඒ 9 මාර්ගයෙන් චාවාකච්චේරිය යාපනය පිහිටි දකුණු අත පැත්තට ධාවනය වෙමින් තිබෙන මාර්ගයේ
“” ලඟම පිහිටි වෙරළ ඇතුල් පැත්තෙන් එක් වරටම ස්පොට් ලයිට් එකකින් සුදු රශ්මි ධාරාවක් විහිදුනේය. වාහනයේ පිටුපස සිටි සොල්දාදුවා වචන විරහිත අනතුරු ඇඟවීමක් කරනු මට ඇසිනි. වාහනයේ ඉදිරිපස වීදුරුව රේන්ද ගෙතීමක ස්වරූපය ගත් ආකාරයට බිඳී ගියේය. මට සුපුරුදු මැෂින් තුවක්කු හඬෙන් මගේ ලෝකය පිරී ගියේය.
වාහනය පාරෙන් ඉවතට ගන්නා ලෙසට මම පියසේනට කෑගසා කීවෙමි. එහෙත් මා දිනකින් ප්‍රමාදය. සර්ච් ලයිට් එකකින් විහිදුනු ආලෝක ධාරාවක එලියෙන් ඔහු සුක්කානම හරහා වැටී සිටිනු මම දුටුවෙමි. ඔහුගේ මුහුන පසෙකට හැරී තිබුනු අතර හිස් මුදුන ගැලවී ගොස් තිබිණි. සෑම තැනම ලේ විහිදී තිබිනි. ලෑල්ලක සවිකර තිබූ ආකාරයට සර්ච්ලයිට් එක තවමත් අප වෙත එල්ල වී තිබිණි. සෙබලිය යළිත් වරක් කෑගැසුවාය. දැන් ඇගේ කටහඬ බිය හේතුකොටගෙන කණ පලාගෙන තරමට ගැඹුරු විය. “”

ඒ බිහිසුනු අත්දැකීම කියවන්නාට තදින්ම දැනෙන අයුරින් චිත්‍රයක් ඇඳදෙන්නට කතුවරයා අපූරු උත්සාහයක් ගෙන තිබිනි…
එය ලියා වසර තුන හතරකින් යාල වන භූමියේදී ඔහු එම අත්දැකීම ජීවිතයේ අවසාන තත්පරයේදී සජීවී ලෙසම විඳින්නට ඇත.

එතැන් සිට මෙම සිදුවීම් පෙල ඇරඹුනු 2000 මාර්තු 26 දින සිට 2000 වසරේ අප්‍රේල් 09 දින දක්වා වූ දිුන 10 ක කාල පරාසයක් තුල එල්ටීටීඊ සාමාජිකාව හා හමුදා නිලධාරියා මුහුන දෙන ත්‍රාසජනක අත්දැකීම් සමුදායක් පිටු 463 කින් යුත් මේ පොත පුරාම පාඨකයා හමුවේ තැබේ..
අලිමංකඩ කෘතිය තුල.. ත්‍රාසයට අමතරව අප්‍රමාන ලෙස අගය කල යුතු වන්නේ විල්පත්තු වනෝද්‍යානයේ බිම් අඟලක් හෝ ඔහු විසින් අත් හැර දමා නොදමා එහි ඉතා සියුම් මකුලු දැලේ සිට අප වෙත චිත්‍රනය කොට ඇති හෙයිනි.
නොඅනුමානවම ලේඛකයා විල්පත්තුව තම ජීවිතය කර ගත්තෙකු විය යුතුය.
එල්ටීටීඊ සංවිධානයේ නායකයා එක්තරා නියමිත දිනයක දී නිශ්චිත ස්තානයකට පැමිනෙන බවත් එම රහස්‍ය තොරතුර රාජ්‍ය ආරක්ෂක අංශ ඉහළ ප්‍රධානියෙකුට පමනක් දැනුම් දීමට තමා සූදානම් බැව් කියූ කොටි සෙබලියක ආරක්ෂාකාරි ලෙස අලිමංකඩ සිට වන බිම් මැද්දෙන් කැටුව යෑම කතාවේ නායක යුධහමුදා කපිතාන් වරයාට සිදුවේ..
මේ ගමන තුල තාත්වික මෙන්ම අතාත්වික දෑ එමටය.
දෙදෙනාම නයි පොලොං වෛරයෙන් පසුවේ.. ගමනේ මුල් භාගයේ දී කිසිවිටෙකත් ඔවුනොවුන් අතර සංහිඳියාවක් පල නොවේ..
අලිමංකඩ හැරපියා පලායන යුවල එක්තරා තැනකදී කලපුවක් තරණය කල යුතුව තිබිනි.

27 වන පිටුවෙහි දෙවන ඡේදය.
අප පිටුපසින් ඇසෙන යුද සටන් හඬ, පිපිරුම්,කාලතුවක්කු වෙඩි හා කුඩා අවි පත්තු වන හඬ දිය මතු පිටදී අපට වඩාත් උස් හඳින් ඇසිනි. සඳ කිරි වලින් පිරුනු පීරිසියක් සේ දිස් විය. එහෙත් සඳ එළිය තරු එලියත් සමඟ මුසු වී උදා කල ආලෝකය විසින් මා අනාවරණය වූ නග්න අයෙකු බව හැඟවීම පිනිස එය ප්‍රමානවත් විය. අප පසු කර යන තුවක්කු සවි කල කොටි
බෝට්ටු වලට අප නියතයෙන්ම පෙනෙනු ඇත.”

බොහෝ බිහිසුනු අඩවියක ගමන් අරඹන මේ යුවල ගේ ඇතැම් ක්‍රියාකාරකම් පිලිගත නොහැකි වුවද හුදෙක් නිර්මාණයක් හෙයින් එහි ඇති වරදක් ද නැතැයි සිතෙන්නේ ලේඛන කලාවෙන් සත් සමුදුරම ජයගත්තා බඳුව ඇතැම් ලේඛකයන් මේ මිහිපිට තබා සිහින ලොවකවත් සිදුවිය නොහැකි කතන්දර පාඨකයා හමුවට පැමිනෙන බැවින්‍ ය.
කතාව වියාගෙන අතරතුර ලේඛකයා විසින් යුද්ධයේ බිහිසුනු බවට පෙරාතුව උතුරේ ඇතැම් ස්තානයන් පිලිබඳ තොරතුරු මාලාවක්ද ඉදිරිපත් කරන්නේය.

42 පිටුව
කාලයක් පූනරීන් යනු වැදගත් මංසන්ධියකි. 1991 දී එහි හමුදා කඳවුරක් හා නාවික බල ඇණියක් පිහිටුවා තිබිනි. 1993 නොවැම්බර් මාසයේදී කොටින් විසින් එම කඳවුරට දැඩි යුද්ධමය ප්‍රහාරයක් එල්ල කරන ලදී. ( අවසන් යුද්ධයට පෙර වසර 30 පුරා ඇවිලුනු යුද්ධයේදී එකවර රජයේ ආරක්ෂක අංශ සෙබලු දහස් ගනනක් කොටි ප්‍රහාරයට ලක්වූ ස්ථානයකි.)
පූනරින්හි හොඳින් රැකුනු ලංදේසි බලකොටුවක් ඇතැයි විශ්වාස කෙරේ. එහි සිට මාර්ග හතරක් විහිදුන අතර අප ගමන් කලේ පරත්තන් දක්වා ධාවනය වූ මාර්ගයේය. අර්ධ ද්වීපයට මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහා මෙහි එක් අවදියක බෝට්ටු සේවයක්ද පවත්වාගෙන ගොස් ඇත. එහෙත් දැනට එම සේවාව බොහෝ කාලයක් තිස්සේ අත් හැර දමා ඇත. එහි දෙවන තුන්වන මාර්ග සංගුපිඩ්ඩි හා නාගදේවන්තුරෙයි ජෙටිය දක්වා විහිදුනු අතර සිව්වන මාර්ගය මන්නාරම දක්වා විහිදුනු එකකි.
අප ගමන් කල යුතු මාර්ගය එයයි. “

30 වසක යුද්ධය නිසා කාලයේ වැල්ලෙන් හා යුද්ධයෙන් මිය ගිය ඒ මං මාවත් සලකුනු කිරීම් හරියටම හරිය… දැන් නිදහසේ එහි පිවිසෙන්නෙකුට අධ්‍යයනය කරන්නටද මහගු ප්‍රවේශයක් කතු වරයා ඉදිරිපත් කොට තිබේ.

ඔවුන් දෙදෙනා අලිමංකඩ සිට කොලඹ බලා එන ගමන් මාර්ගයක්ද සිතියම් අනුසාරයෙන් කෘතියට එක් කොට තිබේ..

බද්ධ වෛරක්කාර කඳවුරු දෙකක තුන්වන පෙලේ සාමාජිකයින් දෙදෙනෙකු වූ කමළාත් වසන්තත්.. එකිනෙකා නුරුස්සමින් ගමන් කලද අනතුරකදී දෙදෙනාගේ ම පොදු සතුරා අභිමුවේ දී ඔවුන් නිහඬව එකඟතාවයකට පැමිනේ.. එහෙත් ඇසිල්ලකින් යලිදු වෛර කරන්නෝ වෙති.
කෙමෙන් කෙමෙන් කොටි කෙල්ල හා යුධ සෙබලා අතර ඉපදෙමින් තිබෙන මානුෂික දයාවන්ත බව කතුවරයා මුලින්ම ඉඟි කරනුයේ අපූරු ලෙසටය.

පිටුව 75
අපි බිත්තියට පිට දෙමින් එලූ පත්තර කඩදාසි මත වාඩි වූයෙමු. ඇය කෑම පාර්සලය හා වතුර බෝතලය අප දෙදෙනා අතරෙන් තැබුවාය.
සිය සිතුම්වල නිමග්න වෙමින් ඇය ආලෝකය දෙස බලාගෙන ටික ටික ආහාර ගත්තාය. ඇගේ කෘශ ස්වභාවය තුරන් වී ශෝභන පෙනුමක් යලිත් ඇය වෙත ලඟා වෙමින් තිබුනු බව මට වැටහිණි. ඇගේ හිසකෙස් දෙපසින් උරහිස මත කඩා වැටී තිබිනි..””

මේ සියල්ල අතරේ කතුවරයා ඉතා මැනවින් කොටි සංවිධානයෙන් මෙන්ම රජයේ හමුදාව විසින් දෙපාර්ශවයේම ජනතාවට සිදුවන පීඩා ගැන පාඨකයා තුල චිත්ත රූපයක් මවන්නේය.
1980 වසරේ මෙරට ඉතිහාසයට නොමැකෙන කැලලක් ඇතිකරනු ලැබූ කලු ජූලියේදී අගනුවර උපන් කමලා වේලායුදන්  උතුරට පලායන්නෙ සියල්ලම අහිමිවය… රචකයා  ඇගේ මුවින්  මෙරට දමිළ ජාතිකයින්ගේ සිත් තුල මහ ජාතිය පිලිබඳව  තිබෙන  ආකල්පය ගැන ඉඟි කරන අතර
කොටි සංවිධානය තම වර්ගයා වෙනුවෙන් පෙනී  සිටින බව පලකලද එය එසේ නොවන බවද හේ පසක් කරන්නේය.

යාල වනෝද්‍යානයට පිවිස ගමන් කරමින් සිටින මේ දෙදෙනාට  හමුවන  බරපතලම අභියෝගය වනුයේ කැලෑ වැද සිටින දඩයක්කාරයන් පිරිසය..
ආයුධ රහිත ගැහැනියක හා පිරමිියෙකු ආයුධ සන්නද්ධ පිරිසකගෙන් ගැලවී ගැනීම අතිශෝක්තියකි.
වන අලි ප්‍රහාරයෙන් ගැලවීමද එවැනිය.. ඇතැම් විට  මේ මහ වනය තරණය කරන යුවල බොහෝ පහසුවෙන්  ඉන් එගොඩ වීම අතිශෝක්තියක් විය හැකිවනැයි සිතා විය හැක.

207 වන පිටුවේ අවසන් ඡේදය
” අපේ නිජබිම,ඊලාම් සඳහා කරන සටන අත් හැර දැම්මොත් තමා මරා දමන ලෙස සිය අනුගාමිකයින්ගෙන් අපේ නායකතුමා ඉල්ලා තිබෙනව.
ඇය පැවසුවාය.. ඊලාම් රාජ්‍යයකට අඩු දෙයක් සඳහා  විසඳුමක් ඔබ බලාපොරොත්තු  වෙනව නම්, පළමුවෙන් ම අපේ නායකතුමා ඉවර කරන්ඩ ඕනෑ. ඔබට තියෙන හොඳම අවස්ථාව තමයි අපේ මේ දූත මෙහෙවර කොහොම හරි සාර්ථක කර ගැනීම.”

හුදෙකලා වනාන්තරයක එක ලඟ ඇවිද යන එක ලඟ නිදන මේ යුවල හැඟීම් විරහිතයින් නොවේ. එහෙත් ලේඛකයා ඉතා සංවර ලෙස ඔවුන්ගේ  එකිනෙකා කෙරෙහි වන ආකර්ශණය   පිලිබඳව සටහන් තබන්නේය.

විල්පත්තු වනයේ සැරිසරන විචිත්‍රවත් පක්ෂීන් ගැනද ඔහු කෘතිය තුලින් කියා පාන්නේය.
මේ අනන්ත වූ විශ්මිත වනාන්තරයේ වසන විවිධ වර්ගයේ සතා සීපාවන් ගැන ඔවුන්ගේ කතා බහ ඇදී යමින් තිබිනි.. දේශයක බිම් කඩක් අල්ලා ගැනීමට තම  ජාතියේ සියලුම ජනතාව  පෙරමුනට තබා යුද වදින කොටි නායකයාගේ  අනුගාමී කාන්තාවද..  එම බිම්කඩ රැක ගැනීම උදෙසා රජය වෙනුවෙන් පෙනී සිටිමින් යුද වදින්නෙකු වූ සිංහල සෙනවියාත් වනයේ සැරිසරන වග වලසුන්ගේ වන සහජීවනය හඳුනාගත් නිසාදැයි නොදනිමි. ඔවුන් දෙදෙනා මේ සතුන්ගේ ආදරණීය සබඳතා  අසමින් දකිමින් මානව සබඳතාවයන් කෙරෙහි නැඹුරු වෙමින් සිටියහ.

ඔවුනොවුන් මානුෂීය හැඟීමකින් බැඳී ඇතැයි ඔවුන්ටම වැටහෙන්නේ වනාන්තරයේ සැරිසැරූ දඩයක්කරුවකු  කමලා දූෂණය කරන්නට තැත් දරද්දීය.
මේ ඔවුන්ගේ ගමනේ 8 වන දිනයයි තවත් දින දෙකකින් ඔවුන්ගේ ගමනාන්තයට එනම් අගනුවර හමුදා මූලස්තානයට  යාමට නියමිතය.

364 පිටුව
බිම ඇතිරිල්ලේ එහාටම වෙන්න එහි කෙලවර  වාඩිවී සිටින ඉක්මනින් කෝපයට පත්වන  මේ පුදුම ගැහැනියගේ සමාගමයට දෛවයේ පෙරළියක් විසින් මා හෙළා ඇත.ඇය පුහුණු සටන්කාමියෙකි. මගේ මිනිසුන්ගේ සතුරෙකි. තමාගේම නායකයා පාවා දීමට ඇය දැන් තීරණය  කර ඇත.ඇය සතු රහස් තොරතුරු සැපයීම සඳහා කොලඹ සිටින  මගේ ඉහළ  නිලධාරීන් අතට ඇය ප්‍රවේශමෙන් භාරදීම මගේ රාජකාරියයි. මට ඇයත් සමඟ  කිසියම් පැටලීමක් ඇතිවුව හොත්  එය මගේ  වෘත්තීය කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇතිකල හැකි සාපරාධි ක්‍රියාවකි.
එසේ වුවත් මම එක් මිනිසෙකු මරා දැමුවෙමි.තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළෙනි. ඒ සියල්ලම සිදුවූයේ ඔවුන්   ඇය දූෂණය කරන්නට තැත් කල නිසාය.මම තවත් වරක් වුවද ,එය මහත් සතුටකින් ඉටු කරමි.
මේ වන විට නම් මට ඇය දැඩි ලෙස වුවමනාය.!”

ඔවුන් ප්‍රේමයෙන් වෙලෙන්නේය. ඔවුන් නොදැමුනු වන සතුන් මෙන් නොහැසුරුනෝය.
ක්‍රියාන්විතයේ මෙහෙයුම් වල නිරත වූ යුධහමුදා නිලධාරියෙකු කොටි සෙබලියක් හා බලහත්කාරයෙන් හැසිරෙනවා මිස ඈට ප්‍රේම කරාවියැයි ඔබ හිතන්නේද..
නැත ඔහු ඒ මානුෂීය ගනුදෙනුව හෙවත් ආදරය කිරීමේ කලාවට යොමුවී සිටියේය.
මුලු කතා වෘතාන්තයෙහිම අවසානය ඛේදාන්තයකි. .
මේ මොහොතේද මගේ හද දවන මේ කතාපුවත… කතුවරයා ලියා තිබෙන්නේ බොහෝ දේ පිලිබඳව වඩාත් සමීපයෙන් හිඳ ලත් අත්දැකීම් සමුදායකින්දැයි සිතෙන තරම්ය.
ඇතැම් තැන් සිදුවිය නොහැකියැයි උපකල්පනය කලද ඒවා කතුවරයා විසින්ම පාඨකයා මෙහි ඇද තබන්නට කල උපක්‍රමයක් දෝයි සිතේ.
ඔහු ඉතා සියුම් ලෙස රජයේ ආරක්ෂක අංශයන්හි තිබිය හැකි දුර්වල කම් පිලිබඳවද කෘතිය හරහා පාඨකයින් දැනුවත් කරතියි හැඟේ…

මේ ජීවිතයේ මා කියවා ඇති පොත් සංඛ්‍යාව මෙතෙකැයි කියන්නට මට නොහැක ඇත්තෙන්ම එයට සංඛ්‍යාත්මක අගයක් දෙන්නට මට නොහැක.

එහෙත් “අලිමංකඩ සිට” තරම් ශ්‍රී ලංකාවේ තිස් වසරක යුද්ධය අලලා ලියැවුනු පොත් අතුරින් මා සිත ඇඳබැඳගත්, බියට පත්කල,දුකට පත් කල වෙනත් පොතක් නැත. යම්කිසි පොතක් කතුවරයාගේ අත් දැකීම් වලින් පිරුනු එකක් වන්නේ නම් එහි සාර්තකත්වය ගැන අටුවාටීකා කුමට..

මෙම ලිපිය මාධ්‍යවේදි, ලේඛිකා ඉන්දුමතී ජයසේන විරචිතය.

ඉන්දුමතී ජයසේන

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *