පොහොට්ටුවේ මුස්ලිම් ඡන්ද වැඩිවෙලා – ඒ.එල්.එම් ෆාරිස්

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස ජනතාව බෙදා වෙන්නොකර සියලු දෙනාට එකහා සමාන ලෙස සළකන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා තිබෙන බවත් මේ නිසා පසුගිය ජනපතිවරණයේදී නොලැබුණු මුස්ලිම් ජනතා ඡන්ද වැඩි ප්‍රමාණයක් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙන බවත් එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ඒ.එල්.එම් ෆාරිස් මහතා පවසයි.

අන්තවාදී සුළු පිරිසක් සිදුකළ පාස්කු ප්‍රහාරයත් සමඟ සමස්ත මුස්ලිම් ජනතාව දෙසම වැරදි කෝණයකින් බලන්නට ඇතමුන් උත්සහ කළ බවත් අද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් කවුද යන්න සොයා සිදුකරන පරීක්ෂණ තුළින් එම ත්‍රස්ත ක්‍රියා අනුමත නොකරන මුස්ලිම් ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ වනු ඇති බවත් ඒ මහතා කීය.මහනුවර මහයියාවේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ෆාරිස් මහතා මේ බව පැවසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධූරයට පත්වුවහොත් සුළු ජාතීන්ට හිරිහැර සිදුවනු ඇති බවට වැරදි ප්‍රචාරයක් ඇතැම් මුස්ලිම් හා දෙමළ නායකයින් ගෙනගිය බවත් පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ ඇතිවූ තත්ත්වයත් සමඟ මුස්ලිම් ජනතාව අතරින් බහුතරයක් එම ප්‍රකාශ සත්‍ය ඒවා බවට පිළිගෙන එජාප අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්නට ඡන්දය පාවිච්චි කළ බවත් කී ඒ මහතා එම මත සියල්ල වැරදි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාස හයක පාලන කාලය තුළ ඔප්පුවී තිබෙන බවද අවධාරණය කළේය.

මුස්ලිම් නායකයින් ලෙස පෙනී සිටින රවුෆ් හකීම්,රිෂාඩ් බදුද්දීන් වැනි අය මුස්ලිම් ජනතාව නොමඟ යවමින් කළ දේශපාලනය දැන් අවසන්ව තිබෙන බවත් ඔවුන් දේශපාලනය කළේ ජනතාව වෙනුවෙන් නොව තමන්ගේ පෞද්ගලික දියුණුව සඳහා බව අද මුස්ලිම් ජනතාව තේරුම් ගෙන තිබෙන බවත් ඒ මහතා කීය. තොණ්ඩමන් මහතා වැනි ප්‍රගතිශීලී නායකයින්ගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාටත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත් හිමිවත්දී ජාති,ආගම් වශයෙන් ජනතාව බෙදා වෙන්කිරීමට උත්සහ කළ සුළු ජාතික නායකයින්ගේ සහය හිමිවූයේ එජාපයට බවත් අද ඔවුන් සියලු දෙනා සමඟි ජනබලවේගයට එක්ව සිටින බවත් ෆාරිස් මහතා පැවසුවේය.

යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් අද කොරෝනාවට මුළු රටම බිලිවන බව පවසන්නේ ආණ්ඩුපක්ෂය නොව සාමාන්‍ය ජනතාව බවත් ඔවුන් කෙරෙහි පවතින ජනතා විශ්වාසයේ තරම ඉන් පැහැදිලි වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. රටකට යහපත් ඉදිරි ගමනක් යෑමට ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතු බවත් මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2/3 ක බහුතරයක් ඇතිව ආණ්ඩුවක් පිහිටුවත්දී දුර්වල විපක්ෂයක් තිබීම සම්බන්ධව කනගාටුවක් ඇතිවන බවත් ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *