පොත් ලියවා ඇත් පවුරක් තැනූ ලෝක පූජිත ගුරුතුමා

ළමා ලෝකය පිරී තිබෙන්නෙ සුන්දර සිහින වලිනි.ඒ සිහින නිදහසේ දකින්ට ඇති අවකාශය විභාග ඉලක්ක කරගත් නූතන අධ්‍යාපන ක්‍රමය මගින් හකුලා දමා තිබේ. මේ නිසා අද බොහෝ දරුවන්ට ඉටුකර ගැනීම සඳහා වෙහෙසීමට සිදුව තිබෙන්නේ තමන්ගේ සිහින නොව දෙමව්පියන්ගේ සිහින යැයි පැවසුවහොත් එය නිවැරදිය. පාසැල් පන්ති කාමරයෙන් පෞද්ගලික පන්තියට යන දෛනික අධ්‍යාපන කාලසටහන තුළ දරුවාට තමන්ගේ ලෝකය තුළ තනි වෙන්නට අවස්ථාවක් නොමැති තරම්ය. කියවීම,ලිවීම,කතා කිරීම හා සවන්දීම යන චතුර්විධ කුසලතාවන් ගෙන් සපිිරි දරුවෙකු පාසැල් පද්ධතිය ඔස්සේ සමාජයට දායාද කිරීමේ අරමුණට මේ තරඟකාරී අධ්‍යාපනය මගින් ඇතිකර තිබෙන අහිතකර බලපෑම සුළුපටු නොවන්නේය. අශ්වාරෝහකයෙකු ජය කණුව කරා අශ්වයෙකු මෙහෙයවන්නා සේ විභාග ඉලක්ක කරගනිමින් දෙමව්පියන් පමණක් නොව ගුරුවරුන්ද දරුවන් මෙහෙයවීමට උත්සහ කිරීම තුළ විෂය බාහිර කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වරදක් ලෙස දකින සමාජයක් අද නිර්මාණය වී තිබේ. මේ නිසාම පාසැල් විෂය මාලාවට අයත් පොත්පත් පරිශීලනය හැර නවකතාවක්,කෙටි කතාවක්,චරිත කතාවක්,කවි පොතක් කියවන්නට ළමුන් යොමුවන අවස්ථා බොහෝ විරලය. මේ ඔස්සේ රසඥතාවක් නොමැති අනාගත සමාජයක් වෙත දොරගුළු විවර වෙමින් තිබේ. හෙට සිදුවන ව්‍යසනයේ තරම අද තේරුම් ගෙන ඊට පිළියම් යොදන්නෝ විරලය. දශක දෙකකට වැඩි කාලයක් දරුවන්ට අකුරු කළ එම්.එම් සෙනෙවිරත්න මහතා මෙම විපත කල්තියා හඳුනාගත් ගුරුපියෙකි. ඔහු දරුවන්ගේ සිහින ඔවුන්ගේ සිත් තුළම මියැදීමට ඉඩනොදී ඒවා එළිදකින්නට මාවතක් සකසා දුන් සැබෑ ගුරුවරයෙකි. ඔහුගේ භූමිකාව හරි පුදුම ඉස්කෝලයේ කොබයාෂි ගුරුතුමා සිහිපත් කරයි. ළමුන්ගේ සිහින පොත්පිටු වලට පෙරළා පොත් වැස්සක් වස්සවන්නට ඔහු සිහින දුටුවේ අද ඊයේක නොවේය. කටුගස්තොට ශ්‍රී රාහුල විදුහලින් ආරම්භ කර මහනුවර අධ්‍යාපන කළාපයටත් එතැනින් මධ්‍යම පළාතටත් ගිය මෙම වැඩපිළිවෙළ අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක් ලෙසින් මුළු රට පුරා පාසැල් අතර පැතිර ගියේ අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පොතට පතට ලැදි අයෙකු ලෙස එහි වැදගත්කම තේරුම්ගත් නිසාය. කොවිඩ්-19 වෛරසය ශ්‍රී ලංකාවේ පැතිර යාමත් සමඟ දොරගුළු වැසීගිය දසදහස් ගණනක් වූ පාසැල් වල අධ්‍යාපනය ලද දරුවන් බොහෝ දෙනෙකු මෙම වැඩපිළිවෙළට අනුගත වෙමින් දැන් ග්‍රන්ථකරණයේ නියැලෙමින් සිටිති. එළඹෙන සාහිත්‍ය මාසයේදී විධිමත් ග්‍රන්ථ ලෙසින් එළිදැකීමට නියමිත මෙම පොත්වල සුවඳ ඔස්සේ ඔබට මට ළමා ලෝකයේ සුන්දරත්වය අතිවිඳින්නට හැකිවනු ඇත.

අද ළමයි පොත් ලියනවා තියා පොතක් පතක් කියවන්නවත් උනන්දු නැහැ. විභාග ඉලක්ක කරගෙන අකුරු කරන දරුවන්ගේ ළඟම මිතුර බවට පත්වෙලා තිබෙන්නේ පරිගණකය හෝ ජංගම දුරකතනයයි. ඉස්සර අපේ අම්මා,තාත්තා,සීයා,ආච්චි අපිව නිදි කළේ ලස්සන කතන්දරයක් කියලා. මේවා අහනකොට අපි නොදැනුවත්වම අපේ මනසේ චිත්ත රූප මැවෙනවා. අද මේ සංස්කෘතිය ඈත්ව ගොස් දරුවෝ නින්දට යන්නේ ෆෝන් එකේ හෑන්ඩ් ෆ්‍රී එක කනේ ගහගෙන. එදාට වඩා අද දරුවන්ගේ නිර්මාණශීලීත්වය බරපතල ලෙස කඩා වැටීමට ප්‍රධාන හේතුව මේක. දරුවෝ උපදින්නේ විවිධ හැකියාවන් එක්ක. අපි ඒවා තේරුම් ගන්න ඕන. සෑම දරුවෙක්ම මොනවා හරි දේකට දක්ෂයි. අපි කැමැති දේට දරුවා කැමැති කරවා ගන්න යෑමෙන් තමයි දරුවන්ගේ නිර්මාණශීලිත්වය මොට වෙන්නේ. දරුවන්ගේ හිත් වැඩිහිටියන්ගේ වගේ දූෂිත වෙලා නැහැ.ඒ නිසා ඔවුන්ගේ සිහින හරිම සුන්දරයි.මම කල්පනා කළා මේ සිහින පොත්වල අකුරුවලට,සිතුවම්වලට මුහු කරලා එලියට ගත්තොත් මොනතරම් ලස්සන නිර්මාණ ටිකක් බිහිවෙයිද කියලා 2014 දී අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ පර්යේෂණ හා සංවර්ධන අංශයට යෝජනාවක් ලබාදුන්නා පාසැල් දරුවන් පොතපතට සමීප කරන්න ඔවුන් ලවා පොත් ලියවමු කියලා. 

                  සෙනවිරත්න ගුරුතුමා

ක්‍රියා මූලික පර්යේෂණයක් විදිහට මම කළ යෝජනාව පිළිගත්තා. කටුගස්තොට රාහුල විදුහලට අවුරුදු 125 ක් සපිරුණේ 2015 වසරේදී. මම එතකොට ඒ පාසැලේ ගුරුවරයෙක් ලෙස සේවය කළා. අවුරුදු 125 සැමරුම වෙනුවෙන් විවිධ වැඩසටහන් යෝජනා වෙත්දී මම විදුහල්පතිතුමාට කිව්වා අපි ළමුන් ලවා පොත් ලියවලා පාසැලට උපහාර දක්වමු කියලා. තමන්ට කැමැති දෙයක් කැමැති භාෂාවකින් ලියන්න කියලා අපි දරුවන්ට කිව්වා. දරුවා ලියන පොත ටයිප් සෙටින් කරලා පොතක් ලෙස සකස් කරදීම දෙමව්පියන්ගේ මූලිකත්වයෙන් කරනවා.සංකල්පය,පොතේ නම,යොදන චිත්‍ර ආදි සියල්ල ළමයා විසින් තනිවම කරන්න ඕන. අප කළේ මඟ පෙන්වීම පමණයි. අයි.එස්. බී.එන් අංකද සහිතව එදා පොත් 206 ක් එකවර මුද්‍රණය කරලා ශ්‍රී රහල් අභිමන් උත්සවය පැවැත්වූවා. මේ අංකුර ලේඛකයින්ට අභිමානයක් ගෙන දෙන්න අපි මහචාර්ය ලියනගේ අමරකීර්ති මහතා උත්සවයට සම්බන්ධකර ගත්තා…රටක් වටින පොතක් දක්වා ගිය ගමනේ ආරම්භය සෙනෙවිරත්න මහතා විස්තර කළේ එසේය. සිසු දරුවන්ගේ පොත් එළිදැක්වීමේ උත්සවයට අවට පාසැල් වල විදුහල්පතිවරුන්ටද ආරධනා කර තිබිණි. ඉන් එක් අයෙකු වූයේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ විදුහල්පති පද්මා ලේකම්ගේ මහත්මියි. තම පාසැලේ දරුවන්ගේ හැකියාවන්ද මේ අයුරින් එළිදැක්වීමට අවැසි බව ඇය සෙනෙවිරත්න මහතාට පැවසුවාය. දෙවරක් නොසිතා ඊට එකඟ වූ ඔහු ශාන්ත අන්තෝනි බාලිකාවේ ගුරුවරුන්,දරුවන් හා දෙමව්පියන් දැනුවත්කර වැඩේට බැස්සේය. අන්තෝනි බාලිකාවන් අතින් ලියවුණු පොත් 267 ක් මුද්‍රණ ද්වාරයෙන් එළිදුටුවේ 2016 වසරට යෙදී තිබුණු විද්‍යාලයේ 79 වන සංවත්සර නිමිත්තෙන් පැවැති පොතක් තුළින් ලොවක් දිනමු උත්සවයේදීය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක

මම මාරුවක් ලබලා මහනුවර මහමායා බාලිකාවට ගියා. විදුහල්පතිනියවූ විතානාච්චි මහත්මිය 2017 විශ්‍රාම යෑම නිමිත්තෙන් විද්‍යාලය මගින් උපහාර උත්සවයක් සංවිධානය කළා. මම දරුවන්ට කිව්වා විදුහල්පතිනියට පොත් ලියලා උපහාර පුදමු කියලා. මම විදුහල්පතිනියට කිව්වා ඔබ තුමිය වෙනුවෙන් දරුවන් පොත් ලියනවා ඔබ තුමියත් ගුරු ජීවිතයේ අත්දැකීම් අලලා පොතක් ලියන්න කියලා. මේ විදිහට විදුහල්පතිනියත් දරුවනුත් පොත් ලියන්න පටන් ගත්තා. විදුහල්පතිනිය විශ්‍රාම යන මොහොතේ දරුවෝ පොත් 150 ක් ලියලා පන්හිඳෙන් හරසර මැයෙන් උත්සවයක් පවත්වා එතුමියට ගෞරව දැක්වූවා. වේවැලක් නොව සැරයටියක් කියලා තමන් ලියූ පොත එදා විදුහල්පතිනිය දරුවන්ට දායාද කළා. මේක කළාප මට්ටමින් කරමු කියලා කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ විජේරත්න මහතාට මම කිව්වේ මේ උත්සවයේදීයි. මහනුවර කළාපේ පාසැල් වල දරුවෝ පොත් 1200 ක් ලිව්වා.පොත් කලඑළි මංගල්‍යය 2018 කියලා නම් කරලා අපි උත්සවයක් කළා. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.පාසැලෙන් කළාපයට අවා දැන් අපි මේක පළාතට අරන් යමු කියලා තිලක් ඒකනායක මහත්තයා කිව්වා. ඒ අනුව මධ්‍යම පළාතේ පාසැල් දරුවන්ට අපි කිව්වා පොත් ලියන්න කියලා. පොත් දස දහසක් පමණ දරුවෝ ලියලා තිබුණා. ගොඩක් ළමයින්ට තමන්ගේ පොත නිසි ප්‍රමිතියට මුද්‍රණය කරගන්න බැරි වුණා. මැදරට ගත්කතු අංකුර අභිෂේකය-ගත් කරණිය කියලා උත්සවය නම්කරලා අපි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී එකවර පොත් 5319 ක් එළිදැක්වූවා. සිංහල,දෙමළ,ඉංග්‍රීසි,ජපන්,ප්‍රංශ ආදි විවිධ භාෂාවන්ගෙන් පාසැල් දරුවන් රචනා කරන ලද ග්‍රන්ථ මෙතරම් සංඛ්‍යාවක් එකවර නිකුත් කිරීමේ අවස්ථාවක් ලෝක ඉතිහාසයේ මෙතෙක් තිබී නැහැ. කවදාහරි මමත් විශ්ව විද්‍යාලයට එනවා කියන හැඟීම දරුවන් තුළ ඇති කරන්න අපි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදීම පොත් එළිදැක්වීම සිදුකළා. තමන් ලියූ පොත දරුවන් පිරිනැමුවේ තමන්ගේ දෙමව්පියන්ට. එදා දරුවන්ගේ දෙමව්පියන්ගේ ඇස් වලින් වැටුණු කඳුළු වල සැඟවුණු රහස් මේ පොත්වල අපූරුවට ලියවී තිබෙනවා…සෙනෙවිරත්න මහතා පවසන්නේ දරුවන්ට පොතක් ලියා රටක් දිනන්නට මඟ පෙන්වීමෙන් ලොවක් දිනූවෙකු සේ තමන් ලද සතුට බුක්ති විඳිමිනි..

ඇමති ඩලස් යෝජනාවට එක පයින් කැමති විය

අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාට සෙනෙවිරත්න මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ පසුගිය පෙබරවාරි මාසයේදීය. පොතපත ඇසුරේ ගෙවුණු ජීවිතයකට හිමිකම් කී නිසාම මෙම වැඩපිළිවෙළ ඉහළින්ම අගයා ලංකාවේ සියලුම පාසැල් කේන්ද්‍ර කරගනිමින් එය ක්‍රියාත්මක කරන්නට ඇමැතිවරයා තීරණය කළේ දෙවරක් නොසිතාය. ලේඛකයෙක් ලෙස ඩලස් ඇමැතිතුමා මේ වැඩපිළිවෙළේ අගය හොඳින් තේරුම් ගත්තා. ඔබගේ යෝජනාව ඉතාම වැදගත්. මමත් ලේඛකයෙක්. පුංචි කාලේ මමත් පොත් ලිව්වා. අද මම මෙතන්නට ඇවිත් තියෙන්නේ ඒ ලේඛණකරණය නිසයි. අදටත් මට වටින්නේ මම ඉස්කෝලේ කාලේ ලියපු පොත් කියලා ඇමැතිතුමා මට කිව්වා. එතුමා ඒක ඒ මොහොතෙම ක්‍රියාවට නැන්වූවා. දැනුත් මට කතා කරලා තත්ත්වය විමසනවා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. විශ්ව විද්‍යාල දරුවන්ටත් මේ වගේ වැඩක් කරන්න පුළුවන්. මම ඒ ගැන උපකුපලතිවරු සමඟ කතා කළා. මෙය තවත් ඉදිරියට ගෙන ගිහින් ලෝකයේම පාසැල් දරුවන් සම්බන්ධ කරගෙන එකවර පොත් එළිදැක්වීමේ උත්සවයක් කිරීම තමයි මගේ අරමුණ…සෙනෙවිරත්න මහතා තම අනාගත අපේක්ෂාවන් හෙළිකළේ එසේය….  අද අපේ දරුවන්ගේ වීරයින් බවට පත්ව තිබෙන්නේ මනස්කල්පිත චරිතයි. බෙන්ටෙන්ගේ සිට ස්පයිඩර් මෑන් දක්වාවූ දහස් ගණනක් වූ මේ චරිත සමඟ ජීවත් වන දරුවන් කැප්පෙටිපොළ,මොණරවිල,වීරපුරන් අප්පු වගේ අපේ වීරයින් ගැන කිසිදු දෙයක් දන්නේ නැහැ. පාසැල් පුස්තකාල වලින් දරුවෝ ප්‍රයෝජන ගන්නේ නැහැ. අනගාරික ධර්මපාල, හෙන්රි ඕල්කට්, මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ වැනි ශ්‍රේෂ්ඨ චරිත ගැන අවබෝධයක් ළමයින්ට නැහැ. අද දරුවන්ට තමන් ගැන විශ්වාසයක් නැහැ. පොත් කියවීමෙන් කුඩා වැඩිහිටි කාගේත් වාග් කෝෂය පුළුල් වෙනවා.පොතක් ලියන්න නම් තවත් පොත් කියවන්න ඕන. මේ වැඩපිළිවෙළ නිසා මධ්‍යම පළාතේ දරුවන් විශාල ලෙස පොත් කියවීමට නැඹුරු වුණා. පොත් ලියූ දරුවන්ගේ චාර්යාවන්ගේද යහපත් වෙනසක් සිද්ධ වෙලා තිබෙනවා…මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා පවසයි.

ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ලොවක් දිනන්න පොතක් ලියන්න වැඩසටහන ආරම්භ කරන විට කොවිඩ්-19 බලපෑම රටට එල්ල වී නොතිබිණි. ඒ සම්බන්ධ දැනුවත් කිරීම පාසැල් මට්ටමින් සිදුකරමින් සිටින අවස්ථාවක හදිසියේම පාසැල් සියල්ල වසා දැමීමට සිදුවූයේ වෛරසය පාසැල් දරුවන් අතර පැතිර යාමේ අවධානම වලක්වා ගැනීමටය. මේ නිසා නොසිතූ නිවාඩුවක් දරුවන්ට ලැබිණි. එය අර්ථවත්ව ගෙවා දැමීම සඳහා දරුවන්ට මෙම ග්‍රන්ථ කරණ වැඩපිළිවෙළ හේතු වූවා නිසැකය. අකුරු කරන නිවාඩුවෙන් රටක් වටින පොතක් ලෙස එය නම් ලැබුවේ මේ ඔස්සේය. අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික පුස්තකාලය එක්ව මෙම වැඩපිළිවෙළ සංවිධානය කරනු ලබයි.

දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඉහළට ගෙනඒම සඳහා මම පොත් ලිවීමේ වැඩසටහන මගින් ලොකු රුකුලක් ලැබෙනවා. ගොඩක් වෙලාවට ළමයි කැමැති කණ්ඩායම් ලෙස හැසිරෙන්න. කොවිඩ්-19 අර්බුදයත් එක්ක දරුවෝ දැන් මාස ගානක් ගෙවල් වලට සීමාවෙලා ජීවත් වෙනවා. එක්තරා අන්දමක පීඩනයක් මේ නිසා ඒ අයට ඇති වෙන්න පුළුවන්. මේ පොත් ලිවීමේ වැඩපිළිවෙළට අනුගත වීමෙන් දරුවන්ට එවැනි පීඩන තත්ත්වයන්ගෙන් මිදෙන්න පසුබිම හැදෙනවා. පුස්තකාල සේවා මණ්ඩලය මගින් මේ පොත් ලිවීමට අදාල නිර්නායක ලබා දුන්නා. අධ්‍යාපන අමාත්‍යාංශය ඒ මගින් චක්‍රලේඛණයක්ද නිකුත් කළා. දරුවන්ගේ චිත්ත ශක්තිය,නිර්මාණ ශක්තිය හා අභියෝග ජයගැනීමේ හැකියාව වර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. පළමු වසරේ සිට 13 වසර දක්වා ඕනෑම පාසැල් දරුවෙකුට සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පොත් ලියා පළකළ හැකියි.පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති සොනාල් ගුණවර්ධන මහතා පැවසුවේය.

ආචාර්ය උපාලි සේදර

පොතක් ලියනවා කියන්නේ භාෂාවක් කතා කරනවා වගේ නොවෙයි.ඒ සඳහා වෙනමම සංවිධානය වෙන්න ඕන.භාෂා දැනුම වගේම පොත්පත් කියවලා ලබාගත් දැනුම තිබීමත් වැදගත්. ළමයි පොත් කියවන්නේ නැහැ කියමින් මොකුත් නොකර ඉඳලා වැඩක් නැහැ.අපි ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න ඕන. මේක ඒ සඳහා හොඳම වැඩපිළිවෙළක්. අපි යමක් දකිනවාට වඩා වෙනස් විදිහට දරුවෝ ඒ දිහා බලනවා. දරුවෝ හරියට මල් වගේ.ඒ මල් වල සුවඳ හමන්න අපි ඉඩ හදලා දෙන්න ඕන. අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ගැන අපි ලොකු ගැටලු වලට මුහුණ දී සිටින කාලයක් මේක. විශ්ව විද්‍යාලයට ගිහින් උපාධියක් ලබාගත්ත දරුවෝ ඉන්නවා හරියට ලියුමක් ලියාගන්න බැරි. භාෂාව කියන්නේ කුසලතාවක්. ඒක වර්ධනය වෙන්නේ පොතපත ඇසුරු කිරීමෙන්. විභාගයකට පිළිතුරු ලියන්න ඕන දැනුම විතරයි. කුසලතාව එතරම් වැදගත් නැහැ. මේවන විට කොවිඩ් අර්බුදය නිසා ලෝකයේ පාසැල් දරුවෝ මිලියන 87 ක් ගෙවල් වලට කොටුවෙලා ඉන්නවා. මම යුනිසෙෆ් එක දැනුවත් කළා මේ වැඩපිළිවෙළ ගැන. පාසැල් කාලයේදී දරුවෙකුගේ හොඳින්ම වර්ධනය වෙන්න ඕන භාෂා කුසලතාවයි. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් අතරින් 18% ක සංඛ්‍යාවක් ඉගෙනීමට දක්ෂ නැහැ. මේ පිරිස තමයි අතරමඟදී අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නේ.මේ තත්ත්වය දරුවෝ පත්වීමට ප්‍රධාන හේතුව භාෂා කුසලතාව අඩුවීම බව සමීක්ෂණයකින් තහවුරුව තිබෙනවා….අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රධාන උපදේශක,අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාර්ය බලකායේ සභාපති, ශ්‍රී දළදා මාලිගාවට අනුබද්ධිත බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය උපාලි සේදර මහතා පවසයි. අනාගත ලේඛක අංකුර තවානක් මම පැළ කළේ. මේ පැළ ලොකු මහත් කිරීම සමාජ වගකීමක්.ළමයි පොත් පන්දහසක් ලියලත් ඒ ළමයි ගැන මේ රටේ මාධ්‍ය ලොකුවට කතා කළේ නැහැ. පොට්ට නවුෆර්,වෙලේ සුදා,කංජිපානේ ඉම්රාන්,මාකඳුරේ මදූෂ්,ගෝනවල සුනිල් වගේ නම් සමාජගත කළේ කවුද?ඒවාට වගකියන්න ඕන මාධ්‍ය. සමාජ විරෝධී ක්‍රියාවල නිරත වූ පුද්ගලයින්ට දෙන ප්‍රචාරය අපේ මාධ්‍ය මේ අංකුර ලේඛකයින්ට ලබා දුන්නේ නැහැ. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක් යැයි සෙනෙවිරත්න ගුරුතුමා පවසන්නේ දැඩි කලකිරීමකිනි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *