බන්ධනාගාරවලට විශේෂ බුද්ධි ඒකකයක්

බන්ධනාගාර වල ඇතිවන කැරලි මර්දනය කිරීමට සහ විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමට බන්ධනාගාර බුද්ධි අංශයට අනුබද්ධව විශේෂ ඒකකයක් පිහිටුවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
මේ සඳහා අනුමැතිය ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද ඒ මහතා කීය.
මහනුවරදී අද (23) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුව පැවැත්විණි.
දෙපාර්තුමේන්තුවේ පවතින නිලධාරී හිඟයත් ජ්‍යෙෂ්ඨ නිලධාරී පුරප්පාඩු මෑතක් වන තුරු පිරවීමට අවස්ථාව නොලැබීම නිසා පරිපාලන ගැටලු මතුවූ බවත් ලොහාන් රත්වත්තේ ඇමැතිවරයාගේ මැදිහත් වීමෙන් දැන් පරිපාලන තනතුරු වල පවතින පුරප්පාඩු පිරවීම සිදුකරන බවත් ඒ මහතා කීවේය.
ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ ලබන සතියේ පැවැත්වෙන බවත් සහකාර බන්ධනාගාර අධිකාරීවරුන්ගේ පුරප්පාඩු පිරවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා තිබෙන බවත් උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළ්ය.
බන්ධනාගාර නියාමකයින්ගේ විශාල හිඟයක් තිබෙන බවත් විභාග දෙපාර්තුමේන්තුව මගින් ඊට අදාළව 2019 දී පවත්වන ලද විභාගයේ ප්‍රතිපල අනුව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්වූ 950 දෙනෙකු සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබෙන බවත් ඒ අතරින් 586 දෙනෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා කීය.
සේවක හිඟය පියවීම සඳහා කඩිනම් පියවරක් ලෙස යුද හමුදාවෙන් වසර 12 ක සේවා කාලය අවසන් කර ඉවත්වූ 500 දෙනකු ජනපති උපදෙස් මත බඳවා ගැනීමට පියවර ගන්නා බවත් යුද හමුදා පුහුණුව ලබා තිබෙන බැවින් ඔවුන් කෙටි පුහුණුවකින් පසු සේවයේ යෙදවීමට හැකියාව තිබෙන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.
බන්ධනාගාර කැරලි මර්දනය කිරීමටත් විශේෂ ගණයේ රැඳවූවන් ආරක්ෂණය කිරීමටත් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය තහනම් දේවල්   ගෙන ඒම වැලක්වීමත් අරමුණු කර ගනිමින් ස්ථාපිත කෙරෙන විශේෂ ඒකකයේ රාජකාරී සඳහා මෙම පිරිස යෙදවීමට අපේක්ෂා කරන බවද හෙතෙම අවධාරණය කළේය.
බන්ධනාගාරයේ ආරක්ෂාවට තර්ජනයක් පළමු හා දෙවන ස්ථරයේ ජාවාරම් කරුවන් බූස්ස බන්ධනාගාරයට යොමු කරන බවද ඒ මහතා කීය.

මෙම අවස්ථාවට බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් තුසිත උඩුවර, බන්ධනාගාර කොමසාරිස්,බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක යන මහත්වරුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *