බත් කටකටත් පුලුවන් ලොකු වෙනසක් කරන්න

ඕමන්ත. ඒ මහා කුරු ක්ෂේත්‍රයේ බෙදුම් සීමාවයි. යාපනය අර්ධද්වීපය කෙළවර සිට ඕමන්තෛ දක්වා  එල්.ටී.ටී.ඊ යේ පාලනයට නතුව පැවති අතර ඔවුන්ගේ කඩුල්ලේ සිට හිස් ඉඩකින් අනතුරුව වන්නිය හරහා දකුණට විහිදී යන රජයේ පාලනයට නතු භූමිය විය. අතරමැද බෙදුම් බිම සැකයේ හා අවිශ්වාසයේ මූසලකම පිරුණු මුඩු බිමක් වූයේ එකම රටක නෑයින් ඒ බිම හරහා යන්නට නම් අත්‍යන්ත පරීක්ෂා කිරීම් ගණනාවකට භාජනය විය යුතු හා විසල් පීඩාවන් උසුලා දරාගන්නට සමර්ථවීම යුතු විය. එවන් බිමක නිදහසේ හිඳ වන්නියේ බත් කටක් කෑම දකුණේ සිංහලයින්ට සිහිනයක් වූ සේම දකුණුකර නෑයින්ට බත් කටක් බෙදා දීම උතුරු වන්නිකරයින්ටද හීනයක්ම විය. එහෙත් යුද්ධය නිමා වී දශකයකට ආසන්න කාලයකදී ඒ සිහිනය සැබෑවී ඇති අයුරු දැකගන්නට ලැබෙන්නේ ඒ 9 පාරේ ඕමන්ත නමැති වේදනාවේ මතක බිම පසුකරද්දීය.

යුද්ධය පැවති කාලයේ දෙමළ ජනීජනයා පමණක් ගැවසුණු මුඩුබිමක ප්‍රාර්ථනාවේ නැවුම් බිජුවට රෝපණය කර ඇත්තේ වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාවයි. මනරම් කුඩා අවන්හලක්  එහි ඉදිකර ඇති අතර දකුණේ සිට යාපනයට යන සිංහල ජනයාට ආරාධනා කරන්නේ ගිමන් නිවා සැනහෙන්නට පමණක් නොව වන්නියේ රසවත් දේශිය ආහාර වේලක් භුක්ති විඳින්නටද ය.  

මැදහත්කාරී පූමලර්

නිතිපතා උදෑසන එතැන ආහාර පිළියෙල කරන කතුන් කිහිප දෙනෙකි. පහසුකම් සැපයීම වෙනුවෙන් දිනකට ප්‍රාදේශීය සභාවට රුපියල් තුන්සියයක හෝ හාරසියයක පමණ මුදලක් ගෙවන්නට සිදුවන නමුත් මේ ග්‍රාමීය දිළිඳු කතුන් දැන් මුලුමනින්ම පාහේ සිය දරු පවුල් රක්ෂා කරන්නේ තමන් උපයන ආදායමෙනි. පූමලර් ඉඳි ආප්ප කන්නට හොදි ඒදමින් හා රතු කැකුළු හාල් පිටියෙන් බම්බු පිට්ටු තම්බමින් සිටි අතර රාස ලෙච්චමී ආටා පිටියෙන් සුවඳ හමන රන්වන් පූරි බදිමින් සිටියාය. නවනීදවන් ගෞරි අම්මා සාම්බාරු හොද්ද පැසෙන අතර අලුත් උඳු ඇට ඇඹරුවේ තෝසෙ තනන්නටය. මාතලේ උපන් පූමලර්ට සිංහල කතා කරන්නට පුලුවන් නමුත් ගෞරි අම්මා හෝ රාස ලෙච්චමී සිංහල කතා කරන්නට අසමර්ථයහ. එහෙත් ඒ භාෂා නොදැනුම සන්නිවේදන බාධකයක් නොවන්නේ පූමලර් නමැති පරිවර්ථිකාව නිසාය. “මං උපන්නේ මාතලේ‘ මගෙ මහත්තයාත් කුරුණෑගල. ඉතිං අපි සිංහල අය ආශ්‍රය කරලා පුරුදු හින්දා භාෂාව පුලුවන්. අපේ සහෝදර සහෝදරියො මෙහේ හිටපු හින්දා තමයි මෙහාට ආවෙ.” ඒ පූමලර්ය. ඇගේ සැමියා කුලී වැඩ කරමින් සොච්චම් මුදලක් උපයන අතරේ ඇයද අතට අසුවන වැඩක් කළේ ජීවත් වන්නටය. අවුරුද්දකට උඩදී උතුරු පළාත් සභාවේ ආධාරය ඇතිව මේ අවන්හල ඉදිකරන්නට ප්‍රාදේශීය සභාව තීරණය කළ අතර තමන්ටද අවස්ථාවක් ඉල්ලූ පූමලර්ට පුහුණුවක් සමගින් කෑම පිසීමේ හා අලෙවිකිරීමේ ඉඩ හිමි විය. “අපි තුන්දෙනා තමයි මෙතැන උයන්නේ මම පළතුරු ජූසුත් හදනවා. අපිට මැනේජර් අම්මා කෙනෙකුත් දාලා තියෙනවා. මම තමයි හැමෝම වෙනුවෙන් සිංහල කතා කරන්නේ”. පූමලර්ට සිය භාෂා කුසලතාව පිළිබඳව ඇත්තේ මන්දස්මිතික ප්‍රීතියකි.

රස කෑම ආදරබර හදවත්

කාලෙකට ඉහත මේ බිමේ කුඩා සතිපොළක් තිබියදී ගැටුණු දෙමළ පා සළකුණු අතරට සිංහල පිය සටහන්ද එක්වීම නිසා අද මනුස්සකමේ නැවුම් පුසුඹක් හමමින් තිබේ. පූමලර් හා ඇගේ පරිවර්ථන සහායෙන් කතාවට එක්වන මිතුරියන් දෙදෙනාද සාක්ෂි දරන්නේ තමන් තුළද පෙර නොවූ හාදයාංගම බවක් ඇති වන්නට මේ අපූරු අවන්හල හේතු වී ඇති බවයි. “සිංහල දෙමළ කියලා නෑ. හැමෝටම එකම විදියට බඩගිනි දැනෙනවා. ඉතිං මෙතැනට එන්නෙ පිරිසිදුවට, රහට, අඩු මුදලට මොනවා හරි කන්න. අපේ යුතුකම හැමෝටම හොඳම දේ දෙන එක. ඉතිං වැඩියම සතුටු වෙන්නෙ යාපනේ යද්දි නවතින සිංහල අය.” ඒ ඔවුන්ගේ පොදු අත්දැකීමයි. සිංහල මගියනට මෙය නැවුම් අත්දැකීමක් වන්නේ ඒ ඇතමුන් වන්නියේ රහට දිව හුරු කරගන්නේ ජීවිතේ මුල්ම වතාවට වන නිසායි. “ඉතිං ඒ මිනිස්සු මෙතැනට ආවම ලොකු වෙලාවකට යන්නෙ නෑ. අපෙන් විස්තරත් අහනවා. ළමයින්ට පළතුරු ඉස්ම අරගෙන දෙනවා. වැඩිපුරත් කීයක් හරි දෙන අය ඉන්නවා.” එකම රටක නෑයින් පිළිබඳ හෘදයාංගම හැඟුම් ඇති වන්නේ එලෙසය. එහි පිසෙන්නේ වන්නියට ආවේණික සෛවර් කෑම නැතිනම් පූර්ණ එළවළු අහරය. උදේට තෝසෙ කන සිංහලයින්ගෙන් වැඩි දෙනෙක්  පූරි කන්නේ ජීවිතයේ පළමු වරය. ඉදින් එවැන්නෙකුට පූරි හදන හැටි අහන්නට සිත් නොවන්නේ ඇයි? එවැනි විමසුම් වලදී ඉදිරිපත් වන ස්වේච්ඡා සහායිකාව පූමලර්ය. ඇය ඒ වනවිටත් අනා ඇති ආටා පිටි මෝලිය ලං කර ගන්නීය. ලුණු දාලා ඇල්වතුරෙන් අනන ආටා පිටි පොඩි බෝල අරගෙන ලෑල්ලක තුනියට වඩා උණු තෙල් තාච්චියට දමා බැදගන්නා හැටි කිහිප වතාවක් නිරුපණය කරමින් පෙන්වා දෙන්නේ නෑයින්ද සිය නිවහන් වලදී රහට කෑ යුතු නිසාය. දෙමළ සංස්කෘතියට අනන්‍ය සළකුණක් වන රඹ පත් පිඟන් මත එලෙමින් බෙදෙන දවල් බතට වැඩිපුර දුරු රස හා ඇඹුල්ද මුසුවී තවද රසවත් වන්නේ අන්තර් අවබෝධයෙනි. “මෙතැනින් කන හුඟක් සිංහල අය සන්තෝෂ වෙන්නෙ වන්නියෙ කෑමවල රහ ගැන විතරක් නෙවෙයි. පිරිසිදු කම ගැනත් එයාලා හරියට ප්‍රශංසා කරනවා.”

හද ගැහෙන රිද්මය එකමය

මේ අවන්හලේ උයන්නියක වන රාස ලෙච්චමී ගේ සැමියා හෘද රෝගියෙකි. ඔහුට කිසිම රැකියාවක් කරන්නට හැකියාවක් නොමැත. එබැවින් සිය රස්සාවෙන් පවුල රකින්නට ඇයට සිදුව තිබේ. ඒ වෙනුවෙන් අතහිත දෙන්නේ අහර බුදින්නට එහි එන සැමය. එතැන සිංහලයින්ද සිටීම ඇයට සතුටකි. ගෞරි අම්මාගේ සැමියා පෝලියෝ රෝගය නිසා ආබාධිත වූ අයෙකි. ඔවුන් යුද්ධය නිසා දහදුක් වින්ද මිනිසුන්ය. ඒ පවුලද රැකෙන්නේ බිරිඳගෙනි. ඇයටද සිංහල ජනයාගේ සවිය ලැබෙන්නේ ඔවුන් සිය ගණුදෙනුකාර භවතුන් වන නිසාය.

අනුරාධා වැනි පළපුරුදු ගැණුම්කාරියන් නිතර මෙහි පැමිණෙයි. ඇය එන සමහර අවස්ථාවල සිංහල පවුල් සිය දරුවන් සමග ආහාර ගන්නා අතරේ කැඩුණු සිංහලෙන් ඔවුන් හා කතා කරන්නට උනන්දු වන්නේ අමිහිරි මතක ඒ තුළින් මකා දමන අදහසෙනි. “ඉස්සර අපිට හරිම සැකයක් තිබ්බා සිංහල අය ගැන. හිත් රිදීම් ගොඩක් ඇති වුණානෙ දෙගොල්ලටම. ඒත් දැන් ඒවා අකාමකා දාන්න පුලුවන් මේ වගේ අත්දැකීම් වලින්. මම අම්මා කෙනෙක් දරුවො දෙන්නෙකුගෙ. මම දරුවන්ට මේ පාඩම කියලා දෙනවා.” අනුරාධා හැඟුම්බරය. “ඒත් මට දුක දෙපැත්තෙම ඉන්න සමහර අවස්ථාවාදී දේශපාලනඥයො මිනිස්සු උසිගන්නන්න හදනවා තවම.”

අන්තිමේදී සිල්වර් තැටියක එළූ රඹ පතක් මත උණු තෝසයක් අතුරමින් ගෞරි අම්මා කියූ කතාවක් ලියා තැබිය යුතුමය. “අපිට දැන් සිංහල මිනිස්සු සහෝදරයො වගේ. බත් කටකටත් පුලුවන් ලොකු වෙනසක් කරන්න. හැමදේම කරන්නෙ ජීවත්වෙන්න. අන්තිමේට එච්චරයි. වෙන මොකුත් නෑ.”

ලසන්ත ද සිල්වා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *